තේජා මගේ සැබෑ ජීවිතේට ගොඩක්ම සමීප චරිතයක් -නීටා ප්‍රනාන්දු

    0
    29

    නීටා ප්‍රනාන්දු කියන්නේ හෙළ සිනමාවේ එදා වගේම අදටත් දිදුලන නමක්. මේ දිනවල තේජා නිසා ඔබ ගැන නැවතත් කතාබහට ලක්වෙලා. ඒ ගැන කතා කළොත්?

    තේජා සිනමාපටය තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ නිලන්ත හපන්වීර. තේජා ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්. මං රංගනයෙන් දායක වන තේජා කියන ප්‍රධාන චරිතය විප්ලවකාරී කාන්තා චරිතයක්. ඒ වගේම ඇය හොඳ බිරියක්, ආදරණීය මවක් වගේම ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කරමින් පවුල රකින්න වෙහෙසෙන දිරිය කාන්තාවක් කිව්වත් හරි. අසාධාරණය ඉදිරියේ නැඟී සිටින නිර්භය කාන්තාවක් විදිහටත් තව පැත්තකින් ඈ දෙස බලන්න පුළුවන්. ඒ වගේ පැතිකඩ කිහිපයක් ඔස්සේ තේජාගේ චරිතය දිවෙනවා. පවුලේ සැමට එකට නැරඹිය හැකි ආදරය මුසුවුණු ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන නොයෙක් ගැටලු, අකටයුතුකම්, මානසික පීඩන ගැනත් කතා කරමින් දහසක් ප්‍රශ්න හමුවේ අසරණ වන කාන්තාවන්ට තනිව නැඟී සිටින්නට දිරිය දෙන චිත්‍රපටයක් විදිහටත් තේජා හැඳින්වීමේ වරදක් නැහැ. තම දෑස් ඉදිරියේ සිදුවන අකටයුතුකම් හමුවේ තම පාලනාධිකාරියට එරෙහිව නැඟී සිටින තේජා ගෞරවාදරයට පත්විය යුතු චරිතයක් විදිහටයි මං දකින්නේ. මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්.

    කාන්තාවට දිරියක් වන ඇය අපට දකින්න ලැබෙන්නෙ කවදද?

    මාර්තු මාසෙ 7 වැනිදා පැවැත්වෙන මංගල දර්ශනයත් සමඟින් තේජා ඔයාලට බලාගන්න පුළුවන්. ගැහැනිය කොතෙක් යුතුකම් ඉටු කළත් තාමත් ඇයට තියෙන පිළිගැනීම අඩුයි කියලයි මට හිතෙන්නේ. තේජා හරහා සමාජය ගැහැනිය දෙස ගෞරවාන්විත බැල්මක් හෙළාවි කියලත් හිතනවා.

    මෙහි අන්තර්ගතයට පාදක කරගත් සත්‍ය සිදුවීම ගැනත් කියමු?

    ඇත්තටම තේජා හරහා කියවෙන්නේ සත්‍ය සිදුවීමක්. 1980 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟින් ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් අකටයුතුකම් සිදුවෙනවා. එයට එරෙහිව නැඟී සිටි තේජාගේ සැමියාට සිදු වුණේ කිසිදු වන්දි මුදලක්වත් නොමැතිව රැකියාව අහිමි කරගන්න. එතෙක් ගෘහණියක් ලෙස බිරියකගේ, මවකගේ භූමිකාව ඉටු කළ තේජාට ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට යන්න සිදුවෙනවා. එතැනදී ඇයටත් දකින්න, මුහුණ දෙන්න සිදුවෙන්නේ ඒ තත්ත්වයටමයි. ඇයත් ඒවාට එරෙහිවීම ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. තවත් පැත්තකින් ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාව මුහුණපාන ගැටලු, වේදනා, මානසික පීඩාවන් ගැනත් කතාවෙනවා. එදා පැවති දේශපාලන අරගලයත් එක්ක විවියන් එදිරිසිංහ කියන ප්‍රබල කාන්තා චරිතය මේකට මැදිහත් වුණා. සිනමාපටයේ විවියන්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංග මහත්මිය. ඇයත් අපිට ලොකු ශක්තියක් වුණා. අධ්‍යක්ෂ මෙන්ම තිරපිටපත් රචක නිලන්ත හපන්වීර කියන්නෙත් අසාධාරණයට එරෙහි වන කෙනෙක් නිසා එදා ඒ සිදුවීම් ඔහුගේ සිතේ පාරා වළල්ලක් වගේ කැරකෙන්න ඇති. දශක කිහිපයක් ගිහිල්ලත් ඔහු ඒ සිදුවීම තම කුලුඳුල් සිනමා නිර්මාණයට වස්තු බීජය කරගන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න, මානසික පීඩාවන් වගේම කාන්තාවගේ සියුමැලි ආදරණීය බව සහ ඇයගේ ශක්තිය කොතරම් ද යන්නත් තේජා හරහා පෙන්වා දෙන්න ඔහු උත්සාහ කරල තියෙන බවත් පැහැදිලියි. ඔහු මේ තිරපිටපත ලියලා තියෙන්නේ ඒ ගැන හොඳ අවබෝධයකින් වගේම දැනුවත්භාවයකින් කියන එක තිරපිටපත කියවද්දි හොඳින්ම වැටහෙනවා.

