කොයිතරම් කීකරු වුණත්, කැපවීම් කළත් පවුල් ජීවිතයක් සාර්ථක වෙන්නෙ නෑ

    0
    45

    “මම මගෙ පෙම්වතාට හරි ආදරෙයි. ඒ නිසාම මම එයාට හරි කීකරුයි.එයා කියන දේකින් පිට යන්නෙ නෑ. එයාගෙ හැම දෙයක්ම මම ඉවසනවා. එයා මට කිසිම ද්‍රෝහිකමක් කරල නම් නෑ. නමුත් එයාටම අවනත වෙලා ඉන්නවා මිසක් මට මගෙ හැඟීම් කියා ගන්න බැරිකම නිසා මම ඉන්නෙ ලොකු පීඩනයක. මට දැන් මේ සම්බන්ධය එපා වෙලා. ඒත් මම එයාට තවම ආදරෙයි.”

    මේ එක්තරා තරුණියක් කියපු කතාවක්. මේ විදිහෙ කාන්තාවන් අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. මේ තරුණිය තමන් ගෙ සබඳතාවය පවත්වාගෙන යන ආකාරය තුළම ලොකු ගැටලුවක් තියෙනවා. කිකරුකම කියන්නේ අනෙක් පාර්ශවය කියන ඕනෑම දේකට ඔළුව පාත් කරගෙන ඉවසගෙන ඉන්න එක නෙමෙයි. ඒක නිවටකමක්. සම්බන්ධතාවයක් තියාගන්න ඕනෙ තමන්ටත් ගැළපෙන විදිහට. හැමදේටම ඔළුව පාත් කරන්නෙ නැතුව තමන්ටත් තමන්ගෙ අදහස් කෙළින් සංනිවේදනය කිරීමේ හැකියාව එම සම්බන්ධතාව තුළ නැත්නම් කාලයක් යනකොට ඒක තමන්ට පීඩනයක් වෙනවා වගේම , අනිත් පාර්ශවයටත් ඇත්තටම එපා වෙන්න පුළුවන්. 

    එක්කෙනෙක් ඉස්සරහ අනිත් කෙනා ආදරය වෙනුවෙන් දණින් වැටෙනවා නම් එතන කවදාවත් සාර්ථක සම්බන්ධතාවයක් ඇති වන්නේ නෑ. “මම මොනවා කළත් මෙයා මට ආදරෙයි, මෙයා මාව අතහරින්නේ නෑ” කියන හැඟීම අනෙකාට දැනෙනතාක්කල් එයා තමන්ට පණ දීගෙන ආදරය කරන අනිත් කෙනාව ගණන් ගන්නේ නෑ. ඒ නිසා මොන දේ ඉස්සරහ දණින් වැටුණත් ආදරය ඉස්සරහ නම් දණින් වැටෙන එක නොකළ යුතුම දෙයක්.

    එක් එක් පුද්ගලයන්ට අනුව සම්බන්ධතා පවත්වා ගැනීමේ ආකාර වෙනස්. මේ අනුව වර්ග හතරක් දක්වා තිබෙනවා. ඒ,මේ විදිහට.

    1. නිෂ්ක්‍රීය හෙවත් Passive

    මෙවැනි අය බොහෝ විටම තමන්ගේ සිත දුකින් පවතිද්දී වුවත් අනිත් පාර්ශවයෙහි සතුට ගැනයි හිතන්නේ. “එයා සතුටින් ඉන්නවනම් ඒක තමයි මගේ සතුට” කියලා හිතන්නේ මෙවැනි අය. මෙම passive කාණ්ඩයේ කාන්තාවන් හෝ පිරිමින් තමාගේ අනෙක් පාර්ශවය සතුටින් තබන්නට තිබෙන වුවමනාව නිසාම ඔහු හෝ ඇය කියන ඕනෑම දේකට එකඟ වෙනවා. එයාට කැමති දේ කරගන්න ඇරලා පාඩුවේ ඉන්නෙ “එයාගේ සතුටට මම බාධා කරන්නේ නෑ” කියන අදහසින්. නිෂ්ක්‍රීය කියලා කිව්වත් ඇත්තෙන්ම මේක නිවට ස්වභාවයක්.

    මේ තත්ත්වය ඉතා යහපත් දෙයක් ලෙස passive කාණ්ඩයේ අය සිතාගෙන හිටියත් ඇත්තටම මේක දෙයාකාරයෙන්ම අයහපත්. 

