බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දස දහස් සංඛ්‍යාත නෑසියන්ට යුක්තිය ඉල්ලා ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ යෙදී සිටින යුද පීඩිත
උතුරේ මව්වරු සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගන්නා තෙක් සටන අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරති.
මෙවර ජගත් කාන්තා දිනයත් කළු දිනයක් ලෙසින් සැමරූ උතුරු පළාතේ දෙමළ මවුවරුන් රජයට අවධාරණය කළේ සියතින්ම යුද හමුදාවට බාර දුන් ඥාතීන්ට යුක්තිය ඉල්ලා වසර අටක් තිස්සේ විරෝධතා දියත් කළත් තවමත් කිසිදු පිළිතුරක් නොලැබුන බවයි.
උතුරු පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු 8 වැනි දා පෙරවරුවේ දෙමළ අම්මාවරුන් තම ආදරණීයයන් පාලොස් අවුරුද්දකට පෙර හමුදාවට බාරදුන් වට්ටුවාක්කල් පාලම වෙතට මුලතිව් ගෝඨාභය නාවික හමුදා කඳවුරේ සිට විරෝධතා පා ගමනින් ගිය බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
අතුරුදහන් සිය සමීපතමයන් පිළිබඳ සත්‍යය හෙලිකරගැනීමට 2017 වසරේ ජගත් කාන්තා දිනයේ මුලතිව්හිදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර අටක් සපිරෙන දිනයේත් වීදි බසිමින් ඔවුන් ඉල්ලා සිටියේ යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකි.
සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 උතුරු නැගෙනහිර දෙපළාතේ විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 350 ක් මේ වන විටත් මිය ගොසිනි.
සිංහල, දෙමළ හා ඉංශ්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන් සිය ඉල්ලීම් හා සටන් පාඨ ඇතුළුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙවර ජගත් කාන්තා දිනයේ විරෝධතා පා ගමන දියත් කළ ඔවුන් අත, පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගනිමින් 2024 ජුලි 15 වැනිදා වසා දමන ලද කොක්කුතොඩුවායි සමුහ සුසානය සම්බන්ධ සත්‍යය වල නොදමන ලෙස ඉල්ලා සිටින බැනරයක්ද විය.
‘කෝ, කෝ අපේ ඥාතීන් කෝ, ජාත්‍යන්තරය උත්තර කෝ, දියව්, දියව් යුක්තිය දියව්’ ආදී සටන් පාඨ කියමින් විරෝධතා පෙළපාලියේ ගමන් ගත් දෙමළ මව්වරුන් අත ‘අපරාධ කරුවන් යුක්තිය ඉටු කරයිද?, ඔබ රැගෙන ගිය අපේ දරුවන් කොහේද?’ යනුවෙන් සිංහල බසින් ලියන ලද සටන් පුවරුද තිබෙනු දැක ගත හැකිය.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලුදෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතා පැවැත්වු ඔවුන් ජගත් කාන්තා දිනයේදීත් ලක් රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙසයි.
පවුල් පිටින් ගිහිං බාරදුන් නෑදෑයන්
විරෝධතාවයට එක්ව සිටි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ කිලිනොච්චි දිස්ත්‍රික් සභාපතිනි කෝකිලවානී කදිරගාමනාදන් මාතාව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දෙමළ මව්වරුන් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින්නේ පන පිටින්ම සියතින් රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයන් බවයි.
“කාන්තා දිනය කළු දිනයක් විදිහට තමයි අපි සමරන්නේ. ළමා දිනය, අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වැනි දින කීයක් ආවත් අපේ අතින් බාර දුන්නට පස්සේ අතුරුදන් කළ අයට යුක්තිය ඉටු වෙලා නැ. පවුල් පිටින්ම ගිහිල්ලා පන පිටින් බාර දීපු අය තමයි අපි ඉල්ලන්නේ. අපට යුක්තිය අවශ්‍යයි. අපේ ඥාාතීන් මිය යමින් සිටින්නේ. අපි හෙට ඉදියිද දන්නේ නැහැ. බාර දුන් ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි ජාත්‍යන්තරය කිව යුතුයි. අපි ශ්‍රී ලංකා හමුදාවට තමයි අපේ ඥාතීන් බාරදුන්නේ. අවුරුදු අටක් විරෝධතා දක්වලත් තාම උත්තරයක් නෑ. ”
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය බලයට පත් වී මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් සිය සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් කිසිදු සංඥාවක් නිකුත් කර නොතිබීම සම්බන්ධයෙන්ද යුද වින්දිත දෙමළ මව්වරුන් එහිදි කනස්සල්ල පළ කර තිබුනි.
පසුගිය මාසයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පෑම තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) ට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිතවරියන් පිරිස අතුරුදහන් කරනු ලැබුවන් සොයා අරගල කරන දෙමළ මාතාවන්ට යුක්තිය සැලසීම සම්බන්ධයෙන් කිසිත් කී බවක් වාර්තා වී නැත.
ශ්‍රී ලංකාවේ රාජ්‍යය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු ඉහල පෙලේ නිලධාරීන් හා බලධාරීන් දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින්, වරදානද ලබමින් යහතින් ඉඳීමට ඉඩ සැලසීම ගැන රටේ දිගටම පැවති ආණ්ඩු ජාත්‍යන්තර වශයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටී.
