ආදරය හඳුනන මිනිසුන් සොයා අතරමැදියා …

0
34

නිලංක නිසලාංජල් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන “අතරමැදියා” වේදිකා නාට්‍යයේ දෙවන දිගහැරුම ජනවාරි 14 වන දින බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදීත් , ජනවාරි 15 වන දින ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීත් වේදිකා ගත වීමට නියමිතව තියෙනවා. ඒ අතරමැදියාගේ අරුතින් ආදරය හඳුනන මිනිසුන් හොයා ගෙන.

2019 අවුරුද්දේ ජාතික යෞවන නාට්‍ය උළෙලේදී හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම නාට්‍යය පිටපත සහ හොඳම නිෂ්පාදනය දෙවන ස්ථානය දිනා ගත් අතරමැදියා නැවතත් මෙසේ වේදිකාව මත සුමටව දිගහැරෙන්නේ වසර කිහිපයක නිහැඬියාවකින් පසුයි . මෙම නාට්‍ය 2020 වසර රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත , හොඳම නිළිය , හොඳම වේදිකා සැකසුම, හොඳම වේදිකා කළමනාකරණය, හොඳම රංග වින්‍යාසය, හොඳම ආලෝකකරණය ආදී සම්මාන 8ක් ලබා ගැනීමට සමත් වුණා.

නිලංක නිසලාංජල්

youtube අවකාශයට වසර කිහිපයකට පෙර මුදා හැරුණු කොලොම්බියා කතා මාලාවේ නිර්මාණකරුවා සහ රචකයා වන නිලංක මේ අයුරින් අතරමැදියා නමින් වේදිකාවට පතිත කරන්නේ තාක්ෂණික අවකාශය තුළ නිදැල්ලේ සැරිසරා සොභාවික ලෝකයකට මදක් ඔබ්බෙන් නතරව ප්‍රේමය හොයන නූතන පරපුරක ඛේදවාචකයක් .නැත්නම් තමාටම අවේනික සංකීර්ණ ,නමුත් අරුමැසි හිතලුවක්.

මෙම නාට්‍යට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ “හංස විලක්” සිට පැවත එන තුන්කොන් ප්‍රේමයේ හැඩයත් , එහි යටි පෙළට එච්.ඩී .ප්‍රේමරත්නගේ “ආදර හසුනේ” හැඩයකුත් ලැබී තියෙනවා .

ලෝකයේ පැරණිම කුටුම්බ පැනය ස්වාභාවිකත්වයෙන් ඔබ්බෙන් වූ සයිබර් ලෝකයේ දවසකත් පැන නැගිය හැකි බව පෙන්වන නිලංක, අතරමැදියා තුලින් ප්‍රේක්ෂකාගාරයට විවෘත කරන්නේ තවමත් කියවා ගැනීමට නොහැකිව ලතවෙන විසි එක වන සියවසයේ තාරුණ්‍යයේ සිහිනමය ජීවිතය . ඉතින් ඒ සිහිනමය ජීවිතය යාවත්කාලීන වෙන නාට්‍ය ප්‍රේක්ෂකාගාරය මගහැර නොගත යුතුමයි.

අතරමැදියාට රංගනයෙන් පණ දෙන්නේ කුසල් මධුරංග , සිළිඳු රන්වල සහ කසුන් උක්වත්ත .

ඒ නිසා ආදරය හඳුනන ඔබ ඒ සිහිනමය ජීවිතය දකින්න 14 පුංචි තියටර් එකට හෝ 15 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එන්න.

සටහන : පංචාලී ඉළිඹවිදානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here