උපතේ සිට මාස 19ක් පුරා හිස්කබලෙන් එකිනෙකට බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සාර්ථක සැත්කම් මාලාවකින් පසු වෙන් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ.
මෙම අතිශය සංකීර්ණ ශල්‍යකර්මය සඳහා නවීන කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සහ ත්‍රිමාණ (3D) තාක්ෂණය උපයෝගී කරගෙන තිබීම විශේෂත්වයකි.
‘මර්සි’ සහ ‘ගුඩ්නස්’ නමැති මෙම දැරියන් දෙදෙනා දැනට කිසිදු සෞඛ්‍ය ගැටලුවකින් තොරව පසුවන අතර, ඔවුන් මෑතකදී සිය තෙවැනි උපන්දිනය ද සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2023 ජුනි මාසයේදී නයිජීරියාවේ එලිටි ප්‍රාන්තයේදී උපත ලැබූ මෙම දැරියන්ගේ හිස්කබල් එකිනෙකට බද්ධ වී තිබූ අතර, මොළයේ පටක සහ ප්‍රධාන රුධිර වාහිනී ද එකිනෙකා සමඟ බෙදී පවතින පරිදි පිහිටා තිබුණි. මෙම අභියෝගාත්මක සැත්කම සඳහා මැදිහත් වී මූල්‍ය හා ප්‍රතිපාදන දායකත්වය සපයා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ජෙමිනි අන්ට්වයින්ඩ්’ (Gemini Untwined) නමැති පුණ්‍යායතනයයි.
දැරියන්ට මාස හයක් පිරෙද්දී, ඔවුන්ව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවර ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහල වෙත යොමු කෙරිණි. එහිදී ‘ජෙමිනි අන්ට්වයින්ඩ්’ ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රකට ළමා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන මහාචාර්ය නූර් උල් ඔවාසේ ජිලානි ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය මෙහෙයවන ලදී.
මෙහිදී කෘතිම බුද්ධි තාක්ෂණය ආධාරයෙන් දැරියන්ගේ මොළයේ සැකැස්ම සහ රුධිර වාහිනී පිහිටා ඇති ආකාරය ඉතා නිවැරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි විය. එමඟින් ශල්‍යකර්මයේදී සිදුවීමට තිබූ අවදානම අවම කරගනිමින්, අදියර කිහිපයකින් යුත් සුවිශේෂී සැත්කම් මාලාවක් සාර්ථකව නිම කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත.
-aruna –




