ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් අපරාජිත තරගාවලි නිමාවක්

0
11

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (18 දා) පෙරවරුවේ අපරාජිතව තරගාවලිය නිමාවට පත් කළහ. 

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වූ මෙම තරගාවලියේදී තමන් මුහුණ දුන් තරග 4 ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් වෙනුවෙන් සංවිධානය වූ බැවින් මෙහි ශූරතාවක් පිරිනැමීමක් සිදු නොවුණද ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.  

මෙය දෙරට අතර යොවුන් කාන්තා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ 8 වැනි විස්සයි-20 ජයග්‍රහණය වන අතර, මීට පෙර මැලේසියාවේ පැවැති ලෝක කුසලාන තරගයේදී මෙන්ම ඉකුත් සැප්තැම්බර් මස පැවැති තරගාවලිය 5-0 ක් ලෙස ජය ගනිමින්ද ශ්‍රී ලංකාව සිය ප්‍රබලත්වය පෙන්වා තිබිණි. 

අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු 99 කට සියලු දෙනා දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 96 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් ලකුණු 35 ක් රැස් කර පන්දු යැවීමේදී කඩුලු 2 ක් දවා ගත් ලිමන්සා තිලකරත්න තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ අතර, පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 22 කට කඩුලු 3 ක් ද, අසේනි තලලගුණේ සහ ශෂිනි ගිම්හානි කඩුලු 2 බැගින් ද බිඳ හෙලූහ. 

– සාර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here