මා මෙම ලිපිය ලිවිම ආරම්භ කරන මොහොතේදීත්, ඔබ මේ ලිපිය කියවන අතරතුරත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ කිසියම් කාන්තාවක්කුමනාකාරයේ හෝ හිංසනයකට ලක් වෙමින් සිටිය හැකි ය.
වැදගත් ම කරුණ නම් බොහෝවිට ඊට එරෙහි වීම සඳහා ඇයට සහය වීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ය.
කාන්තාවන් විසින් බහුලව ම භාවිත කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය වන පොදු ප්‍රවාහන සේවය, කාන්තාවන් වැඩි වශයෙන් හිංසනයට ලක් වන අවකාශයක් ලෙස හැඳින්විය හැකි ය.
කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී මෙලෙස විවිධාකාරයේ අඩන්තේට්ටම්වලට ලක් වීම වැළක්වීමට විවිධ රජයයන් කලින් කලට විවිධ වැඩපිළිවෙළ යෝජනා කළ ද තවමත් එය අවම කිරීමට හෝ හැකි වී ඇති බවක් නොපෙනේ.
අපරාධමය වරදක් වුවත් සාමාන්‍යකරණය වී ඇති හිංසනය
කාන්තා හිංසනය දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධමය වරදකි.
දඩයක් නියම කිරීම, වසර 5ක් දක්වා සිර දඬුවම් නියම කිරීම හෝ මෙම දඬුවම් දෙක ම ලබා දීම එම අපරාධමය වරදට නියම කර ඇති දඬුවම් ය.
මාර්තු 05 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කාන්තා හිංසනය අර්ථ දැක්වූයේ මෙසේ ය.
“දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට එක්වුණු නව සංශෝධන අනුව, කෙනෙකුගේ කැමැත්ත නොමැති ව ලිංගිකත්වය අරමුණු කරගෙන සිදු කරන අඩන්තේට්ටමක්, වාචික, කායික හෝ මානසිකව වෙන එවැනි සිද්ධියක් නිසා යම් කෙනෙක් ලැජ්ජාවට, අප්‍රසන්තාවට, බියට පත්වෙනවා නම් එතන ලිංගික අතවරයක් වෙලා තියෙනවා.”
පොදු ප්‍රවාහන සේවයේදී සිදුවන හිංසන ද ඒ අනුව කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ලෙස අර්ථ දැක්විය හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරිය පැහැදිලි කළා ය.
“අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමකින්, ඇය සම්බන්ධයෙන්, ඇගේ ශරීරයේ කොටසක් සම්බන්ධයෙන් කරන වාචික ප්‍රකාශයකින් කාන්තාව ලැජ්ජාවට, අපහසුතාවට, අප්‍රසන්නතාවකට පත්වෙන හැම සිදුවීමක් ම ලිංගික අතවරයක් වෙනවා.”
නීතිමය පසුබිම මෙලෙස පැවතිය ද අවම වශයෙන් මෑත කාලීන සිදුවීම් පමණක් සැලකුව ද, කාන්තාවන්ට බස් රථ තුළදී සිදුවූ විවිධ අඩන්තේට්ටම් ඇතුළත් වීඩියෝ සහ ඡායාරුප විශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.
බොහෝවිට මෙවැනි සිදුවීම් වාර්තා කිරීම සිදු වන්නේ ද ඉතා අඩු වශයෙන් වීම මෙම අපරාධය තව තවත් සාමාන්‍යකරණය වීමට හේතුවක් වී තිබේ.
පසුගිය වසරේ එක් මසක් තුළ පමණක් පොලීසියේ උපාය දූතයන් බස් රථවල යෙදීමෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පෙන්වා දුන්නා ය.
නමුත් එලෙස උපාය දූතයන් යෙදීම ප්‍රයෝගිකව අඛණ්ඩව සිදු කිරීම අපහසු බව ද ඇය පවසයි.
