සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ: අතීතයට පමණක් අයත් දෙයක් නොව, එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිත සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක් යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ “කෝට්ටේ රාජධානිය සංචාරක මුලපිරීම දියත් කිරීම” LAUNCH OF THE KINGDOM OF KOTTE TOURISM INITIATIVE” සහ “කෝට්ටේ හරිත සංචාරක ජාලය” “Kotte Green Tourism” මැයෙන් ජූලි මස 27 බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත් වූ කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත එළිදැක්වීමේ උත්සවය අමතමිනි.
එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරිය…
ලෝකයේ තිබෙන සුවිශේෂී තෙත් බිම් අතුරින් එකක්
“මේක ශ්‍රී ලංකාවට අලුත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන, වැදගත් මුලපිරීමක්. මේ ව්‍යාපෘතිය සංචාරක මාවතකට වඩා වැඩි යමක්. මේක ඉතිහාසය, සොබාදහම සහ උරුමය ඔස්සේ යන ගමනක්. ශ්‍රී ලංකාවේ පරිපාලන හදවත හැටියට පමණක් නෙවෙයි, කැපී පෙනෙන ඓතිහාසික ගැඹුරක්, සංස්කෘතික පොහොසත්කමක් සහ පාරිසරික වටිනාකමක් ඇති ස්ථානයක් හැටියට අපගේ අගනුවර නැවත රටට ලෝකයට හඳුන්වා දෙන්න ලැබෙන අවස්ථාවක්. මෙයින් මිනිසුන්ට හොඳ සංස්කෘතික ජීවිතයක් වගේම මෙම නගරයට ලබා දිය හැකි අනෙකුත් සියලු දේ අත්විඳිය හැකි නගරයක් බවට පත් කරන්න අවස්ථාව ලැබේවි.
ඒ වගේම නාගරික තෙත්බිමක් විදිහටත්, මේක සුවිශේෂී තෙත්බිමක්. මේ තරම් පාරිසරික විවිධත්වයක් තියෙන අගනගර මුළු ලෝකයටම වුණත් තියෙන්නේ කිහිපයක් කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසාම එය අපට ප්‍රවර්ධනය කළ හැකි එකක්.
කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත
ඔබ සියලු දෙනා දන්නා පරිදි, 14 වන ශතවර්ෂයේදී බලකොටු සහිත අගනුවරක් ලෙස පිහිටුවන ලද කෝට්ටේ, චීන, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආදී විදේශීය බලපෑම් රැල්ලකට මුහුණ දුන් ඓතිහාසික නගරයක්. ශ්‍රී ලංකාව ස්වෛරී ජාතියක් ලෙස එක්සත් කර පාලනය කළ, පරාක්‍රමබාහු රජුගේ වාසස්ථානය වුණේ මේ කෝට්ටේ නගරයයි. සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වෙන්නෙත් මේ නගරයේ බව අපි දන්නවා. අදටත් මෙම පොහොසත් ඉතිහාසයේ නටබුන් ඉතිරිව තිබෙනවා. පැරණි ප්‍රාකාර, දිය අගල්, ආගමික ස්ථාන සහ ස්මාරක, අභිමානවත් හා ශක්තිමත් රාජධානියක කතාව නිහඬව පවසනවා කියලයි මට හිතෙන්නෙ.
එහෙත්, කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවේ. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. ලෝකයේ ප්‍රථම තෙත්බිම් අගනුවර ලෙස, කෝට්ටේ නාගරික ජීවිතය හා ජෛව විවිධත්වය සමගාමීව පැවතිය හැකි ආකාරය පිළිබඳ ජීවමාන උදාහරණයක්, කල්පනාකාරී සැලසුම්කරණයෙන් හා පරිසරය කෙරෙහි ගැඹුරු ගෞරවයකින් මග පෙන්වනු ලැබුවහොත්, කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත: ඉතිහාසය, සංස්කෘතිය, සොබාදහම යන මෙම අද්විතීය මානයන් එක් අත්දැකීමක් බවට පත් කරන, අපට තියෙන ඉතා හොඳ අවස්ථාවක්.