    තේජා, නීටා ප්‍රනාන්දු කියන සැබෑ චරිතයට කොතරම් සමීප බවක් දක්වනව ද කියල කිව්වොත්?

    තේජා මගේ සැබෑ ජීවිතේට ගොඩක්ම සමීප චරිතයක් කිව්වත් හරි. මහත්තයා නැතිවුණාට පස්සේ මාත් තේජා වගේම ජීවන අරගලයට තනියෙන් මුහුණ දුන්න කෙනෙක්. ඒ අත්දැකීමත් මට චරිතයට අනුගත වෙන්න ලොකු පහසුවක් වුණා.

    රංගනයට අමතරව ඔබ මෙහි නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කරනවා නේද?

    ඔව්. මීට පෙරත් මං සූරියකාන්ත, පවුරු වළලු චිත්‍රපට නිෂ්පාදනය කළා. තේජා නිෂ්පාදනය සඳහා මාත් එක්ක තව කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙනවා.

    ජාතික මෙන්ම ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍ර වුණු ඔබ නවක අධ්‍යක්ෂවරයකුගේ කුලුඳුල් නිර්මාණයකට දායකවීම අභියෝගයක් කියල හිතුවෙ නැද්ද?

    කොහෙත්ම නැහැ. නිලන්ත හපන්වීර සිනමා අධ්‍යක්ෂණයට නවකයෙක් වුණාට ඔහු කලාවට නවකයෙක් නෙවෙයි. නිලන්තට කලාව ගැන ලොකු අවබෝධයක් තිබුණා. ඔහු තිරපිටපත් රචනයේ, ගුවන්විදුලි නාට්‍ය රචනයේ දක්ෂයෙක් වගේම කෙටි චිත්‍රපටත් අධ්‍යක්ෂණය කරල තියෙන නිසා ඔහුට මේ නිර්මාණය ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔහුත් එක්ක වැඩ කරන එක මට ලොකු පහසුවක් වුණා.

    ඔබ හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය මුල් පුරුකක් කියල හඳුන්වන්නත් පුළුවන්?

    1988 වසරේ 11 වැනි සිංගප්පූරු සිනමා සම්මාන උලෙළේ ප්‍රථම වතාවට මට අන්තර්ජාතික සම්මානයක් හිමිවන්නේ පවුරු වළලු සිනමාපටයේ රංගනය උදෙසා. ඊට පස්සේ ප්‍රංශයේ නිෂ් සිනමා සම්මාන උලෙළේ සම්මානිත වන්නේ පාංශු සිනමාපටයේ රංගනය වෙනුවෙන්. ඕ. සී. අයි. සී සම්මාන වගේම ජීවිතේ එක්වරක් විතරක් පිදෙන විශ්ව කීර්ති සම්මානය, සරසවිය සම්මාන ඇතුළුව දේශීය සම්මාන රැසකටම හිමිකම් කියන්න හැකිවෙනවා.

