අම්මාවරුන් වෙනුවෙන් ‘මදර් ලංකා’ තිරයට

0
17

පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන් ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ “මදර් ලංකා” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සැවෝයි සිනමා ශාලාවේදී පැවත්විණ.

ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන් දරුවාගේ  යහපත වෙනුවෙන් දහසක් දුක් ඉසිලූ අම්මා වරුන් කොතෙකුත් අපවටා නොවෙත්ද ? එවන් අම්මා කෙනෙකුගේ කඳුළු කතාවයි ” මදර් ලංකා ” සිනමා කෘතිය.

ශාලු නම් ඇය තම මව් බිම රනින් සැරසූ අභිමානවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවක්ව සිටියදී, සියළු සිහින එක් නිමේෂයකින් දියව යන්නේ හදිසි ගැබ් ගැනීමක් හේතුවෙනි. 

දරුවෙක් කියන්නෙම අම්මෙකුට රටක් හා සමාන බව නොරහසකි. ඇය පිළිසිඳ ගත්තේ කෙළෙසද , කුමන ආකාරයෙන් ද යනු ඇයට අදාලම නැත. සියල්ල අ’තැර හුදකලා සටනක නිරතවන ශාලු ගේ එකම අරමුණ තම දියණිය එමී ව , තමන් හිටි ලෙසම ඉහල තලයකට ඔසවා තැබීමයි. පියා කවුරුද නොදත් එමීටත් , ශාලුටත් සහයට එන්නේ, තවත් අසරණ වු ගැහැණියක් වන සත්‍යායි. දක්ෂ බැඩ්මින්ටන් සූරියක් වන එමී, ලෝක ශූරතාවය දක්වා බාධක මැද රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව “මදර් ලංකා ” ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.

මෙහි ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු, එමී ලෙසින් සෙනුකි දිශල්‍යා (හඳුන්වා දෙන),සහ සත්‍යා ලෙසින් ධනංජ සිරිවර්ධන විශිෂ්ඨ රංගනයක යෙදෙන අතර, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා, හර්ෂිකා රත්නායක, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, හේෂානි ලියදිපිට, මාදිනි මල්වත්ත, සරත් කොතලාවල, කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන්‍ රැසක් රංගනයෙන් දායකව ඇත.

තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත්, කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන්, සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි එක්වී ඇති “මදර් ලංකා” ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි .

සටහන : ඇන්ටන් .ජේ. ප්‍රනාන්දු 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here