මගේ ගීයක් මුලින්ම ඇහෙද්දි තාත්තාගේ ඇස්වල කදුළු පිරුණා
– මම ගායිකාවක වෙයි කියලා ගෙදර කවුරුවත් හිතුවේ නෑ
ලන්ද දිගේ හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ
මැකීලා ගියේ….”
දශක ගණනක් පුරා මේ ගී රස මිහිර අපි යළි යළිත් අත් විඳින්නෙමු. පරපුරෙන් පරපුරට මොන අයුරකින් හෝ මේ ගී රස දෝර ගලමින් පවතින්නේ ඒ තරමට ම ඒ ගී රසාලිප්ත වන නිසාමයි. නිහඬ නිසසල හුදෙකලාවේ සිත නිවා සනසන මේ ගී වර්තමානයේ සමාජ මාධ්‍ය ජාල හරහා විකෘති භාවයට පත්ව ඝෝෂාකාරී වාදනයන් හා මුසුව ඇති අයුරු දැකීමෙන් ඇසීමෙන් අප හද මෙතරම් කම්පා වන්නේ නම් අතීතයේ මහත් භක්ති ආදරයකින්, පදයෙන් පදය ගැලපූ, ශබ්දයෙන් ශබ්දයට මිහිර ගැන්වූ, මියුරු හඬින් ගී ගැයූ මුල් කලාකරුවන්ට කොතෙක් නම් සිත් වේදනා දෙනු ඇති ද… කවුරු කෙලෙසක ගැයූවත් මේ ගීවලට මුසු වූ අතීත අනන්‍යතාවය අකා මකා දැමිය හැකි නොවේ. ඒ මියුරු ගී හඬ පෞර්ෂය අදටත් සශ්‍රීකව එදා සේ ම නොවෙනස්ව පවතිද්දීත් ඒ සැබෑ හඬ සඟවා තබා විකෘති ගී සමාජගත වීම අතිශය ඛේදනීය නොවන්නේ ද. මේ සොඳුරු ගී ගැයූ ඇය සම්මානනීය, ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී නන්දා පතිරණ යි.
“මම දැන් කාලයක් තිස්සේ ඔස්ටියෝ පොරෝසිස් රෝගය නිසා ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය සහ එහි සියලු පිරිස පුදුමාකාර විදිහට රෝගය වෙනුවෙන් මට ප්‍රතිකාර සත්කාර කරනවා. මේ රෝගය නිසා ගමන් බිමන් යද්දි මම බොහොම පරෙස්සම් වෙනවා. නමුත් මගේ කටහඬට මුකුත් වෙලා නැහැ. මට ඇරයුම් ලැබෙන බොහෝ ප්‍රසංගවලට මම යන්න සූදානම් වෙලා සිටියත් දින ළං වෙද්දි ඒවා මට නැතිවෙලා යනවා. පස්සේ මං හොයලා බැලුවා එහෙම වෙන්නේ ඇයි කියලා. මං අසනීපයෙන් කියලා පසුව ආරංචි වුණාම එයාලා හිතනවා මට සිංදු කියන්නත් බෑ කියලා. එක එක අයගෙන් ඒ ගැන ඇහුවාම සමහරු එවැනි කතා කියලත් තිබුණා. ප්‍රසංගවල ගීත ගයන්න අදටත් මට පුළුවන් කියලා හොඳටම දන්න අය නම් කිසි සැකයක් නැතුව එයාලාගේ ප්‍රසංගවල ගී ගයන්න මාව සම්බන්ධ කර ගන්නවා.”

ඇය ග්‍රාමීය සේවයේ ‘ගැමි මිහිර’ වැඩසටහනට ‘අඟනක රඟ’ ගීතය ගයමින් ගුවන්විදුලි ගායනයට එක්වූයේ සරල ගී පරීක්ෂණවලින් සමත් වීමෙනි.
