අනුරාධපුරය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ විශේෂඥ වෛද්‍ය නේවාසිකාගාරයක් තුළ දී මේ මස 10 වැනි දින ලිංගික හිංසනයකට ගොදුරු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමෙන් වැළකි සිටින්නැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය විෂයන් භාර අමාත්‍යවරයා මෙන්ම රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා තිබුණේ අදාල සිදුවීමෙන් පැය 24 ක් ගෙවුනු තැනය.
එම වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසත්, එයට ගරු කරමින් වාර්තාකරණයේ යෙදෙන ලෙසට සියළුම මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වෙතින් ඇමැතිවරයා ඉල්ලා තිබුණි .

සෞඛ්‍ය අමාත්‍යාංශය ද වින්දිත වෛද්‍යවරියගේ සහ ඇගේ සමීපතමයන්ගේ අනන්‍යතාවය සුරකින ලෙසට ජනමාධ්‍ය වෙතින් ඉල්ලා තිබුණේ විෂය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීමට අමතරවය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද එදිනම නිවේදනයක් නිකුත් කරමින් සිය මාධ්‍ය සගයන්ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව විශ්වාසය පළ කරමින්ම ඉල්ලා තිබුණේ හිංසනයට ලක් වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව සුරැකෙන ලෙස වාර්තාකරණයේ යෙදෙන ලෙසයි. එහි කැඳවුම්කාරිනි හනා ඊබ්‍රාහිම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයෙන් මතක් කර දී ඇත්තේ එවැනි කම්පා සහගත සහ ඛේදණිය සිදුවීම් පිළිබඳව වාර්තා කිරීමේදී අපරාධයට ගොදුරු වු වින්දිතයා මෙන්ම ඔහුගේ හෝ ඇයගේ පවුලේ සමීපතමයන් ද අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ජනමාධ්‍ය ආචාරධර්ම මත පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම යි.
එම නිවේදන දෙක තුනෙන් සියල්ල අවසන් වූයේ නැත. ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ද ඇතුළු තවත් බොහෝ පාර්ශවයන් අදාල අපරාධයට එරෙහිව නැඟි සිටිමින් ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කරන බවට මත පළ කොට සිටියහ.

මාධ්‍ය මඟින් විවිධාකාරයේ පුවත් මවමින් නාටකීය ස්වරූපයෙන් සිදුවීම ඉදිරිපත් කරන අතරවාරයේ දී පොලීසිය විසින්කඩිනම් පරික්ෂණයක් දියත් කරනු ලැබීය. විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම අනුරාධපුර දිස්ත්‍රිකයේ අස්සක් මුල්ලක් නෑර පීරූහ. අවසානයේදි ගල්නෑව ප්‍රදේශයේ දී සැකකරු ලෙස හඳුන්වමින් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූණි.
වින්දිත වෛද්‍යවරියට සහාය සහ අනුකම්පාව පළ කර ඇති කම්පිත අදහස්වලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරි ගියේය. සැබවින්ම තවමත් එහි නිමාවක් නැත. සයිබර් අවකාශයේ වෙබ් පිටුවල තරගයට මෙන් බොහෝ ලිපි පළ විය. විචාර, විග්‍රහ මෙන්ම සැකකරු පිළිබඳව වෛරය සහ පිළිකුල දනවන ඒවා ද ඒ අතර විය. සියල්ල නොවෙතත් ඉන් බොහෝ දේ යහපත් එමෙන්ම කාලෝචිත ඉල්ලීම් සහ මැදිහත්වීම් විය. එහි කිසිදු තර්කයක් හෝ විවාදයක් නැත. එහෙත් අතිශයෝක්තියට නැගුනු එමෙන්ම අධිකරණයටත් පෙර සැකකරුට දඬුවම් නියම කරන ලද වාර්තාද බොහෝ විය. ජනමාධ්‍යයේ සීමා රහිත එමෙන්ම වගකීම් විරහිත හෙළිදරව් කිරීම කෙතරම් දුරට ගියේ දැයි කිව හොත් මාධ්‍යයට නිල හා නොනිල තොරතුරු සපයන පොලිසියටම අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයට තරවටු කරන්නට සිදුවිය.

ඒ අනුව පසුගිය 17 වැනි දා පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අපූරු නිවේදනයක් නිකුත් කර තිබුණි. සමස්තයක් ලෙස ගත් විට එම නිවේදනයෙන් ද කියැවෙන්නේ ලිංගික දුෂණයට ගොදුරුවූ වෛද්‍යවරියගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමේ වැදගත් කමයි. ඒ හැරුණු විට ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරුවන බාල වයස්කාර දැරියන් සහ අනෙකුත් තැනැත්තියන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමේ වැදගත් කමත්, එය උල්ලංඝණය කිරීමේදී ඇතිවන වරදේ ස්වභාවයත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයත් අදාල නිවේදනයෙන් අවධාරණය කොට තිබුණි.
වැදගත් වින්දිතයන් සහ නොවැදගත් වින්දිතයන්

අපරාධයකට ගොදුරුවන හෝ එහි කවර හෝ සම්බන්ධතාවයකට ඇඳෙන වින්දිතයකුගේ අනන්‍යතාවය හාපෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ජනමාධ්‍යය පමණක් නොව සමස්ත සමාජයම බැඳී සිටියි. එය විටෙක නීතිමය වශයෙනුත් තවත් විටෙක සදාචාරාත්මක සහ ආචාර ධර්මිකවත් ඇති වන්නා වූ බැඳීමකි. වගකීමකි. එහෙත් ගැටළුව ඇත්තේ එහි නොවේ. එකිනෙකට වෙනස් ආකල්ප සහිතව නොඑසේ නම් හුදු පුද්ගල තරාතිරම සහ එකි වින්දිත පාර්ශවයේ සමාජ,දේශපාලන හෝ ආර්ථික පදනම මත පිහිටා කටයුතු කිරීමය. එය සරලම අර්ථයෙන් පැහැදිලි කළහොත්, එකම අපරාධ වර්ගයක ගොදුරු බවට පත්වන වින්දිතයන් ප්‍රභූ සහ නිර්ප්‍රභු කාණ්ඩ දෙකක් යටතේ වෙනස් කම් සහිතව මාධ්‍ය ඇතුළු වෙන යම් පාර්ශව විසින් ඔවුන්ගේ අභිමතය පරිදිනිරාවරණය කිරීමය. නොඑසේ නම් එසේ වන්නට ඉඩ හැර මුණිවත රැකිමය. නීතිය ඉදිරියේ අසමාන සැලකිලිවලට ලක් වීමය.

ලිංගික හෝ ඒ හා සමාන අඩන්තේට්ටමක ලක්වෙන්නේ කවර නම් තැනැත්තියක් ද ඒ අපුල ජනක සිදුවීමේ ශාරීරික සහ මානසික හිංසනයේපීඩනය තැනැත්තියෙගෙන් තැනැත්තියට කිසිදු වෙනසක් ඇති නොකරන්නේ ය. මන්දයත් ලිංගික හිංසනය යනු සෑම ගැහැණියකටම දරා ගත නොහැකි අපරාධයක් වන බැවිනි. වෙනසක් ඇති වුව හොත් එසේ වන්නේ හිංසනයේ ස්වභාවය මත ඇති වන ශාරීරික ව්‍යාකූලතාවයන් මත පමණි. ඇතැම් විට එය තනි පුද්ගලයකු විසින් සිදු කරන ලිංගික බලහත්කාරකමක් විය හැකිය. නැතහොත් සාමූහිකව සිදුකරන ලිංගික හිංසනයක් (Gang Rape) විය හැකිය. බොහෝ විට එවැනි ක්‍රියාවකදි වින්දිත තැනැත්තිය මුහුණ දෙන්නේ අතිශයින්ම රළු එමෙන්ම කටුක අත්දැකීම් ගොන්නකටය. ඒ හා සමානව ඒ ඒ වින්දිතයන්ගේ වයස් සහ දරා ගැනීමේ ශක්තිය මතත් එවැනි කෲර අත්දැකීමක දිග පළල තීරණය විය හැකිය. නමුත් අවසාන වශයෙන් ඒ සියල්ලෝම මුහුණ දෙන්නේ හා අත් විඳින්නේ ශාරීරිකවත්, මානසිකවත් එක හා සමාන වු වේදනාකාරී හැඟිම් ගොන්නකටය. බිය, ලැජ්ජාව, බිඳී ගිය ආත්ම ගරුත්වය ආදී මේ සියල්ලම ඇයට මානසික වධ බන්ධනයකි. ඇතැම් විට එම සිදුවීමේ කටුක මතකය ඇගේ මුළු ජීවිත කාලය පුරාවටම මනසේ තැන්පත්ව තිබිය හැකිය. දරුණු මානසික අවපීඩාවන්ට ගොදුරුව හුදකලාව වසන්නට ප්‍රිය කරනු ඇත. ලිංගික හිංසනය යනු එතරම් ම කුරිරු වධයකි.
දූෂකයන් සුරකින නීතියේ බල කණු

