2025 රැකියා පිටිය තුළ කාන්තාවන්ගේ සැබෑ තත්ත්වය

    0
    3

    රටක ආර්ථික සංවර්ධනය මෙන්ම කාන්තා සවිබල ගැන්වීම මැන බැලීමේදී ශ්‍රම වෙළෙඳපොළ දත්ත ඉතා වැදගත් වේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2025 නවතම වාර්තාවට අනුව, මෙරට ශ්‍රම බලකාය, රැකියා නියුක්තිය සහ ඩිජිටල් භාවිතය පිළිබඳ විශේෂ කරුණු රැසක් අනාවරණය වී තිබේ.

    විශේෂයෙන්ම මෙහිදී කාන්තා ශ්‍රම සහභාගීත්වය, විරැකියා අනුපාත සහ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වැදගත් දත්ත රැසක් වාර්තා වී ඇත.

    සමස්ත රැකියා නියුක්තිය

    2025 වසරේදී මෙරට සමස්ත රැකියාවල නියුතු ජනගහනය 8,079,040ක් (මිලියන 8 ඉක්මවා) වන අතර, එයින් පිරිමි පුද්ගලයින් 5,299,777ක් සහ කාන්තාවන් 2,779,262ක් වේ. රටේ සමස්ත රැකියා නියුක්ති අනුපාතය 96.1%කි.

    ශ්‍රම බලකා සහභාගීත්වය

    අවුරුදු 15 සහ ඊට වැඩි ජනගහනයෙන් ශ්‍රම බලකායට ඇතුළත් පිරිස 8,408,251කි. එහි සමස්ත සහභාගීත්ව අනුපාතය 49.4ක් වන අතර, පිරිමි අනුපාතය 69.1%ක් වන විට කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය 32.4%ක් ලෙස සටහන් වී ඇත.

    අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් 6,185,730ක් (ලක්ෂ 61.86කට ආසන්න පිරිසක්) ශ්‍රම බලකායට අයත් නොවන (ආර්ථික වශයෙන් අක්‍රීය) කාණ්ඩයේ පසුවේ. ශ්‍රම බලකායෙන් පිටත සිටින සමස්ත ජනගහනයෙන් 71.7%ක්ම කාන්තාවන් වීම විශේෂත්වයකි.

    මෙම කාන්තාවන් රැකියාවලින් බැහැරව සිටීමට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු පෙන්වා දී ඇත.

    • ගෘහස්ථ කටයුතුවල නිරත වීම: 58.1%ක්
    • අධ්‍යාපනයේ නිරත වීම: 17.8%ක්
    • විශ්‍රාමික හෝ වයෝවෘද්ධ වීම: 16%ක්
    • අසනීප හෝ ආබාධිත තත්ත්වයන්: 6.6%ක්

    සුබදායී පුවතක් ලෙස, 2024 වසරේ 4.4%ක් වූ සමස්ත විරැකියා අනුපාතය 2025 වසරේදී 3.9%ක් දක්වා පහළ බැස ඇත.

    කාන්තා විරැකියාව

    2024 වසරේ 7.1%ක්ව පැවති කාන්තා විරැකියා අනුපාතය 2025 දී 6.1%ක් (කාන්තා විරැකියාව 179,280ක්) දක්වා ක්‍රමයෙන් අඩුවී තිබේ.

    තරුණ විරැකියාව

    කෙසේ වෙතත්, තරුණ පරපුර අතර විරැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම වයස අවුරුදු 15-24 අතර තරුණියන්ගේ විරැකියා අනුපාතය 24.5%ක් ලෙස ඉහළ අගයක් ගන්නා අතර, අවුරුදු 25-29ත් අතර තරුණියන්ගේ විරැකියා අනුපාතය 17.1කි.

    රැකියාවල නියුතු පිරිස අතර වැටුප් දත්ත සැලකීමේදී තවමත් ස්ත්‍රී-පුරුෂ වැටුප් පරතරයක් දක්නට ලැබේ:

    මාසික වැටුප් ලබන්නන්

    මාසික වැටුප් ලබන සේවකයෙකුගේ 2025 සාමාන්‍ය දළ මාසික වැටුප රුපියල් 65,325කි. එහිදී පිරිමි සේවකයෙකුගේ වැටුප රුපියල් 70,942ක් වන විට, කාන්තාවකගේ සාමාන්‍ය දළ මාසික වැටුප රුපියල් 57,867කි.

    දෛනික වැටුප් ලබන්නන්

    පිරිමින්ගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 41,290ක් වන අතර, කාන්තාවන්ගේ එම අගය රුපියල් 22,640ක් ලෙස සටහන් වේ.

    දෙවන රැකියාවක්

    ප්‍රධාන රැකියාවට අමතරව තවත් රැකියාවක නිරත වන පිරිස 439,839කි (5.4%).

    ඩිජිටල් ලෝකය තුළ කාන්තා නියුක්තිය ඉහළ යමින් තිබීම සතුටට කරුණකි.

    වයස අවුරුදු 10 සහ ඊට වැඩි මෙරට සමස්ත සාක්ෂරතා අනුපාතය 93.3%කි.

    ජාතික පරිගණක සාක්ෂරතා අනුපාතය 39.2%ක් වන අතර, කාන්තාවන්ගේ පරිගණක සාක්ෂරතාව 38%ක් ලෙස සටහන්ව ඇත (පිරිමි – 40.5%).

    මෙරට සමස්ත ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 72%ක් වන අතර, 2025 වසරේදී අන්තර්ජාලය භාවිත කර ඇති ජනගහන ප්‍රතිශතය 62.4% දක්වා (2023 දී එය 51.2% කි) සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

    මෙම නව සංඛ්‍යාලේඛන දෙස බලන විට, අපේ රටේ කාන්තාවන් අධ්‍යාපනයෙන් සහ ඩිජිටල් තාක්ෂණයෙන් ඉදිරියට පැමිණියද, ආර්ථික ශ්‍රම බලකායට ඔවුන්ගේ දායකත්වය තවදුරටත් පුළුල් කරගැනීමට සහ ගෘහස්ථ රාජකාරීවලින් ඔබ්බට ඔවුන්ට නව අවස්ථා උදා කර දීමට තව බොහෝ දේ කළ යුතුව ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here