මේ කියන්න යන්නෙ රුසියානුවන් ගැන ටිකක් වෙනස් කතාවක්.
රුසියානුවෝ කියන්නේ බොහොම සුපර්ස්ටිෂස් පිරිසක් කියල මම කියල තියෙනව නේ. ඒ වගේම තමන්ටම අනන්‍ය වුන සිරිත් විරිත් මහ හුඟක් තියෙන පිරිසක්. මම එහෙම කිව්වේ රුසියාවේ ගත කරපු කෙටි කාලය ඇතුළේ මට දැනුන දේවල්වලින්.
හැබැයි ටිකක් හොයල බැලුවමත් නැගෙනහිර යුරෝපයේ එහෙම නැත්නම් පැරණි සෝවියට් දේශයට අයත් රටවල් සහ මධ්‍යම යුරෝපයට අයත් රටවල් බහුතරයකත් සාම්ප්‍රදායික විශ්වාසයන්ට වැඩි තැනක් හිමිවෙනවා කියලයි කියන්නෙ.
බොහොමයක් රටවල මිනිස්සුන්ට තමන්ගේම ඇඳහිලි සහ විශ්වාසයන් තියෙනවා නේ. හැබැයි ඉතින් රුසියානු සංස්කෘතියේ පැතිරිලා තියෙන ඒ වගේ සමහර විශ්වාස සහ ඇඳහිලි එයාලගේ සාමාන්‍ය ජන ජීවිතයට ඇතුල් වෙලා අද ඒවා අනෙකාට ගෞරව කරන්න සහ ආචාරශීලිත්වය පෙන්වන ආචාර විධි බවටත් පත් වෙලා තියෙනවා.
රුසියාවට කවුරු හරි කවදා හරි යන්න හිතන් ඉන්නවා නම් ඒවා දැනගෙන යන එක ඇඟට ගුණයි ඕං.
දවසක් ඇඳිරි වැටීගෙන එන වෙලාවක මම මගේ මිත්‍රයෝ එක්ක කැලෑ රස්තියාදුවක ගිහින් නැවත එමින් හිටියා. කකුලේ සුළු ආබාධයක් තිබුන බාබුෂ්කා (ආච්චි) කෙනෙක් සීතලේ වුනත් ජවසම්පන්නව එයාගේ බෑගයත් ඇදගෙන අපි එක්ක සමෝ සමව ඇවිදගෙන යමින් හිටියා. එයා අපිත් එක්ක බොහොම ලෙන්ගතුව හිනාවුනා… අර අන්ධකාරේත් එයාගේ රත්තරං දත් දිලිසුනා…
මගේ මිත්‍රයෝ එයා ඇදගෙන යමින් හිටපු බෑග් එක ඉල්ලුවා… එයාට ගමන පහසුකරවන්න. ඒත් එයා බොහොම කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කරල කිව්වා මට තාම හයිය තියෙනවා දරුවනේ කියල. ඉතින් කතා බහ අතරේ මගේ මිත්‍රයෝ ඇහුවා කොහෙද ආච්චියේ මේ ඇඳිරි වැටීගෙන එද්දි යන්නෙ කියල.
එයා මගේ මිත්‍රයන්ට කිව්වා කවදාවත් එහෙම අහන්න එපා කියල. ඊට පස්සේ එයා බොහොම සුහදව අපිට පැහැදිලි කළා ඒ වගේ ප්‍රශ්න කෙලින් අහන එක සුදුසු නෑ, ඒක අහන්න ඕන ව්‍යංගයෙන් කියල.
හරියට ඉස්සර අපේ මිනිස්සු කවුරු හරි ගමනක් යද්දි මුණ ගැහුනම බැහැරක් යනව වගේ කියල අහන්නේ… ආන්න ඒ වගේ.

රුසියානුවන්ට අනුව කෙනෙක් යන ගමනක් ගැන කෙලින් අහන එක එතරම් ආචාරශීලි නෑ.
අපි ඉතින් බාබුෂ්කාගෙන් සමාව ඉල්ලලා එයාට සමුදුන්නා.
රුසියානුවන්ට පුදුම මල් පිස්සුවක් තියෙනවා කියල මම කියල තියෙනව නේ. පුංචිම ගමක වුනත් මල් කඩවල් දෙක තුනක් වරදින්නෙ නෑ. පාරේ ගියත් කෝච්චියේ බස් එකේ ගියත් මල් පොකුරු අරන් හිනාවෙවි යන රුසියානු ගැහැනුත්… බලාපොරොත්තු සහගත රොමෑන්තික හමුවීමක් වෙනුවෙන් මල් අරන් යන රුසියානු පිරිමින්ගෙත් අඩුවක් නම් නෑ.