ශ්‍රි ලංකාවේ යම් ස්ත්‍රියක් හෝ තරුණියක් ලිංගික හිංසනයකට, අපයෝජනයකට ලක් වූ පසුව ඇය නැවත නැවතත් හිංසනයන්ට ගොදුරු වන බව ප්‍රකට මතයකි. ඉන් පළමු වැන්න එවැනි අපරාධ පිළිබඳව සමාජයේ පවතින දුර්මතයයි. බොහෝ විට සමාජය ඇඟිල්ල දිගු කරන්නේ, පීඩක දුෂකයාට නොව එම අපරාධකරුට ගොදුරු වූ වින්දිතයාටම ය. ලිංගික හිංසන සිදුවීමක් පිළිබඳව සිදුකෙරන බොහෝ විමර්ශන සහ, ඉන් අනතුරුව අධිකරණය ඉදිරියේ එය විභාගයට ගත් පසුවත් එම පීඩනයේ, හිංසනයේ වෙනසක් නැත. එවැනි අපුල දනවන, සදාචාරාත්මක නොවන මෙන්ම අනිතික ක්‍රියා පිළිබඳ නිදසුන් ඕනෑ තරම් ලිංගික හිංසන විමර්ශනයන් මෙන්ම නඩු කටයුතු වලින් ද අපට සොයා ගත හැකිය.
බොහෝමයක් කාන්තාවන් හාතරුණියන් ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි කිරීමට ඉමහත් බියක් සහ චකිතයක් දක්වති. එයට ප්‍රධානතම හේතුව එවැනි පැමිණිලි පිළිබඳව පොලිස් විමර්ශන සිදු කරන ආකාරයත් ඉන් අනතුරුව අධිකරණය හමුවට නඩුවක් ලෙස ගොනු කෙරුනු පසුව සාක්ෂි විමසීමේ ස්වභාවයත්, අවසානයේ නඩුව විසඳා යුක්තිය ඉටුවීමට හෝ නොවීමට ගතවන කාලයත් ය. බාල වයස්කාරියන්ට සිදුවන ලිංගික හිංසන සිදුවීම් පිළිබඳ බොහෝ නඩුවල තීන්දු ලැබෙන්නේ වසර දහයක් හෝ විස්සක් හෝ ගෙවුණු තැනය. නැතිනම් ඇය විවාහ වී දරුවන්ද ලැබුණු පසුවය.
.

ලිංගික හිංසන නඩු කටයුතුවලදි සැකකාර පාර්ශවය නියෝජනය කරන ඇතැම් නීතිඥවරුන් විසින් වින්දිත තැනැත්තිය ඉලක්ක කරමින් නගන ප්‍රශ්න කිරීම් ඇයට ඉතාම පිඩා ගෙන දෙන ඒවාය. බොහෝ වාග් මාලාවන් අතිශයින්ම කටුකය. බොහෝ විට එසේ වීවෘත අධිකරණයේම එවැනි ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ වින්දිත තැනැත්තිය මානසිකව හෝ සාක්ෂි වශයෙන් හෝ බිඳ දමා එහි වාසිය සැකකරුට ලබා ගැනීමටය.
අතීතයෙන් නුගත් පාඩම්

2001 වර්ෂයේ දිනෙක තලවකැලේ ශාන්ත පැට්‍රික් දේවස්ථානයේ ඉරුදින පාසැලට ගොස් නිවස වෙත යමින් සිටි බාල වයස්කාර දැරියක් ප්‍රදේශයේ යම් බලවත් කමක් තිබුණු දෙදෙනකුවිසින් පැහැරගෙන ගොස් බරපතල ලිංගික අතවරයකට ලක් කරනු ලැබුණි. එම සිදුවීමට අදාලව සිදු කෙරුනු මූලික විමර්ශන කටයුතු තලවකැලේ පොලිසිය විසින් සිදුකරන ලද්දේ ඉතාම මන්දගාමී සහ වින්දිත දැරියට අගතියක් සිදුවන ආකාරයෙනි. සැබවින්ම නිසි විමර්ශනයක් සිදු කොට සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කිසිදු උත්සාහයක් නොගත්තේ දැරිය විසින්ම ස්වෙච්ඡාවෙන්ම පැමිණිල්ලක් ගොනු කර තිබියදීත්ම ය. පසුව මහනුවර මානව හිමිකම් සංවිධානයක් සහ තලවකැලේ කතෝලික දේවස්ථානයේ මැදිහත්වීම නිසා සිද්ධිය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ගෙන යන්නට පොලිසියට සිදුවිය. පාසැල් දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ එකදු නීතිඥ මහත්මයකු හෝ මහත්මියක සොයා ගන්නට වින්දිත පාර්ශවයට නොහැකි විය. මන්දයත් වින්දිත දැරිය සිය කැමැත්තෙන් සැකකාර තරුණයන් දෙදෙනා සමඟ ගොස් සිද්ධිය ගැන පසුව පැමිණිලි කර ඇති බවට පැතිරි තිබු කුසු කුසුවයි. වින්දිත දැරිය ප්‍රදේශයේ වතුවාසී තැනැත්තියක් වීමද එම නොසලකා හැරීම්වලට හේතුවක් විය. සැකකාර තරුණයන් දෙදෙනා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලද්දේ, එවකට නුවරඑළියේ සිටි ජේෂ්ඨතම නීතිඥවරයෙකි. මූලික සාක්ෂි විභාගයේදි එම දැරිය පාසැල් ටයි පටිය සහිත නිල ඇඳුමින් සැරසි සාක්ෂි කූඩූවට නැග ඇගේ සාක්ෂිය ලබා දෙන විට සැකකාර නීතිඥවරයා විවෘත අධිකරණ හමුවේ ඉතා උස් හඬින් මෙසේ කීය.

” මේ ඉන්නේ ඉස්කෝලේ යන ළමයෙක් නෙමෙයි. යුනිපෝම් එකක් ඇඳ ගත්ත ළමා ගණිකාවක්!” ඔහු විසින් එසේ පවසන ලද්දේ වරක් දෙවරක් නොවේ.
නීතිඥවරයාගේ එම අශෝභන සහ අනීතික වාග් මාලාව හමුවේ මුළු අධිකරණයම තිගැස්සි ගියද, නීතිඥවරයාට වඩා වෘත්තීයෙන් මෙන්ම වයසින් ද බාල විනිසුරු අසුනේ සිටි තරුණ විනිසුරුවරයා මුනිවත රැක්කේය. එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි හෝ එයට එරෙහිව තරවටු කිරීමක් හෝ විනිසුරු වෙතින් ප්‍රකාශ නොවුනි. සැකකාර පාර්ශවයේ නීතිඥවරයාගේ එම නින්දා සහගත එමෙන්ම අනීතික ප්‍රකාශය ගැනත්, විනිසුරුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය ගැනත් ලියුම්කරු විසින් අධිකරණ සේවා කොමිසමටත්, ශ්‍රි ලංකා නීතිඥ සංගමයටත්, ජාතික ළමාරක්ෂක අධිකාරියටත් ලිඛිතව පැමිණිලි කරනු ලැබුවද ඒ කිසිදු ආයතනයක් ඒ සම්බන්ධව කිසිදු විමර්ශනයක් සිදු කෙරුනේ නැත. අවම වශයෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරුක් හෝ නොලැබුණි. තවත් විටෙකදි, එම දැරිය ලිංගික හිංසනයට ගොදුරුවන අවස්ථාවේ ඇඳ සිටි යට ඇඳුම් එම පරික්ෂණය භාරව සිටි තලවකැලේ පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් පෑනක එල්ලා විවෘත අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කරන ලද්දේ වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය නීතිඥවරයාගේ දැඩි විරෝධතාව පවා නොතකා හරිමිනි. ඇයට එම ලිංගික හිංසනය සිදුවූයේ 2001 වසරේදි ය. එවකට ඇය 16 වියැති පැසැල් දැරියකි. වර්තමානය වන විට ඇය විවාහක දෙදරු මවකි. එහෙත් තවමත් නඩුව අවසන් නැත. අධිකරණයෙන්, අධිකරණයට මාරු වෙමින් තීන්දුවෙන්, තීන්දුවට අභියාචනා කරමින් නඩුව ඉදිරියට ඇදෙමින් තිබේ. 2001 වර්ෂයේ සිට අධිකරණ ගණනාවක් ඉදිරියේ ඇය බොහෝ වාරයක් සාක්ෂි දී තිබුණද තවමත් නඩුවේ අවසානයක් දකින්නට නැත. ඇයට යුක්තිය කවදා ඉටු වේ දැයි කියන්නට නොහැකිය. මෙවැනි සිදුවීම් තව කොතෙක් වෙත්ද?
කමල්ගේ දිග පළල