    එකක් තමයි මේ තැනැත්තා හෝ තැනැත්තිය අනෙකාගේ සතුට වෙනුවෙන් කරන්නේ තමාගේ සිතැඟි සිරකරගෙන ඉඳීමයි. මුලින් එය පරිත්‍යාගයක්, එහෙමත් නැත්නම් කැපවීමක් ලෙසින් කළාට පසුව එයාටම ඒක මානසික පීඩාවක් බවට පත්වෙනවා. සමහර විට මේ සම්බන්ධය එයාට එපා වෙන්නත් බැරිකමක් නෑ. මේක තමයි අපි අර මුලිනුත් විස්තර කළේ.

    අනෙක් අතට බලන විට තමන් කැමති ඕනෑම දෙයක් අනුමත කරන ගැහැනියක් හෝ පිරිමියෙක් සමග ගතකරන ජීවිතේ අනික් පාර්ශවයටත් ඇල්මැරුණු ස්වභාවයක් දැනෙන්න පුළුවන්. පිරිමියෙක් වුණත්, ගැහැනියක් වුණත් තම බිරිඳ හෝ සැමියා තමන් සමග අදහස් හුවමාරු කරගන්නවා නම් කැමතියි. ඒ කියන්නේ රණ්ඩුකිරීම නෙමෙයි. තමන්ගේ අදහස්, වුවමනා එපාකම් සෘජුවම ඉදිරිපත් කරනවා දකින්න බොහෝ දෙනෙක් කැමතියි. එතකොට අර ඇල්මැරුණු ස්වභාවය ඇතිවන්නේ නෑ. ඒ වගේම සමහර පිරිමි කැමති යම් ප්‍රමාණයකට තමන්ව පාළනය කරගෙන ඉන්න බිරිඳකට. ඒක ආක්‍රමණශීලීකමක් නොවෙයි. ජීවිතය නිසි ලෙස ඉදිරියට ගෙනියන්න එවැනි සමතුලිතතාවයක් අවශ්‍යයි. 

    2. කලහකාරී හෙවත් Aggressive 

    මේ මුලින් සඳහන් කළ එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ අය කරන්නේ තමන් කැමති දේ. ඒ නිසා මේ අයට පීඩනයක් නෑ. හැබැයි එයා නිසා අනෙක් පාර්ශවයට පීඩනයක් ඇතිවෙනවා. කියන්න තියෙන දේත් පොල්ලෙන් ගැහුවා වගේ මූණටම කියනවා. මෙයාලගේ මේ ගති ස්වභාවය නිසා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ සම්බන්ධතාවයන්වල පලුදු ඇතිවීමයි.

    3. නිවට කලහකාරී Passive aggressive 

    මේ ඉහත කී දෙකේම එකතුව. 

    මේ අයට ගොඩක් තරහ යනවා. නමුත් ඒක සඟවාගෙන කීකරුකමක් මතුපිටින් මවා පාන්න උත්සාහ කරනවා. නමුත් මේ ස්වභාවය බාහිරින් හොඳින් අඳුනගන්න පුළුවන්. කෙළින් කිසිවක් කියන්නේ නැති නිසා තමා වගේම, අනෙක් පාර්ශවයත් පීඩාවට පත්වෙනවා. මේ විදියට කෙළින් කිසිවක් නොහඟවන්නේ ප්‍රශ්න ඇති වෙයි කියන බයට. මේ ස්වභාවය වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ටයි.

    4. ස්ථිරසාරභාවය Assertiveness 

    මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙවැනි අය නිසා තමන් වගේම අනිත් පාර්ශවයත් පීඩාවට පත්වෙන්නේ නෑ. කියන්න තියෙන දෙයක් කෙළන්ම කියලා ඒක එතනින් අවසන් කරනවා මිසක් හිත ඇතුළේ තියාගෙන විඳවන්නෙ නෑ. නමුත් කියන දෙයක් කියන්නේ අනෙකාගේ හිත නොරිදෙන ආකාරයට. උදාහරණයක් විදිහට සැමියා යම් දෙයක් කරන්නට උත්සාහ කරද්දී ඒක බිරිඳ අනුමත නොකරන්නේ නම් ඒ අකමැත්ත පළ කරන්නේ අනෙකාගේ සිත නොතැලෙන ආකාරයටයි.

    “ඔයා ඔය වැඩේ කරනවට මම කැමති නෑ. ඕක ඔහොම නෙමෙයි මෙහෙම කළොත් හොඳයි නේද?” ආදී වශයෙන් සිත නොරිදෙන පරිදි කරුණු පහදා දී නම්මවා ගන්නවා මිසක් මේ අය වටේ යන්නේ නෑ. හරි විවෘතයි. 

    ඉතාම පහසු සම්බන්ධය තමයි මේක. කවදාවත් අනිත් කෙනා ඉස්සරහ දණින් වැටෙන්නෙ නෑ. ඉතා හොඳින් දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් හැඟීම් බෙදා ගන්නවා.

