කම්කරු කාන්තාවන්ගෙන් ජාත්‍යන්තර සම්මුති වෙනුවෙන් අයවැයට යෝජනා

0
8

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති හා ප්‍රඥාප්ති අනුමත කිරීම හා අධික්ෂණය සඳහා මධ්‍යස්ථානයක් අවශ්‍ය බවට

වෘත්තීය සමිතියක් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අයවැය  යෝජනාවලදී මේ පිළිබඳව අවධානය යොමු කරමින්  වැඩකරන කාන්තා මධ්‍යස්ථානය කියා සිටින්නේ කම්කරු අමාත්‍යංශය යටතේ වෘත්තීය සමිතිවල මැදිහත් වීමෙන් මෙය පිහිටුවිය යුතු බවයි.

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටුදැකීම වෙනුවෙන් වූ C190, ගෘහ සේවිකාවන් සඳහා වූ සුනිසි වැඩවලට අදාළ C 189 වැනි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති ශ්‍රී ලංකාවේ මෙතෙක් අනුමත කර නොමැත.

“නිමල් සිරිපාල ද සිල්වා, මනුෂ නානායක්කාර හිටපු කම්කරු ඇමතිවරුන් වගේම වත්මන් ආණ්ඩුවේ කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ද මේ ප්‍රඥාප්ති අනුමත කරලා තියෙන්නේ. දැන් ඕනේ ඒවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරගන්න,“ යැයි වැඩකරන කාන්තා මධ්‍යස්ථානයේ සභාපති, ජාතික කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, අමාලි කළුපහන පවසන්නීය.

| වැඩකරන කාන්තා මධ්‍යස්ථානයේ සභාපති, ජාතික කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, අමාලි කළුපහන
 

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිටුදකින ජාත්‍යන්තර කම්කරු සංවිධාන (ILO) ප්‍රඥප්තිය, පසුගිය දා අනුමත කළ දකුණු ආසියානු කලාපයේ පළමු රාජ්‍ය ලෙස බංගලාදේශය ඉතිහාසයට එක්ව තිබේ.


“ගෘහස්ථ රැකවරණය, අවිධිමත් ආර්ථිකය සහ සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව  ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ  සම්මුතීන් අනුමත කිරීම අත්‍යවශ්‍ය සාධකයක්.“යැයි වෘත්තීය සමිති නායිකා අමාලි කළුපහන පෙන්වාදෙන්නීය.

ජාත්‍යන්තර සම්මුති හා ප්‍රඥප්ති අනුමත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීමටත්, අනුමත කිරීමෙන් පසු අනුකූලතාව නිරීක්ෂණය කිරීමටත්, ජාත්‍යන්තර කම්කරු සමුළුවට  ඒ ගැන වාර්තා කිරීම සහ  වගකීම් වලට සහාය වීමට කැපවූ යාන්ත්‍රණයක් තවමත් මෙරට තුල ස්ථාපිත කර නොමැත.

වැඩකරන කාන්තා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ එවැනි යාන්ත්‍රණයක් පිහිටුවීම මගින් අයි.එල්.ඕ  ප්‍රමිතීන් ගැන  රජයේ ආයතන, වෘත්තීය සමිති සහ සේවා යෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික සහාය සහ ධාරිතා වර්ධනය ලබා දීමට අවස්තාව උදාවන බවයි.


කම්කරු නීතිය, අයි.එල්.ඕ.  ප්‍රමිතීන් සහ සමාජ සංවාදය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මධ්‍යස්ථානයක්  විධිමත් ලෙස ස්ථාපිත කර, කාර්ය මණ්ඩලයක් පත් කිරීමත්, දත්ත රැස් කිරීම සහ පාර්ශවකරුවන්ගේ උපදේශන ඇතුළුව සම්මුතීන් නිරීක්ෂණය කිරීමත්, වාර්තා කිරීම සඳහා ජාතික යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීමත් මේ මගින් කළ හැකි බවට වැඩකරන කාන්තා මධ්‍යස්ථානය සිය යෝජනා මගින් පෙන්වා දෙයි.
ඊට අමතරව අවිධිමත් අංශයේ සේවකයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කරන ලෙස ද එම සංවිධානය ඉල්ලා තිබේ.

“අවිධිමත් ආර්ථික සේවකයින්, ගෘහ සේවිකාවන්, රැකවරණ අංශයේ සේවකයින් සහ සංක්‍රමණික සේවකයින්ට  සෞඛ්‍ය, මාතෘ, රැකියා අනතුරු, විශ්‍රාම ප්‍රතිලාභ ආවරණය වන සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන්න කියලා අපි යෝජනා කරනවා,“යැයි ජාතික කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාලි කළුපහන පවසයි.දායකත්ව සහ ප්‍රතිලාභ දැරිය හැකි සහ ඊට  ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමත්, අවිධිමත් වැඩ සහ රැකවරණ භූමිකාවන්ගේ ස්වභාවය පිළිබිඹු කිරීමත්, රජයේ  සමාජ රක්ෂණයට සමගාමීව ප්‍රජාව මුලික කරගත් යාන්ත්‍රණයකට, සමුපකාර සහ වෘත්තීය සමිති හරහා බඳවා ගැනීමින්, ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු යැයි ද ඇය යෝජනා කරයි.

ඉලක්ක කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ අවශ්‍යතා සහ හිඩැස් පිළිබඳ පුළුල් තක්සේරුවක් සිදු කරමින්. කැපවූ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා නෛතික සහ මෙහෙයුම් රාමුවක් සංවර්ධනය කිරමින්, අවිධිමත් සහ රැකවරණ අංශයේ සේවකයින් ඇතුළත් කිරීම සඳහා පවතින යෝජනා ක්‍රම පුළුල් කිරීම කළ යුතුය.


අවිධිමත් සහ රැකවරණ සේවකයින්ගේ වැඩි දායකත්වයක් ඇති ප්‍රධාන දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘති දියත් කරමින්, සංක්‍රමණික සේවකයන් සඳහා ඩිජිටල් සේවා ප්‍රවර්ධනය කිරීමත්, ඔවුන්ගේ  ප්‍රවේශය සහතික කිරීම සඳහා සංක්‍රමණික සේවක සංවිධාන සමඟ සම්බන්ධීකරණයක් ඇති කිරීම සහ වෘත්තීය සමිති සහාය ඇතිව දැනුවත් කිරීම් හා  සහ බඳවා ගැනීමේ මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම කළ යුතු බවට වැඩකරන කාන්තා මධ්‍යස්ථානය සකස් කර ඇති අයවැය යෝජනා වල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here