ශ්‍රි ලංකාවේ ප්‍රකට නළුවකු වන කමල් අද්දර ආරච්චි විසින් 1993 වර්ෂයේ දී තරුණියක ඇගේ කැමැත්තෙන් තොරව ලිංගික අපහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය විසින් ඔහුට එරෙහිව වසර 12 ක සිර දඬුවමක් ලබා දුන්නද පසුව අභියාචනාධිකරණය විසින් එම තීන්දුවේ පැමිණිල්ලේ “ඔප්පු කිරීමේ ද්වේශ සහගත තැන්” දක්වා ඔහු නිදොස් කොට නිදහස් කරන ලද්දේ ය. නමුත් වින්දිත තැනැත්තියට අධිකරණයේ අත් විඳින්නට සිදුවු දෑ පිළිබඳව එකළ දැඩි කතා බහක් ඇති විය. දීර්ඝ නඩු විභාගය අතරතුර විවෘත අධිකරණයේදි ඇයට මුහුණ පෑමට සිදුවු දෑ අප්‍රසන්න එසේම වින්දිත තරුණියකට දරා ගත නොහැකි තරමේ ඒවාය. හරස් ප්‍රශ්න හමුවේ ඇයට සැකකරුගේ ලිංගයේ දිග, පළල මෙන්ම සංසර්ගය සිදුවු ආකාරය පවා ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ පවසන්නට සිදුවූ යේ යැයි නඩු වාර්තා උපුටා දක්වමින් විකල්ප පුවත්පත් විසින් එකල වාර්තා කරන ලදි.
ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වන තැනැත්තියකගේ රැකවරණය සහ ගරුත්වය පළමුවෙන් රැකිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන අධිකාරින් විසින් මිස බාහිර සමාජය නොවේ. අණ පණත් නීති කවරක් වුණත් අවස්ථානුකූලව තීන්දු තීරණ ගැනීමේ බලයක් සහ අයිතියක් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බලධාරින් සතු බව අප අමතක නොකළ යුතුය.

ලිංගික බලහත්කාරකමක් පිළිබඳ නඩු විභාගයකදී සැකකාර පාර්ශවය උත්සාහ ගන්නේ එය බලහත්කාර කමක් නොව දෙදෙනාගෙම කැමැත්ත මත සිදුවුවක් යැයි සනාථ කිරීමටය. ඉහත දැක්වු සිදුවීම් දෙකෙහිම ඒ බව මනාව පෙනෙන්නට තිබුණි.
එම අපරාධ අතීත සිදුවීම් වුණ ද වර්තමානයේ සිදුවන දෑ සමඟද මනාව ගැලපෙන්නේ ය. ලිංගික හිංසනයේ ගොදුරු බවට පත්වන තැනැත්තියන්, නීතිය ක්‍රියාත්මක කිරීමට බලය පැවරුනු ආයතනයන් හෝ පුද්ගලයන් වෙතින් හිංසනයට පාත්‍ර වීම වර්තමානය වන විට වඩාත් පුලුල් සහ ත්ව්ර තත්වයට පත්ව තිබෙන්නේ එයට නව ක්ෂේත්‍ර එකතු වීම නිසාමය.
අවිචාරවත් මාධ්‍ය ආධිපත්‍යයකට යටත් සමාජයක්

ඒ් වෙන කිසිවක් නොව අවිචාරවත් මාධ්‍ය භාවිතාවයි. මෙකී වගකීම් විරහිත සදාචාර සම්පන්න නොවන මාධ්‍ය භාවිතය පිටුපස ඇති මුඛ්‍ය පරමාර්ථය අනෙකා අභිබවා වාර්තාකරණයේ යෙදීම ම පමණක් නොව නූතන ලෝකයේ මාධ්‍ය ආධිපත්‍යය දරණ විද්‍යුත් මාධ්‍යකරණය තුළ ඇති අලෙවිකරණ යි. තමන්ගේ වාර්තාවට විෂයය වන්නේ කවරෙක් දැයි මේ වගකීම් විරහිත මාධ්‍යකරුවන්ට අදාල නැත. තම ප්‍රවෘත්තියට හසු කරගන්නේ ගැහැණියක් ද, දරුවෙක් ද, වින්දිතයෙක් ද, නොඑසේ නම් නීතිය ඉදිරියේ චෝදනා ගොනු කොට යම් විමර්ශනයකට යටත්ව සිටින අයෙක් ද? ඒ කිසිවත් මේ මාධ්‍යකරණය ට අදාල නොවේ. ඔවුන් සියලු සම්මත නිර්ණායකයන් බිඳ දමා පුද්ගල අනන්‍යතාවයන් නොතකා හැර අතිශය පෞද්ගලික තොරතුරු පවා කැමරා කෝණ ඔස්සේ රූපවාහිනි තිර මත දිග හරිති. ඇතැම් විට ඒ නාටකානුසාරයෙනි.පත්තරවල පිටු ගණන් පතරංග හෑලි ලියති. ඇහින් දුටුවන් සේ කිසිම වැදගත් කමකට නැති විකාර කියමින් සමාජ මාධ්‍යවල රඟති. යම් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබන්නෙක් අධිකරණයක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව වරදකරුවකු ද, නිවැරදිකරුවකු ද යන වග තීරණය කරන්නටත් පෙරම මේ අතලොස්සක් වු විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන් විසින් ඒ ගැන විනිශ්චයක් ලබා දී අවසන්ය. එය අතිශයින්ම බරපතල තත්වයකි.
මාධ්‍යයක් විසින් යම් අපරාධයක් හෝ අපරාධකරුවෙක් පිළිබඳව හෙළිදරව් කරන්නේ නම් එය කළ යුතු වන්නේ නිසි පරිදි තොරතුරු ගවේශනය කරමින් අභියෝගයට ලක් නොවන ලෙස ඉදිරිපත් කෙරෙන කරුණු මතය. ඒ වෙනුවෙන් තමන්ට සපයා ගත හැකි සියළු සාක්ෂි, තොරතුරු සහ මූලාශ්‍ර රැස් කර ගැනීමෙනි. එය එසේ වන කල නීතිය ඉදිරියේ විභාගයට ගැනෙන සිදුවීමක වුව තම මතය පවසන්නට මාධ්‍යකරුවකුට බාධාවක් නැත. නමුත් වර්තමානයේ ඇති වී තිබෙන තත්වය අහඹු ලෙස හෝ ඒක පාර්ශවිය ලෙස හිටි අඩියේ ඇති වූවක් නම් නොවේ. එය මේ වන විට එක් අපරාධමය සිදුවීමකට බොහෝ සේ කම්පිතව, කලබලයට පත්ව ඒ හා සමානව කෝපාවිශ්ටව අවි අමෝරා සිටින නාමධාරි සංවිධාන, පොලිසි ය ද ඇතුළු හුදී ජනයා විසින්ම වෙඩි බෙහෙත් සපයමින් ගිනි වද්දා ලුවකි. අවැසි තරමටත් වඩා යහමින් පොහොර දමා අස්වැද්දුවකි. එනිසාම මාධ්‍ය විසින් අනුකම්පා විරහිතව, වගකීම් විරහිතව සමාජය හමුවේ නිරාවරණය කරන වින්දිතයන්ගේ සහ සැකකරුවන්ගේ කතාන්තරවල බිහිසුණු බවට ඒ සියල්ලන්ම වගකිව යුතුව ඇත. එමෙන්ම ඒ කතාන්තර සහ අවිචාරවත් මැදිහත්වීම් හේතු කොට ගෙන නීතියට, මානව ගරුත්වයට සහ පොදුවේ සමාජ පැවැත්මට එරෙහිව සිද්ධ වන ඛේදාන්ත ව්‍යසනය ද අප විසින් කියවා බැලිය යුතුව තිබේ. යම් වෘත්තීමය හෝ සිවිල් බලයක් සහිත තැනැත්තියක් මුහුණ පෑ ලිංගික හිංසනයක් වෙනුවෙන් පමණක් අවි අමෝරන මිනිසුන්, බලධරයන් මෙවැනිම කම්පා සහගත අපරාධ හමුවේ මෙයට පෙර කෙසේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ දැයි ඉතිහාසය සාක්ෂි දරනු ඇත. ඒ අයුරින්ම මාධ්‍යකරුවන් ලෙසත්, පොදුවේ සමාජයේ පාර්ශවකරුවන් ලෙසත් වගකීම් විරහිත අපේ භාවිතයන් ගැන නිවි සැනසිල්ලේ අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුව ඇත.
උසාවියේදී ඝාතනය වුනේ කවුද?

