මාලිනී පවුලේ දියණියන් සමඟ රඟපෑ ‘මලකි දුවේ නුඹ’

0
27

– මාලිනී ප්‍රථම වතාවට ඇයගේ පරම්පරාවේ අය එක්ක එකට රඟපෑවේ
– තාත්තයි රෝහණ මාමයි මුලින්ම චිත්‍රපට ගීතයක් කළේ ආරාධනා චිත්‍රපටයට

ප්‍රේමය නම් සිනමා නිර්මණය සහ රූකඩ පැංචි” සිනමාවට ගෙන ආ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ අලුත්ම සිනමා නිර්මාණය ‘මලකි දුවේ නුඹ‘ විශේෂතා බොහොමයක් තියෙන සිනමා නිර්මාණයක්. රසඳුන මේ කතාබහ “මලකි දුවේ නුඹ” ගැන වින්දන ආරියවංශ සමඟයි.

‘මලකි දුවේ නුඹ‘ මේ වෙද්දී වැඩ අවසන් ද?

ඔව්… මේ වෙද්දී වැඩ අවසන් කරලා තියෙන්නේ.

කල්පන සහ වින්දන සොහොයුරන් දෙන්නාගේ තුන්වැනි නිර්මාණය ගැන කෙටි විස්තරයක් කළොත්?

මලකි දුවේ නුඹ අවුරුදු 16ක පාසල් යන දුවෙක් වටා නිර්මාණය වුණු කතාවක්. දුවගේ අම්මා ආච්චි සහ අම්මාගේ ජිවිතයට පිටතින් එන කෙනා නිසා දුවගේ ජිවිතය වෙනස් වෙන ආකාරය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. මනුෂ්‍ය සම්බන්දතා මානව දයාව සහ බිඳුණු බැඳීම් නැවත ඇති කර ගැනීම් වැනි දෑ අඩංගු පවුලේ සැමට එකට නැරඹිය හැකි කතාවක්. මේ කතාව පරම්පරා තුනක් අතරේ යන කතාවක්. ඒ එක්කම ඒ පරම්පරාවට පිටතින් එකතු වෙන කෙනෙක් නිසා තවත් ව්‍යාකුල තත්ත්වයකට පත් වෙනවා.

පළමු සිනමා නිර්මාණය ප්‍රේමය නම් හි සමනලී හිටියා, දෙවන නිර්මාණය වන රූකඩ පැංචි හි කුශේන්‍යා සහ මාලිනි හිටියා. දැන් මලකි දුවේ නුඹ මාලිනි, සමනලී සහ කුශේන්‍යා. පරම්පරා තුනම ඉන්නවා නේද?

අපි මේ චිත්‍රපටය රූගත කළේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ. අපිට අවශ්‍ය වුණා කුෂේන්‍යා දුව එක්ක අලුත් නිර්මාණයක් කරන්න. ලෝකේ ළමා නළු නිළියන් ගත්තම ඒ සම්පත් හොඳටම තියෙන්නේ හොලිවුඩ්වල විතරයි. රංගනය ගැන ගැඹුරින් චරිතයක් දන්වන්න පුළුවන් කට්ටිය ඉතාම දුලබයි. අපිට ‘රූකඩ පැංචි‘ කරන්න ගිය කාලයේ දැනුණා මේ කුශේන්‍යා දුවත් එහෙම සම්පතක් කියලා. මට කොහොමත් උවමනා වුණා තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන ආදරණීය බැඳීම ගැන නිර්මාණයක් කරන්න. ඒ නිසා දුව මුලික කරගෙන චරිත තේරීම කළේ. දුවගේ අම්මාගේ චරිතයත් සංකීර්ණ භාව ප්‍රකාශන තියෙන චරිතයක්. එතකොට අපි කල්පනා කරද්දී අවසානයේ නැවතුණේ සමනලී ගාව. ඊට පස්සේ අපිට ඕනේ වුණේ සමනලීගේ අම්මාගේ චරිතය. එතැනදී අපිට හිතුණා ආච්චිගේ චරිතයට මාලිනී ෆොන්සේකා මහත්මිය ගන්න. මේ ආච්චි කියන්නේ හිටිය විනිශ්චයකාරතුමියක්. ඒ නිසා අවශ්‍ය පෞරුෂය ඇය තුළ තිබ්බා. ගරු ගාම්බීර ප්‍රභූ කාන්තාවක් වගේම බොහොම සංවේදී පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්. සැබවින්ම මාලිනී මහත්මිය වගේම තමයි. ඉතින් මේ චරිත තුනට උපරිම සාධාරණය කරන්න පුළුවන් මේ තුන්දෙනාට කියන එක අයියාගේත් මගෙත් දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ හැර මේ තුන්දෙනා අතර තියෙන ඥාතීත්වය නෙවෙයි මේ චරිත සඳහා තෝරා ගන්න හේතු වුණේ. අනිත් ප්‍රධාන චරිතයටත් ශ්‍යාම්ව අපි ගත්තෙත් ඔහුගේ හඬේ තියෙන ලෙන්ගතුභාවය සහ ඔහු තුළ තියෙන සංයමය නිසා. මේ චරිත ගැන විනිශ්චය දෙන්න ප්‍රේක්ෂකයාට පුළුවන්.

මේ පිටපත ලිව්වේ කවුද?