කෝට්ටේ සැඟව පවතින දෑ…
එය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ජාත්‍යන්තර අමුත්තන්ට ද දිගු කලක් තිස්සේ සැඟවී තිබූ කෝට්ටේ රාජධානිය ගැන ගවේෂණය කරන ස්ථානයක් විදිහටත් සංචාරක කර්මාන්තයේ අවධානය යොමු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින්න කැමැතියි. මන්ද බොහෝ දෙනෙක් නොදන්නා හෝ තේරුම් නොගන්නා බොහෝ දේ කෝට්ටේ තිබෙනවා. තෙත්බිම්වලින් ආරම්භ වී ඓතිහාසික අංගයන් දක්වා කෝට්ටේ බොහෝ දේ සැඟවී තිබෙනවා.
කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් මෙහෙයවනු ලබන, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සහ ආණ්ඩුකාර ගරු හනිෆ් යූසුෆ් මහතාගේ සහය ඇතිව, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ දැක්මෙන් ආභාෂය ලැබූ මෙම මුලපිරීම, ප්‍රජා මූලික හා තිරසාර සංවර්ධනය සඳහා වන හොඳ කැපවීමක් වගේම ප්‍රාදේශීය නායකත්වය, පුරවැසියන් සහ ජාතික උරුමය පොදු අරමුණක් සමඟ එකතු වුණ අවස්ථාවක්. සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, මෙම ව්‍යාපෘතියේ සංවිධායකයින්ට සහ හවුල්කරුවන්ට මගේ ප්‍රශංසාව පිරිනමනවා.
ඔබගේ මේ කාර්යය අපගේ අගනුවර දෙස නැවත හැරී බලන්න, සිතා බලන්න උපකාරී වනවා වගේම එය පරිපාලන පාලන නගරයක් ලෙස පමණක් නොව, ජීවමාන කෞතුකාගාරයක් සහ විවෘත පන්ති කාමරයක් ලෙස, එහි සෑම වීදි කොනක ම, තෙත්බිමක ම සහ සිද්ධස්ථානයක ම කතාවක් සැඟවී තිබෙනවා කියලයි මට හිතෙන්නෙ. මෙම නව ගමන ආරම්භ කරන විට, කෝට්ටේ සංචාරක ව්‍යාපාරය දෙස් විදෙස් අමුත්තන් සඳහා පමණක් නොව, මෙම නගරය නිවහන කරගත් ප්‍රජාවන් සඳහාද ගොඩනගා ඇති බවට අපි සහතික වෙනවා. අප සැමට අයත් උරුමය සමරමු, ආරක්ෂා කරමු, අනාගත පරම්පරාවලට ඉතා පරිස්සමින් බාර දෙමු.”
මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහත්, සංචාරක සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහත් කියා සිටියේ ජාතික ජනබලවේගය රජයක් පිහිටුවීමටත් පෙර සිට ම කතා කළ, වැඩ කළ, සහ සැලසුම් කළ මෙම වැඩසටහන දැන් යථාර්ථයක් බවට පත් කරගැනීමට හැකි වී ඇති බවත්, ඒ වගේම එය තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ද වන බව යි.
උත්සව සභාව ඇමතූ කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු සඳහන් කළේ ලෝකයේ බොහෝ අගනගරවල පවතින එම රට සහ අගනගරය පිළිබද විස්තර වන කෞතුකාගාරයක්, පුස්තකාලයක් යනාදි අංග කෝට්ටේ නගරයේ ද ඇතිකිරීමට රජය මුල් වී කටයුතු කළ යුතුව ඇති බවත්, එම අවශ්‍යතා ඉටුකරගැනීමට ලබා දිය හැකි සෑම ආකරයක ම සහයෝගය ලබා දෙන්නටත්, ඒ වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත් කෝට්ටේ නගරසභාව සැමවිටම සූදානම් බවයි.
කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාවට බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසූෆ්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සංචාරක සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු, උත්සවයේ සංවිධායක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ දෙස් විදෙස් නියෝජිතයින් ද සහභාගී වූහ.