හැබැයි ඉතින් කාට මල් දුන්නත් රුසියානුවෙක්ට මල් දෙනවා නම් ඒ පොකුරේ මල් ඔත්තේ ගාණක් තියෙන්න ම ඕන. එහෙම නොවුනොත් ඒක අසුබ දෙයක් හැටියට තමයි එයාලා සලකන්නේ. අවමංගල අවස්ථාවලදි විතරමයි රුසියානුවෝ ඉරට්ටේ මල් පොකුරක් දෙන්නෙ.
ඒ වගේම තමයි රුසියානුවෙක් තමන්ගේ ගෙදරට එන්න කියල ආරාධනා කරනවා නම් හිස් අතින් යනව වෙනුවට වයින් බෝතලයක්… මල් පොකුරක්… රසකැවිල්ලක්… වගේ පුංචිම හරි දෙයක් ගෙනියන්න අමතක නොකරනවා නම් හොඳයි.
මොකද සාමාන්‍යයෙන් හිස් අතින් ගෙදරකට යෑම ආචාරශීලි නොවෙන රළු හැසිරීමක් හැටියට තමයි එයාලා සලකන්නේ.

හැබැයි ඉතින් බොහොම සමීප වුනාම හැමවිටම එහෙම මොනව හරි අරන් එන එක එයාලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. රෝමාගේ ගෙදර (මගේ ගෙවල් අයිතිකාරයා) කෑමට ආරාධනා ලැබුනම මම මොනව හරි අරගෙන තමයි යන්නේ. ඒත් රෝමා ඒකට සුහද විරෝධයක් දක්වනවා… දවසක් තෑගි දීපු වයින් බෝතලෙ ආයෙත් මට දෙන්න හැදුවා… ඒ වගේම තමයි රෝමා මගේ නවාතැනට ආවොත් කතාබහකට, පුංචි හෝ යමක් අරගෙන එනවා. ඒක තමයි රුසියානුවන්ගේ විදිය.
තමන්ගේ ගෙදරට පළමු වතාවට එන අමුත්තෙකුට වොඩ්කා හෝ කොනියැක් අඩියක් පිළිගන්වනවා කියල මම කියල තියෙනවා නේ. ඒක ඉතින් අමුත්තෙකුට දෙන්න පුලුවන් ඉස්තරම් පිළිගැනීමක්. හැබැයි ඉතින් මේ වීදුරු ගාණ අනිවාර්යෙන්ම ඔත්තේ අගයක් වෙන්නම ඕන. ඉරට්ටේ වීදුරු ගාණක් පිළිගැන්වීම අසුබ දෙයක් හැටියටයි එයාලා සලකන්නේ.
රුසියානුවෝ බොහොම තද ඔත්තේකාරයෝ කියල පේනව නේ.

කොහොම වුනත්, තමන්ගේ නිවසට එන අමුත්තන්ව දොරකඩ ළඟදි පිළිනොගැනීම රුසියානුවන්ගේ සිරිතක්. මම ඉරීනා ආච්චිගේ ගෙදර බෙල් එක ගැහුවම එයා දොර ඇරලා මාව ඇතුළට අරන් තමයි බොහොම උණුසුම්ව… මව්වත්ව… පිළිගන්නෙ.
රුසියානුවෝ අමුත්තව නිවස ඇතුළට අරගෙන හරි අමුත්තා එක්කම දොරකඩින් එළියට ගිහින් හරි තමයි වැළඳ ගැනීමකින්… අතට අත දීමකින් අමුත්තන්ව පිළිගන්නේ. දොරකඩ දෙපස ඉඳන් නම් රුසියානුවෙක් තමන්ගේ ගෙදරට කවුරුවත්ම පිළිගන්නේ නෑ. ඒක අවාසනාවන්ත දෙයක් හැටියටයි සලකන්නේ.
ආන්න එහෙම තමන්ගේ නිවසට පිළිගන්න අමුත්තා, පැළඳ ගෙන ඉන්න පාවහන් ගලවල තමයි නිවසට ඇතුල් වෙන්න ඕන. පාවහන් වලින් නිවසට ඇතුල් වෙන්න පුලුවන් දුවිලි සහ විසබීජ ගැන එයාලා බොහොම සැලකිලිමත්.
කොහොම නමුත් එහෙම පාවහන් ගලවද්දිම නිවස ඇතුළේ පලදින්න පාවහන් යුගලයක් අමුත්තාට පිළිගන්වනවන එක රුසියානුවන්ගේ සිරිතක්. එයින් තමන්ගේ නිවසට ආපු අමුත්තගේ දෙපා සීතලෙන් ආරක්ෂා කරලා නිවස ඇතුළේ සුවපහසුව සලසනවා කියන එක තමයි අර්ථගන්වන්නෙ.