    මේ සිව් ආකාරය ගැන සැලකුවහොත් 1 සහ 3 සෑහෙන්න පීඩාවට පත්වන අය.

    ඒ අනුව මේ 1 කොටස අනෙකා වෙනුවෙන්ම ඉන්න නිසා ඒ සම්බන්ධතාවය තුළ ඇතිවන නොයෙකුත් ගැටුම්, අවුල් වියවුල් එයාට දරාගන්න අමාරුයි. මෙයා බිරිඳ නම් සැමියා මෙයාව දාලා යන්න, එහෙම නැත්නම් අනියම් සම්බන්ධතා ඇතිකර ගන්න තියන අවස්ථා වැඩියි. ඒකට හේතුව තමයි මේ විදිහට ඕනෑම දෙයකට නැමෙන ගැහැනියක් එක්ක ගත කරන ඇල්මැරුණු ජීවිතය පිරිමියෙකුට කිසි “ගතියක්” නැතිවීමයි. මේක 3 කොටසටත් බොහෝ විටම අදාළ වෙනවා.

    2 වෙනි කොටසේ අය ඉන්නෙ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. තමන්ගේ ඒ ගති ස්වභාවය නිසා තමන් ගේ සම්බන්ධතාවයට හානි පැමිණෙනවා කියන එක මෙයාලට අදාළම නෑ. මෙයාලට දිගටම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අසීරුයි.

    ආදර ත්‍රිකෝණය නැමති සංකල්පයෙහි ප්‍රධාන කරුණු 3 ක් දැක්වෙනවා. ඒ, මේ විදිහට. 

    This image has an empty alt attribute; its file name is image-162.png

    1. දැඩි ආශාව – Passion

    පිස්සුවෙන් වගේ ආදරය කිරීම මේ තත්ත්වය යි. මේ අය හරිම රොමෑන්ටික්. ඒක ආදරයට අවශ්‍ය යි. ” මට එයාව ෆීල් වෙන්නෙ නෑ” කියල සමහරු කියන්නේ අනෙක් පාර්ශ්වය එහෙම නැති වුණාම තමයි.

    2.සමීපභාවය – intimacy 

    චිත්තවේගීය බැඳීම කියන්නේ මේකට. දැඩි ලෙන්ගතුකම, හැඟීම්වලින් තියෙන සමීපකම කියලා තවදුරටත් සරලව දක්වන්න පුළුවන්. මේක තමයි ගොඩක් අය තුළ නැතිම එක. තමන්ට තමන්ගේ හැඟීම් තේරෙන්නත් ඕනේ, අනිත් කෙනාගෙ හැඟීම් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනෙ. එයාව හැඟීම්වලින් තේරුම් ගන්න පුළුවන් නම් තමයි එයාව ඔබට දැනෙන්නෙ. ” මට එයාව දැනෙනවා” කියලා යම් කෙනෙක් කියනව නම් ඒ තමයි හැඟීම් මත ඇතිවන බැඳීම. 

    3. කැපවීම – commitment 

    එනම් අනෙක් පාර්ශවය වෙනුවෙන් කරන කැප වීමයි. 

    මෙයින් පළමු එක, ඒ කියන්නේ දැඩි ආශාව වඩාත් නැඹුරු වෙන්නේ කායික පැත්තට. මීට බාහිර පෙනුමත් ගොඩක් සම්බන්ධයි. මේ සියල්ලේම එකතුවක් ලෙස ඇතිවන රොමෑන්ටික් ආදරය ඇත්තටම යුවළක් අතර තිබිය යුතුම දෙයක්.

    මේ තුනෙන් 1 විතරක් තිබුණොත් ඒක ඇත්තටම තේරුමක් නැති බොළඳ ආදරයක් පමණක් වෙනවා.

    ඒ වගේම 3 විතරක් තිබුණොත් ඒක පලක් නැති හිස් ආදරයක්. නිදසුනක් ලෙස දරුවන් වෙනුවෙන් කැපවීම් කර ජීවත්වන අය තුළ පවතින්නේත් මෙවැනි ආදරයක්.

    මෙහි 1 සහ 3 එකතු වුණොත් නම් ඉතින් බැඳීමක් පවතින්න පුළුවන්. 

    මෙහි 2 පමණක් තිබුණොත් ඒකට ඉබේම 1 සහ 3 ත් එකතු වෙලා එතන ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. ඒක තමයි යුවළක් අතර ඇතිවන සහ ඇති විය යුතු සාර්ථකම බැඳීම. 

    මනෝ විද්‍යාත්මක උපදෙස් – ප්‍රවීණ මනෝ චිකිත්සක 

    ආචාර්ය සුරංග අමරකෝන් 

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here