මෙයට සති කිහිපයකට පෙර කොළඹ ප්‍රධානතම අධිකරණයක විත්ති කූඩූවක් තුළම දෙනෝ දාහක් ඉදිරියේ පුද්ගලයකු වෙඩි තබා මරා දැමුණි. ඒ අවස්ථාවේදි බොහෝ දෙනෙක් එම ඝාතනය පිළිබදව කම්පාවනු වෙනුවට එයට විවිධ අර්ථ කතන සපයන්නට ඉදිරිපත් වූහ. ඇතැමකුට අනුව එසේ මරා දැමුනේ නම ගිය අපරාධකරුවෙකි. එසේ මරා දැමුණු පුද්ගලයාගේ අතීත පැටිකිරිය පොලිසියේම ප්‍රකාශ මත පිහිටමින් ඇතැම් මාධ්‍ය නොයෙක් ආකාරයේ හෑලි ලිවිය. ප්‍රධාන දහරාවේ මාධ්‍ය සිද්ධිය වාර්තා කරන ලද්දේ අධිකරණයක් තුළ සැකකරුවකුව මරා දැමිම පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් නොව මිය ගිය තැනැත්තාගේ සනාථ නොවුණු අතීත ක්‍රියාකාරකම් මත පදනම්වය. තවත් මාධ්‍ය එම ඝාතනය ලංකාවේ අධිකරණයක් අභ්‍යන්තරයේ සිදුවු පළමු ඝාතනය ලෙස හැඳින්වීය. බොහෝ දෙනෙක් එය රූප පෙට්ටියෙන් දකින ත්‍රාස ජනක කතා මාලාවක් ලෙස ද රසවින්දහ.
එහෙත්,එසේ වෙඩි තබා මරා දැමුනේ නීතියේ ආධිපත්‍ය යැයි ඒ කිසිවකුගේවත් කල්පනාවට ආ වගක් දැනගන්නට නැත.

මේ ඝාතන පසුපස ඇති හස්තය තනි පුද්ගලයකුගේ ද නොඑසේ නම් පාතාලය ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ ජාලයක ක්‍රියාවක් ද, එසේත් නොව ඒ සියල්ල හා එක්කාසු වුණු රාජ්‍ය අපරාධකාරිත්වය හා බැඳුණු ක්‍රියාදාමයක් ද යන්න කිසිවකුත් ප්‍රශ්න කළේ නැත. ඒ සඳහා හයියක් කිසිදු මාධ්‍යකරුවකුට නොවුණි. සැබවින්ම බොහෝ මිනිසුන් ඉදිරියේ මහ දවල් කාර්ය බහුල අධිකරණයක් තුළ එවන් ඝාතනයක් කිරීමට හැකි හිඩැස ඇති වුයේ කෙසේ දැයි, එය කවුරුන් විසින් ඇති කළේ දැයි යනුවෙන් කිසිවකුත් ප්‍රශ්න නොකළේ ය. බලධාරින් වෙතින් කෙරෙන එවන් ප්‍රශ්න කිරීම් ලංකාවේ බොහෝ මාධ්‍යකරුවන්ට නුහුරුය. ඇතැමුන්ට අනුව එසේ කිරීම අනවශ්‍ය කරදරයක් ඇඟේ දමා ගැනීමකි. එයටත් වඩා භයංකාර තත්වය නම් මිනිසුන් අමු අමුවේම මරා දමා හෝ අපරාධ මර්දනය කළ යුතු යැයි අන් බොහෝ හුදී ජනයා මෙන්ම මාධ්‍යකරුවන්ද විශ්වාස කිරීමය. පොලිස් නිවේදන සහ හිතවත්කම මත මාධ්‍යකරණයේ යෙදෙන අයගෙන් එයට වඩා වෙනස් ඉහළ මාධ්‍ය භාවිතාවක් බලාපොරොත්තු විය නොහැකි බව ද අප අවබෝධ කොට ගත යුතුය. ඒ ආකාරයෙන්ම පොලීසිය, ජන මාධ්‍ය සහ අවසානයේ මුළු සමාජයම අනුරාධපුරය සිදුවීමද ඔවුන්ට තේරුම් ගැනීමට සහ විසඳා ගැනීමට පහසු කෝණයෙන් රට හමුවේ තැබීය.

එනිසාම සැකකරුවකු ලෙස යම් පුද්ගලයකු අල්ලා ගත් සැනින් ආරක්ෂක බලමුළු සේ කැමරා අටවා ගත් මාධ්‍යකරුවන්ද වැඩේට බැස තිබුණි. පොලිසියේ කිසිදු බාධාවකින් සහ අවහිරයකින් තොරව සැකකරුගේ අඩ නග්න රුව සහිත රූප රාමු ඊළඟ පැය කිහිපය තුළ රූපවාහිනි නාළිකා තුළින් විසුරුවා හැරුනි. නින්දෙන් ඇහැරුනා සේ දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට නීතියේ සීමාවන් ගැන මතක්ව තිබුණි ද , හඳුනා ගැනීමේ පෙරෙට්ටුවල දොස් ඇති විය හැකි යැයි පැවසුවද එම සැකකරු වටකරගෙන සිටින පොලිස් නිලධාරින් සමඟම රූප විසුරුවා හරින්නට ඉඩ ලබා දුන්නේ ද පොලිසිය විසින්ම ය. ඒ බව පොලීසියට අමතකව තිබුණි ද අපට අමතක නැත.
යම් සිදුවීමක් පිළිබඳව වාර්තා කරන්නට, ඒ පසු පස හඹා යන්නට මාධ්‍යකරුවකුට ඇති වන කුහුල සහ උනන්දුව අතිශයින්ම ස්වභාවක සංසිද්ධියකි. එය වෘත්තිමය ගුණාංගයකි. එහෙත් ගැටළුව ඇත්තේ එහි නොවේ. තමන්ගේ වාර්තාකරණයෙන් හෝ හෙළිදරව් කිරීමෙන්අගතියට පත් පාර්ශවයන් හා වින්දිතයන් තව තවත් අගතියට පත් වන්නේ නම්, වින්දිතයන් බවට පත් වන්නේ නම් එම වාර්තාකරණයෙන් ඇති පලක් නැත. මාධ්‍යකරුවන්ද යම් තරමින් හෝ රටේ සම්මත නීතීය පිළිබඳව, අන් අයගේ හිමිකම් පිළිබඳව දැනුවත් කමකින් සිටීම වැදගත්ය. අවම වශයෙන් තමන්ගේ වෘත්තියට අදාල කරුණු පිළිබඳව හෝ දැනුවත් විය යුතුය. කර්තෘවරුන් හා මාධ්‍ය හිමිකාරයන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව් හිමිකම් කොමිසම වැනි ආයතනවලටත් ඒ සඳහා වගකීමක් තිබේ. සැබවින්ම එය මාධ්‍යකරුවන්ට පමණක් නොව අපරාධ විමර්ශනයේ යෙදෙන පොලිස් නිලධාරින්ට ද වලංගු වන්නකි. දෙපාර්ශවයම එසේ දැනුවත්ව සිටියේ නම්, වගකීම් සහිතව කටයුතු කළේ නම් හඳුනා ගැනීමේ පෙරෙට්ටු අවුල්වීමේ අවදානම පිළිබඳව නිවේදන නිකුත් කරන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට සිදු නොවන්නේය.