අපේ කලින් පිටපත් දෙකම ලිව්වේ අයියයි මායි එකතු වෙලා. නමුත් මේ පිටපත ලියන්න අයියා මට හාර දුන්නා. මොකද මම දියණියන් ගොඩක් ළඟින් ඇසුරු කරනවා. ඒ නිසා දියණියන් හිතන්නේ පතන්නේ මෙහෙමයි. හැසිරෙන්නේ මෙහෙමයි කියන එක ගැන අවබෝධයක් තිබ්බා. පිටපත මම ලිව්වත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අපි දෙන්නම නිසා හැම දෙබසක්ම අපි දෙන්නා කතා කරලා තමයි කළේ.

‘මලකි දුවේ නුඹ‘ මේ නම තියන්නේ කවුද?

ප්‍රේමය නම් චිත්‍රපටය කරලා තමයි නම තිබ්බේ. රූකඩ පැංචි නම් මුල ඉඳන්ම නම තිබ්බා. මේකෙත් වුණේ අවසානය වෙනකම් නමක් තිබ්බේ නැහැ. හැබැයි අවසන් කරන්න විදියක් නැහැ නමක් නැතුව. එක තැනකදී මේ චිත්‍රපටයේ නම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි අපේ තාත්තාට කිව්වා. අපේ තාත්තා තමයි කුලරත්න ආරියවංශ. තාත්තා කොහොමත් නිර්මාණශීලී සින්දු ලියන කෙනෙක් නිසා. දුවෙක් වටා යන කතාවක් නිසා තාත්තා කිව්වේ ‘මලකි දුවේ නුඹ‘ කියන නම. තාත්තාට ඒ නම ඇවිත් තිබ්බේ ‘පිපුණු මලේ රුව එ මල දනී දෝ… මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා‘ කියන ලූෂන් බුලත්සිංහල මහතා ලියපු සින්දුවෙන්. ඒ නම අහපු හැමෝම බොහෝම කැමැති වුණා.

මෙහි එන ගීතයත් සුවිශේෂී නිර්මාණයක්, ඒ ගැන කතා නොකළොත් අඩුවක්?

අපේ පළමු නිර්මාණය වන ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටයේ සින්දුව ලිව්වේ සුනිල් ආරියරත්න, දෙවැනි නිර්මාණය වන රූකඩ පැංචි සින්දුව ලිව්වේ සංගීතවත් කරමින් රෝහණ වීරසිංහයන්. නමුත් දැන් මේ චිත්‍රපටයේ එන ගීතය ලියන්න කිව්වේ අපේ තාත්තට. තාත්තා චිත්‍රපට රැසකට ගීත ලියපු කෙනෙක්. නමුත් ඔහු මේ වෙනකොට නිර්මාණකරණයෙන් ඈත් වෙලානේ ඉන්නේ. අයියාගෙයි මගෙයි කීම නිසාම තාත්තා සිංදු ලියන්න කැමැති වුණා. ඒ ගී පද සංගීතවත් කළේ රෝහණ වීරසිංහ මාමා. ගායනා කරන්නේ සශිකා. මෙහි එන විශේෂත්වය තමයි තාත්තයි රෝහණ මාමයි එක්ව මුලින්ම චිත්‍රපටයක ගීතයක් කළේ ආරාධනා චිත්‍රපටයට. මාලිනී මහත්මිය තමයි එහි ප්‍රධාන චරිතය. අදටත් ඇය ගැන යද්දී වැඩියෙන්ම යන්නේ ආරාධනා සහ සීත අරණේ ගීතය. එතකොට වසර ගණනාවකට පස්සේ තාත්තයි රෝහණ මාමයි එකතුවෙන් කරපු මේ නිර්මාණය ඇයගේ අවසන් නිර්මාණය වීම මොකක් දෝ දෛවෝපගත සිදුවීමක්.

මේ මාලිනී ෆොන්සේකා අවසන් වතාවට රඟපෑ සිනමා නිර්මාණය ද?

ඔව්. ඒ කියන්නේ ඇයගේ රංගන ජිවිතයේ අවසන් වතාවට රඟපාන්න ලැබුණු නිර්මාණය. ඒ එක්කම ඇය ප්‍රථම වතාවට තමයි ඇයගේ පරම්පරාවේ අය එක්ක මේ විදියට එකට රඟපෑවේ. ඒ අවස්ථාව සලසා දීම ගැන අද අපි සතුටු වෙනවා.

මාලිනී මහත්මිය ෆිල්ම් එක වැඩ අවසන් කරලා දැක්කද?

අනේ නැහැ. අපේ මේ ෆිල්ම් එකේ වැඩ අවසන් වුණේ මේ වසරේ මුල් භාගයේ දී. ඒ වෙද්දී එතුමිය නොසිතු විදියට අසනීප වුණා. අපි ප්‍රසන්න අයියා එක්කත් කතා කරගෙන හිටියා කොහොම හරි ඇයට බලන්න සලස්වන්න. නමුත් ඒ අවස්ථාවත් මඟ හැරිලා ගියා. ඒ කනගාටුව අපට තියෙනවා.

ප්‍රේක්ෂකයින් බලන් ඉන්නේ කවදද ඔවුන් අතරට මේ චිත්‍රපටය එන්නේ කියලා?

අපි උත්ෙසාහ කරනවා මේ වසර ඉවර වෙන්න කලින් ප්‍රේක්ෂකයින් අතරට චිත්‍රපටය අරන් එන්න.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here