ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක්

0
45

වසර 158කට වැඩි ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ පළමු වරට දිස්ත්‍රික්කයක් භාරව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන ඇත.

පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ මෙතෙක් රාජකාරි ඉටුකළ පද්මිණී වීරසූරිය, කළුතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානිය‍ා ලෙස ස්ථාන මාරුකරමින් පොලිස් ඉතිහාසය වෙනසකට ලක්කර තිබේ.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිවය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ අත්සනින් යුතුව මෙම ස්ථාන මාරු නියෝගය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලැබුවේ පෙරේදා (01)ය. ඊට අනුව කළුතර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ. එන්. එල්. විජේසේන සුබසාධන දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත.

මෙතෙක් කාලයක් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පමණක් සීමා වී තිබුණු දිස්ත්‍රික් භාර පොලිස් ප්‍රධානී තනතුර පද්මිණි වීරසූරිය පත් කිරීමත් සමඟ ඉදිරියේ දී එම අවස්ථාව තවත් කාන්තා නිලධාරිනියන්ටද හිමිවීමේ අවස්ථාව උදාවනු ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ ඉල්ලීම මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත් කරනු ලැබීය. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල යි. ඒත් සමඟම පොලිස් ඉතිහාසය උඩුයටිකුරුකරමින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස කාන්තා නිලධාරිනියක්ද පත් කරනු ලැබීය. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි යි.

පද්මිණි වීරසූරිය ගේ මෙම පත්වීම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තවදුරටත් වෙනස් කරනු ලැබූ පත්වීමක් වන අතර ඇය අල්ලස් කොමිෂන් සභා ඉතිහාසයේද වාර්තාවක් තබා ඇති නිලධාරිනියකි. ඒ අල්ලස් කොමිෂන් සභා ඉතිහාසයේ එතෙත් මෙතෙක් කාලය තුළ විමර්ශන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි එකම කාන්තා නිලධාරිනිය ලෙසිනි. ඇය අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ධුරය දරමින් සිටිය දී තෝරුන් මෝරුන්‍ට ගැලවිල්ලක් නොවීය. ඒ නිසාම 2020 වසරේ සිට ඇයට ස්ථාන මාරුවීම් ගලාගෙන එන්නට විය.

2020 වසරේ පෙබරවාරියේ දී හිටිහැටියේම අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කටයුතු සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස අලුත් පත්වීමක් සකස් කර ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තේය. පද්මිණි වීරසූරිය ගේ ස්ථාන මාරුවීම සමාජයේ දැඩි කතාබහකට ලක්වීමට පටන් ගැනීමත් සමඟ පොලිස් මූලස්ථානය එය අවලංගු කරනු ලැබීය.

අනතුරුව ඇයට තවත් ස්ථාන මාරුවීමක් සූදානම් වන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකයටය. එයද පසුව අවලංගු විය.

නැවතත් 2020 වසරේ ඔක්තෝබරයේ දී ඇයට ස්ථාන මාරුවක් ලැබෙන්නේ යාපනයටය. එම ස්ථාන මාරුවීමත් අවංගු වන්නේ සමාජයේ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවීම හේතුකොටගෙනය.

නැවතත් පද්මිණි වීරසූරිය ට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ 2021 වසරේ ජුනි 17 වෙනිදාය. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සුබසාධන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙසිනි.

ඇය අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ සේවයට එක්වන්නේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. ඒ 2016 වසරේදීය. පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලබන්නේ 2017 වසරේ පෙබරවාරි 20 වෙනිදාය. ඇය සමඟ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 08 දෙනෙක් උසස්වීම් ලැබුවාය. කාන්තා නිලධාරීනියන් 08 දෙනෙක් එකවර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලබමින් පොලිස් ඉතිහාසයේ වැඩිම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් පිරිසක් පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලැබීමේ වාර්තාවක්ද එවර තැබුවාය. 2019 වසරේ මෙම නිලධාරිනියක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස උසස්වීම් ලබමින් තවදුරටත් එම වාර්තාව අලුත් කරනු ලැබුවාය.

පද්මිණි වීරසූරිය අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ධුරයට පත්වන්නේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටියදීය. සුබසාධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය ලෙස සේවයේ නිරතව සිටිය දී කාර්ය ඉටුකරන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කරනු ලැබූ ඇය මෙතෙක් කාලයක් සේවයේ නිරතව සිටියේ පොලිස් සුබසාධන අංශ ප්‍රධානියා ලෙසිනි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියන් උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස නිත්‍ය සේවයට බඳවා ගන්නා අවස්ථාවේ දී 1997 වසරේ දී පොලිස් සේවයට එක්වූ පද්මිණි වීරසූරිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවයේ ද නිරතව සිටි තැනැත්තියකි. ඇය සේවයේ නිරතව සිට ඇත්තේ හයිටි සහ ටිමෝර් රාජ්‍යයන්වලය. ඇය විවාහ වී සිටින්නේ හමුදා නිලධාරියෙක් සමඟිනි.

(dinamina – ගයාන් කුමාර වීරසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here