සැබවින්ම මේ වන විට සැකකරු කවරෙක් දැයි මාධ්‍ය මඟින් හෙළිදරව් කොට අවසන්ය. අතවරයට ලක්වු වෛද්‍යවරිය හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදි දැන් හඳුනා ගන්නේ කවර නම් තැනැත්තකු ද? (කෙසේ නමුත් මේ වන විට එම වෛද්‍යවරිය තෙවතාවක්ම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා අධිකරණය හමුවට පැමිණ නැත) එය බරපතල නීතිමය තත්වයකි. ලිංගික අතවරයකදි හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එකම තීරණාත්මක සාධකය නොවෙතත් සිදුවීම සිදුව ඇති තත්වය මත එය නොතකා හැරිය නොහැකි ද එකකි. වෛද්‍යමය සහ අනෙකුත් විද්‍යාත්මක මෙන්ම පරිවේශණිය සාක්ෂි කෙතරම් වැදගත් වුවත් පොලිසිය යම් අයකු සැකකරුවකු ලෙස අල්ලා ගෙන ඇත. අධිකරණ නියෝග මත අපරාධකරු ලෙස ඔහු හඳුනා ගත යුතුය. එහෙත් මාධ්‍ය මෙන්ම නීතිය නොදන්නා රංගන ශිල්පීන් ලෙස රඟන පොලිසීය විසින්ම ඒ අවස්ථාව විනාශ කොට තිබේ. එ ඔහු සැබෑම අපරාධකරු ලෙස සැලකුවද එවැනි පෙරෙට්ටුවක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් විය හැකිය. අනෙක් පසින් නීතියේ මූලික සංකල්පයන් මත එම තැනැත්තා තවමත් සැකකරුවකු පමණි. ඔහුව අපරාධකරු ලෙස සමාජය ඉදිරියේ නිරාවරණය කිරීමෙන් පසුව යම් හෙයකින් අපරාධකරු ලෙස සනාත නොවුණ හොත් කුමක් සිදුවිය හැකි ද?
පසුගිය වසර කිහිපය තුළ අවිචාරවත් සහ විෂම මාධ්‍ය භාවිතය හේතුවෙන් නිවැරදිකරුවන් අපරාධකරුවන් ලෙසත්වින්දිතයන් තව තවත් අසරණතාවයට පත් කළ සිදුවීමුත් බොහෝය. මේ එවැනි සිදුවීම් කිහිපයකි.
අදටත් ගැලපෙන අතීත කතා

2015 වසරේ දී කොටදෙණියාව ප්‍රදේශයේ සිවු හැවිරිදි දැරියක් නිවසේ නිදා සිටියදීම පැහැර ගෙන ගොස් බරපතල ලිංගික හිංසනයන්ට ලක් කොට පසුව ඝාතනය කෙරුනි. එම අපරාධය වාර්තා කිරීමේදී ප්‍රධාන දහරාවේ ද ඇතුළු බොහෝ මාධ්‍ය කිසිදු වග විභාගයකින් හෝ ස්වයං නියාමනයකට යටත් වීමකින් හෝ තොරව එම කුඩා දැරියගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප මෙන්ම අනෙකුත් අතිශය පෞද්ගලික තොරතුරු පවා ප්‍රසිද්ධ කරන ලදී. දැරියගේ මව කිහිප විටත්ම ඉතාම ආයාචනාත්මකව මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ තම දියණියගේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙසයි. එහෙත් එම ආයාචනාවන් ගැන මාධ්‍ය ප්‍රධානීන්, එම සිදුවීම වාර්තා කළ මාධ්‍යකරුවන්, මාධ්‍ය සංවිධාන කිසිදු තැකීමක් නොකළේ ය. පොලීසියේ මෙන්ම ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඇති ආයතනවල බලධාරින් ද ඒ පිළිබඳව සැලකිල්ලක් නොදැක්විය.
මෙයට වසර කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයේ දී සමූහ ලිංගික හිංසනයකට ලක්ව මරා දැමුණු පාසැල් දැරියගේ කතාවද ඒ හා සමානය. පාසැල් නිල ඇඳුමින් සැරසි සිටින ඇගේ ඡායාරූප තවමත් මාධ්‍ය තුළ සංසරණය වේ. එම ඡායාරූප දකින ඇගේ දෙමාපියන්ට, පවුලේ සමීපතමයන්ට ඇති වන වේදනාව අනුරාධපුරය වෛද්‍යවරියට හෝ ඇගේ පවුලේ සමීපතමයන්ට ඇති වන වේදනාවට වඩා දෙවැනි වේ යැයි කිව හැක්කේ කාටද?
තණමල්විල පාසල් දැරියගේ ලිංගික හිංසන අපරාධයත්, ගල්කිස්ස ප්‍රදේශයේ බාල වයස්කාර දැරිය පිළිබඳ අපරාධයත් තවත් උදාහරණ දෙකක් පමණි. ලිංගික කටයුතු වෙනුවෙන් ගල්කිස්ස දැරිය අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මකව අලෙවි කර තිබුණි. දැරිය මිලට ගත් පිරිස අතර ප්‍රභූන්, බෞද්ධ භික්ෂුන්, දේශපාලකයන්, මෙන්ම ව්‍යාපාරිකයන්ගේ ද සිටි බව කියැවේ. නමුත් ඔවුන් සතු සිවිල් බලය හමුවේ සියල්ල යටපත් වෙමින් දැරිය පිළිබඳව පමණක් ප්‍රසිද්ධ වීමට වැඩි කලක් ගත නොවුණි. ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රභූවරයකුට විරුද්ධව නඩු පවරා දඬුවම් කළ බවක් දැනගන්නට නැත.

රිෂාඩ් බදුද්දීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය බාල වයස්කාර දැරිවියගේ කතාවද මේ හා සමානය. එම දැරිය මිය ගිය පසු බොහෝ මාධ්‍ය ඇයට සිදුවූ දේ ගවේශනය කරනු වෙනුවට ඇගේ පවුල් පසුබිම පිළිබඳව විවිධාකාරයේ දෑ ලිවිය. ඒ වන විටත් අධිකරණ වෛද්‍ය වාර්තා මගින් හෝ කිසිදු සනාථ වීමක් නොමැතිව තිබියදීත් ඇය යම් අපහරණයකට ලක්ව ඇතැයි ද ඇතැම් වාර්තා වල පළ විය. සැබවින්ම බොහෝ මාධ්‍ය විසින් ප්‍රශ්න කරන ලද්දේ ඇයට සිදුවු අකටයුත්තට වඩා මනඃකල්පිත සිදුවීම් මත ගොඩ නගා ගත් දෑ පිළිබඳවය.
2008 සහ 2015 අතර කාලය තුළ රත්නපුරය, කහවත්ත – කොටකෙතන ප්‍රදේශය බියෙන් ඇලලී ගියේ කාන්තාවන් සහ තරුණියන් ඉලක්ක කරමින් මුදා හැරුණු ලිංගික ඝාතන රැල්ලක් හේතුවෙනි. එය එක් ආකාරයක දාම ඝාතන ක්‍රියාවකට සම විය. ඒ අපරාධවලට ගොදුරු වුණු කාන්තාවන් සහ තරුණියන්ගේ ඡායාරූප පත්තර පිටු පුරා වර්ණ රුවින් පළ විය. අදටත් එම අපරාධයට ගොදුරු වූවන්ගේ රුව සහිතව යු ටියුබ් නාළිකාවල නාටක කතා දිග හැරෙන්නේ මරා දැමුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ගේ හැඟිම් පිළිබඳව, මානව ගරුත්වය පිළිබඳව තුට්ටුවකට නොතකමිනි.

එම අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් බොහෝ දෙනකු පිළිබඳ තොරතුරු චෝදනා සනාථ වීමටත් පෙරම ප්‍රසිද්ධ කරන ලද්දේ පොලිසියේ මැදිහත් වීම මතය. සිය මවටම ලිංගික අතවර කොට මරා දැමුවයි චෝදනා කොට අත්අඩංගුවට ගෙන වධහිංසාවටද ලක් කරන ලද පාසල් සිසුවා එම චෝදනාවලින් නිදහස් වුණද සමාජයෙන් සහ මාධ්‍යයෙන් ගැලවීමක් ලැබුණේ නැත. ඇති වූ මානසික කම්පනය හේතුවෙන් හෙතම සිය දිවි නසා ගත් බවටද පසුව වාර්තා විය.