පොලීසිය එම සිදුවීම්වලින් අනාවරණය කර ගත් ආකාරයට සහ දෛනිකව ලැබෙන පැමිණිලි නිරීක්ෂණය කිරීමේදී මෙම සිදුවීම් සිතාමතා කරන හිංසනයන් බවට නිරීක්ෂණය වන බව ඇය පැවසුවා ය.
“පොදු ප්‍රවාහනයේ තියෙන තදබදය නිසා හෝ අනෙකුත් ප්‍රශ්න නිසා ඇති වෙන දෙයක් නොවෙයි. හිතාමතා කාන්තාවකගේ පෞද්ගලිකත්වයට තියෙන අයිතිය ඉක්මවලා යාමක් මෙතනදි සිදුවෙන්නේ. බස් රථයට නංවා ගන්න තැන ඉඳලා මේක වෙනවා. අපි ගියත් කොන්දොස්තර අල්ලලා තමයි බස් එකට නග්ග ගන්නේ ම.”
කෙසේ නමුත්, වර්තමානය වන විට මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට කාන්තාවන් පෙළඹීමේ වැඩි වීමක් ද නිරීක්ෂණය වන බව ඇය පැවසුවා ය.
“පොදු ප්‍රවාහනයේ තියෙන තදබදය නිසා හෝ අනෙකුත් ප්‍රශ්න නිසා ඇති වෙන දෙයක් නොවෙයි. හිතාමතා කාන්තාවකගේ පෞද්ගලිකත්වයට තියෙන අයිතිය ඉක්මවලා යාමක් මෙතනදි සිදුවෙන්නේ. බස් රථයට නංවා ගන්න තැන ඉඳලා මේක වෙනවා. අපි ගියත් කොන්දොස්තර අල්ලලා තමයි බස් එකට නග්ග ගන්නේ ම.”
කෙසේ නමුත්, වර්තමානය වන විට මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට කාන්තාවන් පෙළඹීමේ වැඩි වීමක් ද නිරීක්ෂණය වන බව ඇය පැවසුවා ය.
“2023 වසරේ වාර්තා වෙලා තියෙන කාන්තා හිංසන 2,252න් 262ක් පොදු ප්‍රවාහනයේදී සිදුවෙලා තියෙන්නේ. 2024 වසරේදී වාර්තා වූ කාන්තා හිංසන පැමිණිලි 2,785කින් 289ක් පොදු ප්‍රවාහනයේදී සිදුවූ හිංසන.”
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් හිංසනයට ලක් කිරීමට පිරිමින් පෙළඹෙන්නේ ඇයි?
මෙවැනි සිදුවීම් දිගින් දිගට ම සිදුවීම සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් මුල් බැසගෙන තිබෙන වැරදි අදහස නිසා සිදුවන්නක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය ෆාරා හනීෆා මාර්තු 05 වන දා පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා ය.
“අපි බස් එකක යන විට හිරිහැරයක් සිදුවීම කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි හිරිහැරයකට භාජනය වීම සෑම ස්ත්‍රියකට ම ලැබිලා තියෙන අත්දැකීමක්. ඒක දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා අපට කියන්න බෑ, ඒක තනි පුද්ගලයෙකුගේ හේතුවක් නිසා වෙන දෙයක් කියලා,” ඇය පැවසුවා ය.
“අපි සමාජය දිහා බැලුව ම පුරුෂයෙකුට ස්ත්‍රියකට මෙහෙම සලකන්න පුළුවන් කියලා ලයිසන් එකක් දීලා තියෙනවා වගේ එකක් තියෙනවා.”
සමාජය තුළ නිතර දක්නට ලැබෙන ආදර්ශයන් මෙම තත්ත්වය ඇති කිරීමට අවශ්‍ය මනෝභාවයට බලපා ඇතැයි අය පවසයි.
