ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ.
ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසිනි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වනදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළේය.
එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බව අවධාරණය කළේය.
එමෙන්ම තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතියද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ තුළින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල ගැසට් නිවේදනය තුළින් පෙත්සංකරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේදැයි සොයා බැලීම සඳහා විභාගයක් පැවැත්වීමට තීරණය කළේය.
ඒ අනුව මෙම පෙත්සම අගෝස්තු මස 27 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් නියම කර ඇත.