මේ සියල්ල අතරේ මෑත කාලයේදී මාධ්‍ය විසින් කිසිදු නියාමනයකට යටත් නොවී ඉතාම පහත් අයුරින් වාර්තාකරණයේ යෙදුනු තවත් එක් සිදුවීමක් වන්නේ වෛද්‍ය සාෆී පිළිබඳ කතාන්තරයයි. වඳ සැත්කම්වලින් ආරම්භ කොට පසුව එම වෛද්‍යවරයාගේ දේපල, වත්කම් මෙන්ම ජාතිය සහ ආගම දක්වාම එම විෂකුරු අසත්‍ය වාර්තාකරණය ඇදී ගියේ ය. ඒ විෂම මාධ්‍යකරණය ප්‍රධාන වශයෙන් අඛණ්ඩව ඉදිරියටම රැගෙන ගියේ දිවයින පුවත් පත සහ ජාතිවාදි වෙඩ් අඩවි කිහිපයකි. අනෙකුත් මාධ්‍යයන්ද, මාධ්‍යකරුවන් ද අඩු වැඩි වශයෙන් වාර්තාකරණයේ යෙදුනේ වෛද්‍ය සාෆී ගල් ගසා මරා දැමිය යුතු යැයි මතයේ හිඳිමිනි. යමෙකුට අවැසි නම් ඉතිහාසය පිරික්සීමෙන් එම වාර්තා නැවත කියවා බැලිය හැකිය. වෛද්‍ය සාෆී පමණක් නොව එම සිදුවීමට කිසිදු අදාලත්වයක් නැති ඔහුගේ වෛද්‍ය බිරිඳත්, කුඩා දරු දෙදෙනාත් ඉලක්ක කරමින් දැවැන්ත මෙන්ම අඛණ්ඩ මාධ්‍ය ප්‍රහාර එල්ල විය. දරු දෙදෙනා පාසැල් ගේට්ටුවෙන් ඇතුලට ගැනීමට පවා පාසැල් බලධාරින් මැලි විය. දරුවන්ට ජීවිත තර්ජන එල්ල විය. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට විරුද්ධව ප්‍රාදේශීය නීතිඥ සංගමයක්ම පාරට බැස්සේය. ඒ සියල්ල පසු පස සිටියේ ජාතිවාදි දිවයින ප්‍රවත්පත ප්‍රමුඛ මාධ්‍ය මුදලාලි ලා කිහිප දෙනෙකු සහ තක්කඩි දේශපාලකයන් කිහිප දෙනෙකි.

ඉතිහාසය පුරාම වින්දිතයන්ට එරෙහිව දියත් වු මාධ්‍ය, දේශපාලන සහ පොලිස් එකාබද්ධ මෙහෙයුම් බොහෝය. එනිසා එක් අපරාධයක් සම්බන්ධයෙන් පමණක් දුක් මුසු ලීලාවෙන් කටයුතු කරන්නට මොවුනට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් දැයි ඔවුන් විසින්ම පැහැදිලි කිරීම වැදගත්ය.
වෛද්‍ය මෙහෙයුම්
ඊළඟ මැදිහත් වීම සිදුවන්නේ වෛද්‍ය වෘත්තිකයන් වෙතිනි. අනුරාධපුරය වෛද්‍යවරියට එරෙහිව සිදුවු දෙය රජයේ රෝහල් පරිශ්‍රයක සිදුවු සාහසික අපරාධයක් යැයි පවසමින් වෛද්‍ය ප්‍රජාවම වීදී බැස්සහ. වැඩ වැරූහ. ඔවුන්ගේ රැකියාවේ ඇති අනාරක්ෂිත ස්වභාවය ගැන කියමින්ය එය අහවර කරන තුරු සේවයට වාර්තා නොකරන බවට ද තර්ජනය කළෝය. සැබවින්ම රජයේ ශික්ෂණ රෝහලක් තුළ සේවයේ යෙදිය සිටිය විශේෂඥ පුහුණු වෛද්‍යවරියක් ඇගේ නේවාසිකාගාරය තුළදි පිටස්තර පුද්ගලයෙකු අතින් ලිංගික අපහරණයට ලක් වු සිදුවීමක් මෙයට පෙර අසා ඇද්දයි මාගේ මතකයේ නැත. එසේම එය බරපතල අපරාධයකි. එහෙත් ඉතිහාසයේ එවැනි සිදුවීම් අන්තර්ජාලයෙන් පිරික්සුවද සොයා ගන්නට නුපුලුවන් ද විය. එහෙත් වැදගත් වන්නේ වාර්තා පොත් අලුතින් ලිවීමෙන් හෝ ඒ පිළිබඳව තළු මැරිමෙන් හෝ නොවේ. එවැනි අපරාධ සිදු වන්නේ කවර නම් හිඩැසකින් දැයි විමසා බැලීමය. රජයේ රෝහල් අභ්‍යන්තරය තුළදීම වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල අතින් ලිංගික හිංසනයන්ට ගොදුරු වු කාන්තාවන් ගැන බොහෝ සිදුවීම් අප අසා ඇත. ඇතැමුන්ව එවැනි හිංසනයන්වලින් පසුව වෛද්‍යවරුන් විසින්ම මරා දැමුණු අපරාධ කතාද අප අසා තිබේ. ඒවා ශර්ලොක් හෝම් පන්නයේ කතා නොව සත්‍ය ලෙසම සිදුවු ඒවාය. එමෙන්ම ලිංගික හිංසනයන්ට ගොදුරුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය පරික්ෂණවලට රෝහල් කරා ගිය පසුව, වින්දිත තැනැත්තිය අපහරණය කරන ලද, සාක්ෂී වසන් කරන්නට තර්ජන ගර්ජන කරන ලද, සාක්ෂි වෙනස් කරන ලද වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳවද අප ඕනෑ තරම් අසා තිබේ. වෛද්‍යවරුන් විසින් වෛද්‍යවරියන් අපහරණය කරන ලද කතාද අප අසා තිබේ.

මේ පිළිබඳව මෑතකදි අසන්නට ලැබුනු එක් සිදුවීමක් වන්නේ ඉහත දක්වන ලද තණමල්විල ප්‍රදේශයේ පාසැල් දැරිවියක් තවත් සිසුන් පිරිසක් විසින් විඩෙන් විඩේ ලිංගික අපහරණයට ලක් කිරීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා යොමු කෙරුනු හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ගේ ක්‍රියාකලාපය යි. එම වෛද්‍යවරයා විසින් දැරිය පරික්ෂාවලට ලක් කරන අවස්ථාවේදි දැරියට මානසික පීඩා ගෙන දෙන අයුරින් හැසිරි ඇති බවට චෝදනා එල්ල විය. දැරියගේ මව ජාතික ළමාරක්ෂක අධිකාරියට සහ තණමල්විල පොලිසිය ට පැමිණිලි කරමින් පවසා තිබුණේ අදාල වෛද්‍යවරයා විසින් තම දියණිය අපහසුතාවයට පත්වන අයුරින් සැර පරුෂ ලෙස ඇමතු බවටයි.
” මගේ දරුවා හම්බන්තොට මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ළඟට ඉදිරිපත් කරාම දරුවට මහා හයියෙන් තර්ජනය කරලා ගහන්න වගේ කඩා ගෙන පැන්නා. තමුසේ හදන්නේ කොල්ලන්ව හිරේ දාන්නද කියලා දරුවට ගහන්න වගේ අත ඉස්සුවා. දරුවා හොඳටම බය වෙලා උඩ තට්ටුවෙන් පහලට පනින්න දිවුවා. ” අතවරයට ලක් වු දැරිය මෙන්ම දියණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලු ඒ මව ද වින්දිතයෙකි. එහෙත් ඒ වින්දිත මවට හෝ දැරියට යුක්තිය ඉටු වුණිද?