බොන්න ගියාම රුසියාව වගේම පැරණි සෝවියට් දේශයට අයත් රටවල අනිවාර්ය දෙයක් තමයි සව්දිය පිරීම. ඒක ඉතින් නිරෝගී සුවය… මිත්‍රත්වය… වගේ කාරණා වෙනුවෙන් පටන් ගත්තම හාස්‍යජනක කතා දක්වා ගිහින් සව්දිය පුරනවා… අපි වගේ චීයර්ස් කියල විතරක් වැඩේ ඉවර වෙන්නේ නෑ.
ජෝර්ජියාව කියන්නේ මේකට බොහොම සුප්‍රසිද්ධ රටක් කියලයි කියන්නෙ. උපන්දින සාද, විවාහ මංගල්‍ය උත්සව වගේ නම් ඉතින් කෙළවරක් නැති… තත්පර දිගු වෙන කතා කෙළවර තමයි සව්දිය පුරනවා කියල කියන්නෙ

වස්මෝව මාර්තා* නැතිනම් මාර්තු 8, ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ රුසියාවට බොහොම වැදගත් දවසක්. ඒක රුසියාවේ ජාතික නිවාඩු දිනයක්. රුසියාවේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් දැන් පෙළපාලි වලින් මල් කළඹ හුවමාරුවට පරිවර්තනය වෙලා නේ. අතිබහුතරයක් රුසියානු පිරිමි තමන්ට සමීපතම ගැහැනිය හෝ ගැහැනුන් වෙනුවෙන් මල් පොකුරු මිලදී ගන්න හරි… කැලෑවෙන් කඩාගෙන මල් පොකුරක් පිළිගන්වන්න හරි… පුංචි පුංචි තෑගි හුවමාරු කරගන්න හරි අමතක කරන්නේ නෑ. පවුලේ අය, මිතුරන්, කාර්යාල සඟයන් නාට්‍ය, චිත්‍රපටි, සංගීත සංදර්ශන බලන්න හරි… කෑමකට එක්කාසු වෙන්න හරි අමතක කරන්නෙත් නෑ. ආන්න එදාට සාද කතා මේස පිරිලා ඉතිරිලා යන්නේ බුබුළු දාන ෂැම්පේන්වලින්… උණුසුම් වොඩ්කා වලින් වීදුරු පිරෙමින් සහ ගැහැනුන් වෙනුවෙන් නොනැවති සව්දිය පුරමින්.
ආන්න ඒ සාද කතා මේසවල බීලා අවසන් වෙන වයින්, වොඩ්කා බෝතල් වහාම මේසේ යටට යන විදිය බලන් ඉන්න ලස්සන වැඩක්.
රෝමාගේ ගෙදර එළිමහන් උද්‍යාන මේසේදි හිස් වෙන බෝතල් ඒ සැණින් මේසේ යටින් තියන්න රෝමා පමාවෙන්නෙ නෑ. ඒක රුසියානුවන්ගේ බීම සංස්කෘතියෙ තියෙන මහ හුඟාක් ආචාර විධි අතරේ ප්‍රධානම දෙයක්. අවන්හළක බිව්වත් ගෙදරදි බිව්වත් රුසියානුවෝ හිස් බෝතල් මේසය උඩ තියාගන්නේ නෑ. ඒක අවාසනාව, අඳුර ගෙන එන සලකුණක් කියලයි කියන්නේ.
එහෙව් රුසියානුවන්ගේ බීම සංස්කෘතිය කියන්නේ අත්දකින්න වටින ආශ්වාදජනක දෙයක්.