“අපේ ඉතිහාසය පුරාවට ම, පාර්ලිමේන්තුවේ පවා කාන්තාවන් ගැන කතා කරන ආකාරයෙන් අපට කියන්නේ කාලයක් තිස්සේ ස්ත්‍රීන්ට අඩුවෙන් සැලකීම සාමාන්‍ය දෙයක්, ඒක කරන්න පුළුවන් කියන එක.”
“මම කියන්නේ නෑ සෑම පුරුෂයෙක් ම එහෙම කරනවා කියලා. නමුත් සමස්තයක් වශයෙන් සමාජය තුළ එවැනි හැසිරීම් පිළිකුල් කිරීම සිදුවන්නේ ඉතා ම අඩුවෙන්.”
කෙසේ නමුත් ඇය පවසන්නේ, මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් නීතිය ක්‍රියාත්මක වනවා සේ ම සමාජීය වෙනසක් ද සිදුවිය යුතු බව ය.
“වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ අපට සැලකිය යුතු ස්ත්‍රී නායකත්වයක් දකින්න පුළුවන්. ඒ වගේ ම යම් ආකාරයක ඍණාත්මක ආමන්ත්‍රණ අඩුවීමකුත් දකින්න පුළුවන්. ක්‍රියාකාරී ස්ත්‍රීන්ගේ හඬ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. මේ නිසා සමාජයේත් වෙනසක් සිදුවෙන්න පුළුවන් ස්ත්‍රීන්ට දෙන තැන, ස්ත්‍රීන්ට දෙන ගෞරවය සම්බන්ධව.”
“මෙවැනි සිදුවීම් දිගුකාලීනව නවත්වා ගැනීමට නම් අපට සමාජය තුළ වෙනසක් කරන්න වෙනවා.”
‘පොදු ප්‍රවාහනයේ සිදුවන හිංසන නැවැත්වීමට දිගු කාලීන සැලසුමක්’
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන මෙවැනි ආකාරයේ හිංසන සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ පැවසුවේ ය.
අදාළ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වන විටත් ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව ය.
“කාන්තාවන් සඳහා පොදු ප්‍රවාහනය ආරක්‍ෂිත අවකාශයක් (Safe Space) කිරීම, සියලු ම ආකාරයේ කාන්තා හිංසනයන් අවසන් කිරීම, පැමිණිලි ක්‍රම දියුණු කිරීම,” ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් මේ හරහා ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසුවේ ය.
“අපි දැනටමත් කාන්තා හිංසනයට එරෙහි වෙන්න කියන පණිවුඩය සහ පැමිණිලි කරන අංක ඇතුළත් ස්ටිකර් බස් රථවල ඇලවීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ ම ඉදිරියේදී බස් රථයකට පර්මිට් එකක් ගන්නා විට බස් රථය තුළ cctv කැමරා සවි කිරීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙනුත් සලකා බලන්න බලාපොරොත්තු වෙනවා,” ආචාර්යවරයා පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, පොදු ප්‍රවාහනයේ සිදුවන හිංසන පිළිබඳ පැමිණිලි කිරීමට ජංගම දුරකතන යෙදවුමක් (mobile app) ද සකස් කෙරෙමින් පවතින බව ය.
“කාන්තා හිංසනයක් ගැන දැනුවත් කරන්න එක බොත්තමක් ඔබලා දැනුම් දෙන්න පුළුවන් විදිහට තමයි මේක හදන්න බලාපොරොත්තු වෙන්නේ.”
මීට වසර කිහිපයකට පෙර කොළඹ මහ නගර සභාව විසින් කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දෙන ලදී.
එම ජංගම දුරකතන යෙදවුම හරහා ළඟ ම පිහිටි පොලිස් ස්ථානයට, රෝහලට හා නම් කරන ලද තෙවන පාර්ශවයකට කාන්තාව අනතුරක සිටින බවට, එම ස්ථානය ද සඳහන් කර පණිවුඩ යැවීමේ හැකියාව ලබා දී තිබිණි.
මේ අතර, වසර කිහිපයකට පෙර කාන්තාවන් සඳහා වෙන ම දුම්රිය මැදිරි වෙන් කිරීමක් සිදුවුව ද ඒවා දුම්රියක ගමන් කරන සියලු කාන්තාවන්ට ප්‍රමාණවත් නැත.
ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාවේ මෙවැනි හිංසන වැළැක්වීම සඳහා දිල්ලි මෙට්‍රෝ සේවාව සෑම දුම්රියක ම කාන්තාවන්ට එක් මැදිරියක් වෙන් කර තිබෙන අතර, කාන්තාවන් විසින් ධාවනය කරන ටැක්සි සේවාවන් ද හඳුන්වා දී තිබේ.
දිල්ලියේ බස් රථවල අනතුරු නාද බොත්තම් හා සීසීටීවී කැමරා, කාන්තා රියැදුරන් වැඩි වශයෙන් යෙදවීම, කාන්තා මගීන් පිළිබඳ වඩාත් වගකීම්සහගත වීමට සහ සංවේදී වීමට රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පුහුණු වැඩමුළු සංවිධානය සහ බස් රථවල විනයාරක්ෂකයන් යෙදවීම සිදු කර ඇත.
ආචාර්ය දිලීප විතාරණ පැවසුවේ, එවැනි පුහුණු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ද පැවැත්වීමට කටයුතු කරන බව ය.
පොදු ප්‍රවාහනයට කාන්තා කාර්ය මණ්ඩල
ඇතැම් රටවල් මෙවැනි තත්ත්ව පාලනය කිරීම සඳහා කාන්තා කාර්ය මණ්ඩල පොදු ප්‍රවාහනය සඳහා යෙදවීම සිදු කරයි.
මාර්තු 07 දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ කාරක සභා අවස්ථා විවාදයේදී විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් රැකියා සඳහා ඉදිරියේදී කාන්තාවන් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව ය.
“දුම්රිය සේවයේ ගොඩාක් තනතුරු තියෙනවා. ඒවා කිසි ම කාන්තාවක් වැඩ කරන්නේ නැති ක්ෂේත්‍ර. බස්වලත් එහෙම යි. ලංගමෙත් එහෙම යි. අපි හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන්, අපේ අමාත්‍යංශයේ ඇමතිවරු තුන් දෙනා ම තීන්දු කරලා තිබෙනවා, අපේ ලංගම, ඒ වගේ ම, දුම්රිය සේවය, මේ හැම එකට ම, කාන්තාවන් බඳවා ගන්න දායක වෙන ප්‍රතිපත්තිමය තීන්දුව අපි අරගෙන තියෙනවා,” අමාත්‍යවරයා පැවසීය.
“අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට, ඉතා ම කාර්යක්ෂමව වැඩ කරන, බස් රථ රියැදුරුවරියන්, දුම්රිය පයිලට්ලා, ගාඩ්ස්ලා ඒ වගේ අය අපිට තව අවුරුද්දක් යනකොට දකින්න හම්බ වේවි කියලා. සිහිනයක් තියෙනවා, ස්කූල් බස් සර්විස් එක වැඩිපුර කාන්තාවන්ට භාර දෙන්න.”
‘පොදු ප්‍රවාහනයේ සිදුවන කාන්තා හිංසන ගැන පැමිණිලි කරන්න’
කාන්තා හිංසන වළක්වා ගැනීම සඳහා ඒවා සිදුවන අවස්ථාවේදී ම වාර්තා කිරීම ද වැදගත් බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවා ය.
එවැනි අවස්ථාවකදී පැමිණිලි කළ හැකි දුරකතන අංක කිහිපයක් ආචාර්ය දිලීප විතාරණ නිවේදනය කළේ ය.
1938 – කාන්තා උපකාරක සේවය
109 – ළමා හා කාන්තා හදිසි ඇමතුම්
119 – පොලිස් හදිසි ඇමතුම්
1955 – ජාතික ගමනාගමන කොමිෂන් සභාව
1958 – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
1971 – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
(සටහන | අමන්දිකා කුරේ)
BBC සිංහල සේවය