අදාළ සිදුවීමෙන් පසුව හම්බන්තොට මහා රෝහලේ පාලනාධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධිකරණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බවට පැවසුනද එම පරික්ෂණයේ ප්‍රතිඵලය කුමක්දැයි කිසිවකුත් නොදනිති. නමුත් අධිකරණ වෛද්‍යවරයාගේ සහායික වෛද්‍යවරිය ලෙස සිටි අයෙකු පසුව පවසා තිබුණේ වින්දිත දැරියගේ සහ ඇගේ මවගේ ප්‍රකාශ අසත්‍ය බවයි. වෛද්‍ය වෘත්තිකයන් තමන්ගේ සගයන් වෙනුවෙන් පෙනී සිටින්නේ එසේය. අධිකරණ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැරියගේ මව විසින් ළමාරක්ෂක අධිකාරිය සහ තණමල්විල පොලිසිය හමුවේ ගොනු කරන ලද පැමිණිලිවලට සිදුවූයේ කුමක්දැයි දන්නේ එම ආයතනවල බලධාරින්ම පමණි.
සමූහ ලිංගික හිංසනයකට ලක්ව වෛද්‍ය පරික්ෂණයක් වෙනුවෙන් රෝහල් ගත වුණු බාල වයස්කාර දැරිවියකට එරෙහිව සිදුවු එම අකටයුත්ත පිළිබඳව ශ්‍රි ලංකාවේ කිසිදු වෛද්‍ය වෘත්තිකයකු හඬක් නැගුවේ නැත. පාසැල් දැරියකට රෝහල් පරිශ්‍රයක් සහ අධිකරණ වෛද්‍ය විෂයෙහි කටයුතු කරන වෛද්‍යවරයකු විසින් කරන ලද නොපනත්කම් වෛද්‍ය වෘත්තියට නොගැලපෙන්නේ යැයි හෝ වෛද්‍යවරුන් විසින් වින්දිත දැරියන්ට සැලකූ ආකාරය වෘත්තීමය වශයෙන් නොගැලපෙන්නේ යැයි හෝ කියමින් ශ්‍රි ලංකාවේ වෛද්‍ය සංගම් වැඩ වැරුවේද නැත. ප්‍රකාශ නිකුත් කළේ ද නැත. අනුරාධපුරය වෛද්‍යවරියගේ සිදුවීම සහ තණමල්විල දැරියගේ සිදුවීමට එකිනෙකට වෙනස් වටිනාකමක් ලැබෙන්නේ කෙසේද? ඒ කුමක් නිසාද? ඒ අනෙකක් නිසා නොව ප්‍රභු සහ නිර්ප්‍රභු වින්දිතයන් යනුවෙන් පාර්ශව දෙකක් සිටිනා නිසාවෙනි. වැදගත් වින්දිතයන් වන්නේ තමන්ගේ රැහේ එවුන් පමණක්ද? නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ සමාජයේ යම් බලයක් සහිත පුද්ගලයන් වෙනුවෙන් පමණි. එය දේශපාලන බලයක් විය හැකිය. නොඑසේ නම් වෘත්තීමය බලයක් සහිත එකක් ද විය හැකියි. ඒ කවරක් වුවද යම් සිවිල් බලයක් සහිත වින්දිතයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කඩිනමිනි. සිවිල් බලයේ පරිමාව වැඩි වන්නට වැඩි වන්නට ලැබෙන්නා වු සැලකිල්ල ද වැඩි වන්නේය. සත්‍යය එයයි.

එපරිද්දෙන්ම පොලිස් සහ ආරක්ෂක අංශවල වධහිංසාවන්ට ගොදුරුව වෛද්‍ය පරික්ෂණ සඳහා අධිකරණ වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් වන බොහෝ දෙනකුට අත් දකින්නට සිදුවන්නේ අතිශය අමිහිරි සිදුවීම්වලටය. සියල්ලන්ම නැතත් බොහෝ අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්නකාරි තත්වයන් මතුව ඇත. බරපතල අපරාධ සම්බන්ධයෙන් තත්වයද එසේමය. වෛද්‍ය වාර්තා වෙනස් කිරීම, අස්ථාන ගත කිරීම, ව්‍යාජ තොරතුරු ඇතුලත් කිරීම අතිශයින්ම සුලබය. රෝගීන්ට සිය අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්නට කිසිදු ඉඩක් නොමැත. එසේ නම් එවැනි තත්වයට ලක් වන සියල්ලන්ම වින්දිතයන්ය. වෛද්‍ය බලාධිකාරිය ඉදිරියේ අප සියල්ලන්ම වින්දිතයන් ය .
ආයතනගත ලිංගික හිංසන

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතන තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අඬන්තේට්ටම් බොහෝය. එය පරිපාලනයේ පහලම ස්ථරයේ සිට නීතියේ විධානය හොබවන ආයතනයන් දක්වාම විහිදි තිබෙන්නෙකි. මේ වන විට එය නීති සකසන ව්‍යවස්ථාදායකය දක්වාම පැතිරි තිබේ. රෝහල් සහ වෛද්‍ය ආයතන තුළ තත්වය ද ඒ හා සමානය. එය වාචික හිංසනයේ සිට අනිසි අතපත ගෑම්වලින් ඔබ්බට ගොස් සෘජුව සිදුවන ලිංගික අඩන්තේට්ටම් දක්වාම ගලා යන්නෙකි. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන තුළ ද මෙය සුව නොවන වණයක් තරමටම ඔඩුදුවා තිබේ. විශ්ව විද්‍යාල පද්ධතියේ ලිංගික හිංසන, ලිංගික අල්ලස් ගැන අමුතුවෙන් කිව යුතුව නැත. බොහෝ ඒවා ප්‍රසිද්ධ රහස්ය. ආරක්ෂක අංශ, පොලිසි සහ ත්‍රිවිධ හමුදාව තුළ නිදන් ගතව ඇති ලිංගික අකටයුතු කම් මේ සියල්ලටම නොදෙවැනිය.
පසුගිය යුද සමයේ සහ එයින් පසුව රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් දෙමළ ජාතික ගැහැණුන්, තරුණියන් අතිශ්‍ය කෲර ලිංගික වධහිංසාවන්ට ලක් කර ඇත බවට ජීවමාන සාක්ෂි සිය ගණනක් හෙළිදරව් වී තිබේ. අතැම් ඒවා කියවා බැලීමට තරම් වත් නොහැකි තරමේ කම්පිත සිදුවීම්ය.
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ රූපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක් මෙන්ම ගායන හා රංගන ශිල්පිනියක් වූ ඉසයිප්‍රියා යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදා අත්අඩංගුවේදී මරුමුවට පත්වූ බව විශ්වසනීය ලෙස ඔප්පු වී බොහෝ කල්ය. මියයනවිට 27 වැනි වියේ පසුවූ ඇය ලිංගික අපහරණයට ගොදුරු වූ බව විශ්වාස කෙරේ. කවර හෝ දේශීය මාධ්‍ය සංවිධානයක් ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා පාරට බැස්සේ නැත. ඒ වෙනුවට මාධ්‍ය ආයතන කළේ ඇය කොටි සෙබළියක් බව හුවා දක්වන්නට ආණ්ඩුව ගෙනගිය ප්‍රචාරයට වේදිකාවක් සැපයීමය.
එවැනි අපරාධ පිළිබඳව ජාත්‍යන්තර තලයේ වාර්තා ගණනාවක් පසුගිය වසර කිහිපය පුරාවටම එළි දැක්වුණි. උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවල ඉහළ නිලධාරින් සමඟ යහන් ගත වන්නට බලහත්කාරයෙන් කැඳවන ලද දෙමළ ජාතික කන්‍යාවියන් ගැන හද කම්පා කරන තොරතුරු ද ඒ අතර වෙයි. ඒ කිසිවක් ශ්‍රි ලංකාවේ සිංහල බහුතර සමාජය තිගැස්මට ලක් කළේ නැත. ඒ කිසිවක් පිළිබඳව කිසිවකුත් වැඩ වැරුවේද නැත. ඒවා මානව සංහතියට නොගැලෙපෙන අපරාධ ලෙස හුවා දක්වමින් නිසි විමර්ශනයක් ඉල්ලුවේ ද නැත. ඒ අපරාධ කළ වුන් අදටත් විරුවන්ය. අනුරාධපුරය වෛද්‍යවරිය ලිංගික හිංසනයට ලක් කළ සැකකරු පිළිබඳව වාර්තා කිරීමේදි ඔහු හමුදාවෙන් පලා ගිය එකකු ලෙස හැඳින්වුවද රජයේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටි හෝ සිටින අයකු ලෙස කිසිවකුත් පවසන්නේ නැත.
රජ්‍යය ආයතන පද්ධතිය තුළ සිදුවන ලිංගික අපරාධ පිළිබඳ තන් වශයෙන් ගත හැකි නිල සංඛ්‍යා ලේඛන නොමැත. ඇතැම් විට එවන් හිංසනයන්ට ලක්වන තැනැත්තියන් ද එයට එරෙහිව පැමිණිලි නොකරති. එයට බලපා ඇති හේතු බොහෝය. එහෙත් එසේ වූ පමණින් මේ කිසිවක් අසත්‍ය කරුණු නොවන්නේ ය.
එහෙත් පොලිසිය, ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන හමුවේ ගොනු වෙන ලිංගික හිංසන පැමිණිලි සංඛ්‍යාව වාර්ෂිකව සිය දහස් ගණනකි. එයිනුත් නීතිපති අවසරය සහ විමර්ශන ක්‍රියාවලියකින් අනතුරුව අධිකරණය හමුවට යන්නේ පැමිණිලි ඉතාම අතලෙස්සකි. ඒ බව පොලිස් සංඛ්‍යා ලේඛන පිරික්සීමෙන් දැන ගත හැකිය. එයින් අවසානයට පෙරී ගොස් දඬුවම් ලැබෙන්නේ අතේ ඇඟිලි ගනනටත් අඩු චූදිතයන් පිරිසකටය. ඔවුන්ගෙනුත් බොහෝ අය අදාල දඬුවමට එරෙහිව අභියාචනා කරති. අවසානයේ කිසිවක් නැතුව හිංසනයට ලක් වු වින්දිත තැනැත්තිය පමණක් පසෙකට විසිවෙති.