“මං පුංචි කාලේ මහනුවර අංකුඹුර ගමේ අපේ ගෙදර කඩයප්පන් හැදුවා. පුංචි වුණාට අපිත් පුළුවන් විදිහට ඒ වැඩවලට උදව් වුණා. වංගෙඩියේ දාලා පිටි කොටද්දි මං මෝල් ගහට තට්ටු කර කර සින්දු කිව්වා. ඒවාට ඉතින් අනේක වාරයක් අම්මාගෙන් බැණුම් අහලා තියෙනවා. නමුත් පස්සේ කාලෙක මම ගායිකාවක වෙයි කියලා නම් ගෙදර කවුරුවත් හිතන්න නැතුව ඇති. අංකුඹුර එගොඩමුල්ල ග්‍රාමීය අසන්නන්ගේ සමාජයේ සාමාජිකාවක් වෙලත් හිටියා. ගමේ විවිධ උත්සවවලදී මම සිංදු කිව්වා. ගුවන් විදුලි වැඩසටහනක් කරන්න අංකුඹුර ගමේ ශ්‍රී ජයවර්ධනාරාම කියන විහාරස්ථානයට ගුවන් විදුලි සංස්ථාවෙන් චිත්‍රානන්ද අබේසේකර සහ බර්ටි ගලහිටියාව කියන මහත්වරුන් ආවා. අපේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමා මගේ ගායන හැකියාව ගැන දැනගෙන හිටියා. ඔහු චිත්‍රානන්ද මහත්මයාට මගේ හැකියාව ගැන කිව්වා. එතැනදී ගීත දෙකක් ගායනා කරන්න මට අවස්ථාව උදාවුණා. ග්‍රාමීය සේවය ඔස්සේ මගේ ගීයක් මුලින්ම ඇහෙද්දි තාත්තාගේ ඇස්වල කඳුළු පිරුණා. මාව ඒ වැඩසටහනට යොමු කළේ මාධ්‍යවේදී චිත්‍රානන්ද අබේසේකර මහත්මයා. ඊට පස්සේ ගුවන් විදුලියෙන් විකාශය වුණු මගේ මුල්ම සරල ගීතය වුණේ ඩෝල්ටන් අල්විස් සූරීන් රචනා කළ, ප්‍රේමදාස අතුකෝරළ සංගීතවත් කළ ‘මගේ දෑස ඔබේ කියා…’ ගීතයයි. ගුවන් විදුලි වැඩසටහන්වලට මාව මහනුවර ඉඳලා නිතරම කොළඹ එක්කගෙන ආවේ මගේ පියා.”
අංකුඹුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය එහිදී සංගීතය ද ඉගෙන ගත්තාය. සංගීතාචාරිනී ගමගේ මහත්මිය විසින් ඇයව මහනුවර ‘සරසවි’කලායතනයට යොමු කරවන ලදි. එහිදී ඇය රාගධාරි සංගීතය ද ඉගෙන ගත්තාය. එම කලායතනය භාරව සිටි එම්.ඩී. සුගතදාස මාස්ටර්ගේ සංගීත වැඩසටහන්වලට ඇය ද පසුව සම්බන්ධ වූවාය.
“මගේ විවාහයෙන් පස්සේ සැමියා ධර්මසේන ගලබඩගේ මගේ ගීත ගායන කටයුතුවලට ගොඩාක් උදව් වුණා. 1979 වර්ෂයේදී මගේ මුල්ම සීඩී පටය ‘ලන්ද දිගේ’ එළි දැක්වූයේ මගේ සැමියා. ගීත හතරක් තමයි එහිදී නිකුත් කළේ. ඔහු වියදම් කරලා තවත් ගීත පටිගත කිරීම් කළා. වසර 17ක පමණ කාලයක් මම ගායන කටයුතුවලින් ඈත් වෙලා හිටියා. මගේ ගීත 16ක ගී තැටියක් සරත් කොතලාවල මහතා මැදිහත් වෙලා එළිදැක්වූවා. මේ වන විට මම ගීත අසූවක් පමණ ගායනා කර තිබෙනවා. 2008දීත්, 2023දීත් මම අලුත් ගීත දෙකක් කළා. මහනුවර උපන් ශිල්පීන් පොරමඩුල්ල මහා විද්‍යාලයට ගෙන්වලා 2003 වර්ෂයේදී රාජ්‍ය සම්මාන උත්සවයක් පැවැත්වූවා. එහිදී ‘හොඳම ගායිකාව’ ලෙස සම්මානය මට ලැබුණා. 2017 වර්ෂයේදී ජීවිතයේ එක් වරක් හිමිවන සම්මානය මට හිමි වුණා.”
කිසිවෙකුටත් තමා සතු කුසලතාවන් සදාකල් එක ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඇය හොඳින් දන්නා කාරණාවකි. එහෙත් මේ මොහොතේ ඇයගේ ගී හඬ පෞරුෂය යහපත්ව පවතී.
තුෂාරී කළුබෝවිල