ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මධ්‍යයේ ගෞරවනීය ටෙනිස් ක්‍රීඩිකා පෑම් ෂ්රයිව (Pam Shriver)ගේ ජයග්‍රාහී කුසලාන හා මෝටර් රථය සොරකම් කර තිබෙනවා.
ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ එක් ශ්‍රේෂ්ඨතම යුගල ක්‍රීඩිකාවක වන ටෙනිස් Hall of Fame ක්‍රීඩිකා පෑම් ෂ්රයිව, ඇයගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානවලින් වැඩි ප්‍රමාණයක් තාවකාලිකව ගබඩා කර තබා ගැනීම පිණිස භාවිතා කරමින් සිටි කාරය සොරකම් කර ඇතැයි පවසනවා.
මේ සොරකම සිදුව තිබෙන්නේ ඇය ලොස් ඇන්ජලීස් පෙදෙසේ පැතිරෙන ගින්න හේතුවෙන් ඇගේ නිවසෙන් ඉවත්ව ගොස් හෝටලයක නැවතී සිටියදී.
“ගින්න පටන් ගත් අවස්ථාවේ අපි ගෙදරින් පිටත්ව පැමිණි හෝටලයේ රථ ගාලේ නතර කර තිබූ අපේ කාරය සොරකම් කර තිබෙන බවට පැමිණිලි කිරීම සඳහා මමයි පුතායි දැන් පොලිස් ස්ථානයකට ඇවිත් සිටිනවා” යනුවෙන් ෂ්රයිව පෙරේදා X සමාජ මාධ්‍ය පෝස්ටුවකින් දන්වා සිටියා. “මෙය, අපට ආරක්ෂිතව නැවත ගෙදර යන්න පුළුවන් වෙලාව එනතෙක් මගේ ප්‍රධාන කුසලාන වැඩි ප්‍රමාණයක් තබා තිබුනු කාරය යි.”
ESPN හා ටෙනිස් චැනලයේ විස්තර ප්‍රචාරයේ යෙදෙන ෂ්රයිව ක්‍රොඒෂියානු ඔලිම්පික් රිදී පදක්කම්ලාභී Donna Vekicගේ පුහුණුකාරිනිය ද වනවා. තමාගේ අමෙරිකානු විවෘත කුසලාන පහ, ප්‍රංශ විවෘත කුසලාන පහ සහ එක් ඔස්ට්‍රේලියානු විවෘත කුසලානයක් එම මෝටර් රථයේ තිබූ බව ඇය පවසනවා. සිද්ධියෙන් පසුව ඇය හෝටලය මාරු කර තිබෙනවා.
පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යමින් තිබූ ගින්න නිසා නිවස අතහැර ගිය තමා සහ තම පවුල දැන් අපරාධයක ද ගොදුරක් බවට පත්ව ඇතැයි ඇය ESPN ට ප්‍රකාශ කළා.
කතාන්දරයක් බඳු පෑම් ෂ්රයිවගේ ක්‍රීඩා දිවියේදී ඇය කාන්තා යුගල ශූරතා ග්‍රෑන්ඩ් ස්ලෑම් 21ක් දිනාගෙන තිබෙන අතර මෙයින් 20ක් ම ඇය ජයග්‍රහණය කළේ තවත් ශ්‍රේෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවක වන මාටිනා නව්රතිලෝවා සමග. මීට අමතරව ඇය මිශ්‍ර යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් ද දිනා ගත්තා.
ෂ්රයිව කාන්තා යුගල ටෙනිස් තරග බිමේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා හතක්, විම්බ්ල්ඩන් ශූරතා පහක්, අමෙරිකානු විවෘත ශූරතා පහක් සහ ප්‍රංශ විවෘත ශූරතා හතරක් දිනා ගැනීමට සමත් වුනා. ඇය 1987 වසරේදී ස්පාඤ්ඤයේ Emilio Sanchez සමග ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශූරතාවලියක් ද ජයග්‍රහණය කළා.
1984 වසරේදී, ෂ්රයිව හා නව්රතිලෝවා කැලැන්ඩර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජය ගත්තේ එම වසරේ කාන්තා යුගල ප්‍රධාන ශූරතා හතර ම ජයග්‍රණය කරමින්.
පෑම් ෂ්රයිව 2002 වසරේදී ටෙනිස් ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙමින් ජාත්‍යන්තර Hall of Fame පදවියෙන් පිදුම් ලැබුවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]