මේ සියලු අකටයුතු කම් වලට ඉනිමං ඇල්ලු පොලිසියට ද අවසානයේ මාධ්‍ය සහ වෘත්තීය සදාචාරය මෙන්ම නීතියේ සීමාවන්ද මතක් වී තිබේ. අවසානයේ හෝ පොලිසියට නීතිය පිළිබඳව මතක් වීම යහපත්ය. එහෙත් එසේ වූ පමණින් පොලීසියේ අතීත අනීතික කෙරුවාවල් නම් අකාමකා දැමිය නොහැකිය. මාධ්‍ය නිවේදන දැමීමට පෙර පොලිසිය කළ යුතු වන්නේ වින්දිතයන් සහ සැකකරුවන් සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළ යුතු දැයි සඳහන් කරමින් මෙයට පෙර නිකුත් කොට තිබෙන පොලිස්පති චක්‍ර ලේඛනයන්ටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ උපමානයන්ටත් අනුගතව ක්‍රියා කරන්නැයි පොලිස් නිලධාරින් හට නියෝග කිරීමය.
කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංඟුවට ගත් එම දැරියගේ පියා, මුත්තණුවන් සහ බාල වයස්කාර පාසල් සිසුවා සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිසිය කෙසේ කටයුතු කළේ දැයි අමතක නැත. එම සිසු දරුවා සම්බන්ධ කරමින් ව්‍යාජ චෝදනා ගණනාවක් පොලිසිය විසින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර හරින ලදි. බොහෝ මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන ලද්දේ පොලිසීය උපුටා දක්වමිනි. ඒවා වළක්වන්නට ඉහළ පොලිස් නිලධාරින් ඉදිරිපත් වුණේ නැත.
අනුරාධපුරය වෛද්‍යවරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කොට ඇති නිවේදනයේ 1995 අංක 22 දරණ සංශෝධිත දණ්ඩ නීති සංඟ්‍රහා පනතේ 365 ( ඇ) වගන්තිය මෙන්ම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරි පනත ද උපුටා දක්වා තිබේ.

වින්දියන්ට එරෙහි වින්දිතයන් පිළිබඳ අධිකාරිය
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ ක්‍රියාකලාපය එනම්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරනු වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සහිත ආරක්ෂක අංශවල අපරාධකරුවනුත් ඔවුන්ට ආවඩන මාධ්‍යකරුවනුත් කෙසේ සුරක්ෂා කරන්නේ දැයි වෙනම කතා කළ යුතු මාතෘකාවකි. එය පසුවට කල් තබමු. එහෙත් එක් සිදුවීමක් පිළිබඳව පමණක් මතක් කරන්නට කැමැත්තෙමු.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් වධ බන්ධනයන්ට පමුණුවා පසුව වෙඩි තබා මරා දැමුණු ඉන්දික ප්‍රභාත්ගේ බිරිඳ එම නඩුවේ ප්‍රධනතම සාක්ෂිකාරිය වන බැවින් ඇයට ජීවිතාරක්ෂාව සලසන්නැයි අධිකරණය විසින් නියෝග කොට තිබියදීත් අධිකාරිය එය නොතකා හරිමින් හිටපු STF අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රමුඛ සැකකාර නිලධාරින් වෙනුවෙන් මැදිහත් වෙමින් වින්දිත තැනැත්තිය නොතකා හරින්නට කටයුතු කරන ලදි. එහි මේ වන තුරුද වෙනසක් වී නැත. එම වින්දිත සාක්ෂිකාරියට එරෙහිව ‘නෙත් එෆ්.එම්’ නම් ගුවන් විදුලි නාළිකාවේ ‘බැලුම්ගලින්’ දිගින් දිගටම අපවාද එල්ල කරන්නට වූයේ ඇය පාතාල සමාජිකවක් ලෙස හුවා දක්වමිනි. එයට එරෙහිව ඇය අධිකාරිය හමුවේ කරන ලද පැමිණිලිවලට සිදුවූයේ කුමක්දැයි කියන්නට දන්නේ අධිකාරියේ බලධාරින් පමණි. එහෙත් අප දන්නා පරිදි අධිකාරිය එම නාළිකාවට එරෙහිව කටයුතු නොකළා පමණක් නොව ඇගේ පැමිණිලි ද කුණු කූඩයට විසිකර දමන ලද්දේ අවශ්‍ය නම් සිවිල් නඩුවක් පවරා ගන්නා ලෙස පවසමිනි.
අධිකාරියේ නීති හා නීතී බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක, නීතිඥ එස්.එස්. කේ කස්තුරි ආරච්චි අත්සනින් 2024 නොවැම්බර් 24 දින නිකුත් කොට ඇති ලිපිය මඟින් අවධාරණය කොට තිබෙන්නේ අදාල වැඩසටහනට සහ එය මෙහෙයවන ‘ චාමික’ නැමැත්තාට එරෙහිව නීති මඟින් කටයුතු කිරිම අධිකාරියේ විෂය පථයට අයත් නොවන බැවින් දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරන ලෙසයි. අධිකාරියේ නීති අධ්‍යක්ෂිකාවට නොතේරෙන පුදුමය නම් එම බැලුම්ගලින් පීඩාවට පත් තැනැත්තිය අධිකරණ නියෝග මත අධිකාරයේ රැකවරණයට යටත්ව සිටින අයෙක් බවයි. ඇය තමන්ට සිදුවු අසාධාරණය අධිකාරියට කියනු මිස පුද්ගලිකව නඩු පැවරිය යුතු නැත .
නමුත් වරුණ ජයසුන්දර විසින් පෞද්ගලික යූ ටියුබ් නාළිකාවක කරන ලද සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් එම වින්දිත තැනැත්තිය අදහසක් පළ කිරීම පාදක කොට ගෙන ඇයට එරෙහිව අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් දම්මවා එය අධිකරණය දක්වා ගෙන යන්නට අධිකාරිය කටයුතු කරන ලදි. අනෙක් පසින් ඇයද විශේෂ කාර්ය බලකා සෙබළුන් අතින් දින කිහිපයක්ම ශාරීරික සහ මානසික හිංසනයන්ට ගොදුරු වු තැනැත්තියකි. ලිංගික හිරිහැරවල ගොදුරක් වූ තැනැත්තියකි. පොලීසිය හෝ වෙන යම් ආයතනයක් හෝ මේ වන තුරු ඇගේ ඒ පැමිණිලි පිළිබඳ යුක්තිය ඉටු කරන්නට ඉදිරිපත්ව නැත.
යුක්තිය නොලබාම යටපත්වන වින්දිතයන්ගේ ඉරණම

මේ සියල්ල තුළින් ගම්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට සිටින ආයතන සහ ඒවායෙහි බලධාරින්ගේ දෙබිඩි ක්‍රියාකලාපය යි. වින්දිතයන් සියල්ලන්ම එක හා සමානය. එහෙත් ලිංගික හිංසනයට ලක්වන තැනැත්තියන් සහ බාල වයස්කාර දරුවන් වින්දියන් බවට පත් වූ විට එය සුවිශේෂි තත්වයකි. අනුරාධපුරය රෝහලේ වෛද්‍යවරිය විසින් එල්ල කරන චෝදනා නීතියට අනූකූලව විමර්ශනය කොට ඇයට අගතියක් සිදුව ඇත්නම් නොපමාව යුක්තිය ඉටු විය යුතුමය. එහි විවාදයක් නැත. එහෙත් වින්දිතයන්, සාක්ෂිකරුවන් පිළිබඳව පමණක් නොව සැකකරුවන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදයක් තිබෙන්නේය. එහි මුලධර්මය වන්නේ නීතිය හමුවේ සැවොම සමාන බවයි. එය අභිබවා යන්නට පොලීසියට හෝ මාධ්‍යයට හෝ නොහැකිය. වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ පමණක් නොව සැකකරුවන් ලෙස අල්ලා ගන්නා තැනැත්තන්ගේ ද පෞද්ගලිකත්වය ද කෙලසමින් පොලිසීය සහ මාධ්‍ය විසින් කරනු ලබන මේ සෙල්ලමට තිත තැබිය යුතුය. එය එසේ නොවන තාක් තමන්ගේ ගැලවිජ්ජාවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් පමණක් වගකීමේන් කර ඇර සිටින්නට පොලිසියට හැකි වන්නේ ය.
(සටහන | කේ. විජේසිංහ)
නිදහස් මාධ්‍යවේදී
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.