ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය ගැන අගමැතිනිය කියූ කතාව

0
20

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූ, පුතුන්ට දෙස්  විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (05) පැවති ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය, 21 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය සහ ඡායාරූපකරණයේ විශිෂ්ටයින් වෙත ජාත්‍යන්තර ගෞරව නාම පිරිණැමීම සිදු කළ අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…

විනෝදාංශය අභිභවන කලා මාධ්‍යයක්

”හැත්තෑ පස් වසරක අභිමානය සමරන ශ්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමයට පළමු කොට මම මාගේ සුබ පැතුම් එක් කරනවා. ඡායාරූප ශිල්පය විනෝදාංශ මාධ්‍යයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වුණත්, එය හුදු විනෝදාංශයකට එහා ගිය කලා මාධ්‍යයක්, ප්‍රචාරණ මාධ්‍යයක් වගේම ප්‍රවෘත්ති මාධ්‍යයක්. ඡායාරූප ශිල්පය  මනාව හැදෑරිය යුතු, මානව භාෂාව වගේ සෑම විෂයක් තුළ ම අන්තර්ගත වූ විෂයක්, එබැවින් යුනෙස්කෝ සංවිධානය 1993 වසරේ දී 21වන සියවසේ දී උගත යුතු විෂයයන් අතරට ඡායාරූප ශිල්පය එකතු කළා.

නූතන අධ්‍යාපන අවකාශය තුළ සෑම රටක ම පාහේ ඡායාරූප ශිල්පය ඉගෙනීමට සුවිශේෂී උන්දුවක් දක්වන බොහෝ පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය කියන්නේ ඡායාරූප ශිල්පයේ බහු මානයන් සොයා යන්නට මෙරට බිහි වූ පිළිගත් අධ්‍යාපන හා වෘත්තීය ආයතනයක්. බටහිර අධිරාජ්‍යවාදි යුගයේ දී විදේශිකයන්ට පමණක් උරුම කලාවක් ලෙස පැවති ඡායාරූප ශිල්පය මෙරට දරුවන්ට ද උරුම කලා මාධ්‍යයක් ලෙස ගොඩනගන්නට මුල් වී කටයුතු කළේ ජාතික ඡායාරූප කලා සංගමය යි.

මුළුමනින් ම ස්වේච්ඡා ආයතනයක්

අවුරුදු 75ක් පුරාවට ඔබ සංගමය පසු කර ආ මේ ගමන්මග අතිශය සුවිශේෂයි. ඒ වසර 75 පුරාවටම ඉගැන්වීම, ඇගයීම්, ප්‍රදර්ශන සංවිධානය කිරීම වගේ ම, ඡායාරූපකරණයෙන් රටේ තරුණ පරපුරට දේශීය සහ විදේශීය වෘත්තීය අවස්ථා විශාල ප්‍රමාණයකට දොර විවර කර දීමත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ශිල්පය ඉගැන්වීමට සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා, වෘත්තීය පාඨමාලා නොමිලේ ම පවත්වමින් මුළුමනින් ම ස්වේච්ඡා ආයතනයක් ලෙස කටයුතු කරමින් දක්ෂ, කලාත්මක ශිල්පීන් සහ වෘත්තිකයන් බිහි කිරීමට ඡායාරූප සංගමය දරන වෑයමත්  අපි රජය හැටියට අගය කරනවා. 

ඡායාරූපකරණයේ පමණක් නොවෙයි, ජනමාධ්‍ය සහ සිනමා ක්ෂේත්‍රයන්හි වත්මනේ අපට සිටින බොහෝ විශිෂ්ටයින්ගේ මුල් පියවර ඇරඹී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයෙන්.”

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ශ්‍රි ලංකා ජාතික ඡායාරූප සංගමයේ සභාපති ශාන්ත ගුණසේකර, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here