ඉන්දියා ආරම්භක පිතිකාරිනියගෙන් නව ODI වාර්තාවක්

0
80

මේ දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේ ප්‍රාටිකා රවාල්

(Pratika Rawal) කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

දකුණු අප්‍රිකාව ට එරෙහි තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකාරිනී රවාල් මේ නව වාර්තාව බිහිකළේ වැඩිම වේගයෙන් ලකුණු 500 ට පිවිසෙමින්. ඇය මේ දක්ෂතාව වාර්තා කළේ ඉනිම අටකින් පමණක් වීම විශේෂත්වයක්.

මේ තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව පළමු තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව පරාජය කළේ ඉතාමත් පහසුවෙන්. ඕවර 39ක් ඇතුළත ලකුණු 148ක් හඹා ගිය ඉන්දියාව ඕවර 29.4කින් එම ඉලක්කය සපුරා ගත්තේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන. දැවී ගියේ ලකුණු 43ක් ලබා ගත් ස්ම්‍රිටි මන්ධනා. රාවල් (නොදැවී 50) සහ හාලීන් ඩිඔල් (නොදැවී 48) ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සම්පූර්ණ කළා.

එම ඉනිමට පසුව රවාල්ගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු එකතුව 494ක් තිබූ අතර ඊට ශතකයක් හා අර්ධ ශතක හතරක් ඇතුළත්ව තිබුණා. ඇය ප්‍රථම වතාවට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2024 අගභාගයේ ෂෆාලි වර්මා කණ්ඩායමෙන් ඉවත් කළ අවස්ථාවේ.

බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව ලකුණු 40, 76 හා 18 ට පසුව අයර්ලන්තය ට එරෙහිව ලකුණු 89, 67 හා 154ක් වාර්තා කිරීමෙන් ඇය සැණින් සුපිරි ක්‍රීඩිකාවක් බවට පත්වුණා. ශ්‍රී ලංකාවේදී නොදැවී ලබා ගත් අර්ධ ශතකය ඇයව ලකුණු 500 සීමාව ආසන්නයටම ගෙන ආවා.

දකුණු අප්‍රිකාව ට එරෙහිව කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව පළමු ඕවර තුන හරහා ලකුණු පහක් රැස් කළ රවාල් සිවු වැනි ඕවරයේදී තවත් ලකුණක් ලබා ගෙන ලකුණු 500 සම්පූර්ණ කළා.

ප්‍රාටිකා රවාල් කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 500 රැස්කළ වේගවත්ම පිතිකාරිනිය බවට පත්වූයේ එංගලන්තයේ ශාලට් එඩ්වර්ඩ්ස් (Charlotte Edwards) ට වඩා එක් ඉනිමක් අඩුවෙන් එම සීමාවට පිවිසෙමින්.

මෙහිදී රවාල්, ඉනිම 13කින් ලකුණු 500 ට පිවිසෙමින් මිතාලි රාජ් (Mithali Raj) පිහිටුවා තිබූ ඉන්දියානු කළින් වාර්තාව ද මකා දැමුවේ ඇයට වඩා ඉනිම පහක් අඩුවෙන් එම ඉලක්කයට පිවිසෙමින්.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here