තායිලන්තයේ Nakhonchaisri Circuit ධාවන පථයේදී නිමාවට පත් වූ 2026 FIM Asia Women’s Cup තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රීඩා වපසරිය තුළ බබළවන්නට 15 හැවිරිදි හෙසාලි පීරිස් සමත් වී තිබේ. ඒ, බරපතල අනතුරකට මුහුණ දී බරපතල තුවාල ලැබුවද, කිසිවිටෙකත් පරාජය භාර නොගනිමින් Race 2 තරගයේ පස්වැනි ස්ථානය (P5) අත්පත් කර ගනිමිනි.
තරගාවලියේ පළමු අදියර (Race 1) අතරතුර සිදු වූ අනපේක්ෂිත හා බිහිසුණු අනතුරකදී හෙසාලිගේ අත මතින් තවත් යතුරුපැදියක් ධාවනය වී තිබුණි. එම බරපතල තුවාල සහ දරාගත නොහැකි වේදනාව හේතුවෙන් ඇයට පළමු තරගයෙන් ඉවත් වීමට සිදු වුවද, ඇයගේ සටන්කාමී ආත්මය එයින් යටපත් වූයේ නැත.
සියලු ශාරීරික වේදනාවන් පසෙක තැබූ මෙම ලාබාල යතුරුපැදි ධාවන ශූරිය, ඊළඟ අභියෝගය භාරගනිමින් Race 2 සඳහා යළිත් ධාවන පථයට අවතීර්ණ වූවාය. ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ වුවද, අත් නොහැරීමේ අධිෂ්ඨානශීලී ප්‍රතිපත්තිය මත පිහිටා සම්පූර්ණ වට 10ම සාර්ථකව නිම කළ ඇය, ආසියානු ක්‍රීඩිකාවන් අතර පස්වැනි ස්ථානය දක්වා පැමිණියේ ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමිනි.
වයස අවුරුදු 15ක් වැනි ඉතා ළාබාල වියක පසුවන හෙසාලි පීරිස් පෙන්වූ මෙම දැවැන්ත ධෛර්යය සහ නොපසුබස්නා උත්සාහය මේ වන විට මෙරට මෝටර් රථ හා යතුරුපැදි ධාවන ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්ව ඇත.