මම, රුසියානුවෙක් එක්ක හරි රුසියාවේ කලක් තිස්සේ ජීවත් වෙන ලාංකික මිතුරන් එක්ක එයාලගේ නිවසකට හරි අවහන්හළකට හරි යද්දි අත්දැකපු ලස්සන දෙයක් තමයි එයාලා හැම වෙලේම මට සහය වුනා මගේ සීත කබා ගලවලා එල්වල තියන්න… පුටුව පිටුපසට ඇඳලා වාඩි වෙන්න ඉඩ සලස්වන්න… මොනයම් ම හෝ තැනකට ඇතුල් වෙනවා නම් දොර ඇරලා මුලින්ම එතන ඉන්න කාන්තාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්න… වාහනයක වුනත් දොර ඇරලා කාන්තාවට වාඩි වෙන්න සලස්වලා නැවත ඒ දොර වහලා මිසක් රුසියානුවෙක් කවදාවත් රියදුරු අසුනට නගින්නෙ නෑ.
ඒක රුසියානු පිරිමින්ගෙන් මම දැකපු අනිවාර්ය හැසිරීමක් වගේම ගැහැනියට ගෞරව කිරීම පිළිබඳ එයාලාගේ ආචාර විධියක්.
සමහර හැන්දෑ වරුවලට, මම හිටපු ගමේ දුම්රියපොළ ආසන්නයට යනවා. මිනිස්සු බොහොම නිස්කාන්සුවේ ඔංචිල්ලා බංකුවල පැද්දි පැද්දි බියර් බොනවා…

කනවා… මිතුරන් හමුවෙනවා… තමන්ගේ ප්‍රේමවන්තිය… බිරිඳ… ඊළඟ දුම්රියෙන් එනකම් බලන් ඉන්නවා… සමහර වෙලාවට කැලෑවෙන් කඩාගත්ත මල් පොකුරකුත් අතේ තියාගෙන… මම අයිස්ක්‍රීම් කකා ඒ දිහා බලන් ඉන්නවා… එහෙම වෙලාවට මට සිනා සංග්‍රහ ලැබෙනවා… ස්ද්‍රාස්විතේ කියල සුබ පතනවා.
ඉලෙක්ත්‍රීච්කා එකෙන් බැහැල එන තමන්ගේ බිරිඳව පෙම්වතියව හාදුවකින් පිළිගන්න රුසියානු මහත්තුරු ඊළඟට වහාම ඇගේ ගමන්මළු තමන් අතට ගන්නවා.
ඒක ඉතින් හැම රුසියානු පිරිමියෙකුගෙම අනිවාර්ය හැසිරීමක්. රුසියානු පිරිමියෙක් එක්ක කාන්තාවක් ඇවිදිනව නම් ඇගේ කුඩා අත්බෑගය ඇරෙන්න අනිත් ගමන් මල්ල තමන් අතට ගන්න එක රුසියානු පිරිමින්ගේ සම්ප්‍රදායක්.
රුසියාව කියන්නේ ඒ වගේ මහ අපූරු සංස්කෘතියක් තියෙන රටක්.

සමහර දේවල් සාම්ප්‍රදායික විශ්වාස මත පදනම් වුන හැසිරීම් වුනත් ඒවා මිනිස් සබඳකම් විචිත්‍රවත් කරනවා. ආන්න ඒ නිසාම රෝමා… ඉරීනා ආච්චි වගේම කඩපිල්වල… ගම්ගොඩවල්වල… මහනගර වල… උද්‍යානවල… මෙට්‍රෝවල මුණගැහුණු රුසියානුවන්ගෙන් ලද හැම පුංචි ආදර සංග්‍රහයක්ම සිහිපත් වෙද්දි මහා ආදරයකින් හිත උණුසුම් වෙනවා.

(සටහන | ජයනි අබේසේකර)
නිදහස් මාධ්‍යවේදිනී
[email protected]
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
(සටහන | ජයනි අබේසේකර)
නිදහස් මාධ්‍යවේදිනී
[email protected]
- මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.