    මං කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මගේ මාමා කෙනෙකුගේ උදව්වෙන්. මේ වෙද්දි සිනමා නිර්මාණ හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවකට මං රංගනයෙන් දායක වෙලා තියෙනවා. මගේ පළමු රංගන අත්දැකීම විදිහට ‘ළඳක මහිම’ සිනමාපටයට රංගනයෙන් දායක වෙද්දී මගේ වයස අවුරුදු දාහතයි. ඒ මං පාසල් යන කාලේ. ජෝ අබේවික්‍රම වගේ ප්‍රවිණයන් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබීම මගේ වාසනාවක් විදිහටයි මං දකින්නේ. කිසිම අත්දැකීමක් නැතුව ආපු මට ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ලොකු පන්නරයක් වුණා කිව්වත් හරි. ඒ නිසා මට එදා කිසිම බයක්, චකිතයක් දැනුණෙ නෑ. අවුරුදු 20ක් විතර මං කලා ක්ෂේත්‍රයේ රැඳිලා හිටියා. මුල් අවුරුදු 8 -10 ඇතුළත සිනමාපට 40කට විතර සම්බන්ධ වෙන්න ලැබුණා. විවාහයත් එක්ක මට කැනඩාවට යන්න සිදුවුණු නිසා අවුරුදු 20කට ආසන්න කාලයක් මං කලාවෙන් ඈත් වෙලා හිටියා. ‘දුහුළු මලක්’ චිත්‍රපටයට ඕ. සී. අයි. සී සම්මානය ලැබෙද්දි මං ලංකාවෙ හිටියෙ නෑ. මං කැනඩාවේ හිටිය නිසා ඒ කාලෙ රංගනයෙන් දායක වුණු බොහෝ චිත්‍රපට මං අදටත් දැකල නෑ. මං දෙවැනි වරට කලාවට සම්බන්ධ වෙන්නේ රංගනය වගේම නිෂ්පාදනයත් එක්කමයි. සූරියකාන්ත සහ පවුරු වළලු චිත්‍රපට නිෂ්පාදනයට දායක වුණා. සිංගප්පූරු අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පවුරු වළලු සිනමාපටය සඳහා සම්මානිත වුණා. පවුරු වළලු මගේ දෙවැනි ගමන කිව්වත් හරි. මේ වෙද්දි චිත්‍රපට 70කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

    ඔබ රිදී තිරය වගේම වේදිකාව සහ පුංචි තිරයත් ස්පර්ශ කළා. ඒ ගැන මොකද හිතෙන්නේ?

    ගුණසේන ගලප්පත්තිගේ සඳ කිඳුරු වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. තාත්තා ඇතුළු තවත් වේදිකා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය ගත්තොත් ටෙලි නිර්මාණ තුනකට හතරකට විතර දායක වුණා. වැඩිපුරම සම්බන්ධ වුණේ සිනමාවට.

    වරක් ඔබ කලාවෙන් ඈත් වෙන්නේ ආදරණීය සැමියාගේ ඉල්ලීමට. ජනප්‍රියම අවධියේ කලාවට සමුදෙද්දි දුක හිතුණේ නැද්ද?

    මගේ මහත්තයා ඒලියන් පෙරේරා. ඔහු හමුවෙද්දිත් මං කලාවට සම්බන්ධ වෙලා හිටියා. ඒත් මං රංගන ශිල්පිනියක් කියලා ඔහු දැනගෙන හිටියෙ නෑ. දැනගත්තට පස්සේ ඔහු මට ගොඩක් උදවු කළා. විශේෂයෙන්ම දුහුළු මලක් චිත්‍රපටය කරන කාලේ. ඔහු මාව කැනඩාවට එක්ක යද්දි කිව්වේ මේ සෙලෝලයිට් ජීවිතේ හැමදාම තියෙන්නෙ නෑ. කාලයක් යද්දි නැති වෙනවා. මේකට එහා ඇත්ත ලෝකයක් තියෙනවා. අපි ගිහින් බලල එමු. ඊට පස්සෙ ආයෙත් මං ඔයාව ගෞරවාන්විතව චිත්‍රපට ලෝකයට එවනවා කිව්වා. ඇත්තටම ඔහු කිව්වටත් වඩා ඉහළින් ඒ වචනය ඇත්ත කළා. මං නැවත කලාවට අවතීර්ණ වෙන්නේ රංගනයට අමතරව සූරියකාන්ත සහ පවුරු වළලු සිනමාපට නිෂ්පාදනයටත් දායක වෙමින්.

    ඉදිරියේදී ඔබ දැකගන්න පුළුවන් නිර්මාණ ගැනත් සඳහන් කරමු?

    නිලන්ත හපන්වීරගේ තේජා ලබන 7 වැනිදා තිරගත වෙනවා. ඊට අමතරව මං ප්‍රධාන චරිතයෙන් දායක වන චමින්ද ඉලුක්වෙලගේ මාගම්සෝලි සහ උදාර පල්ලියගුරුගේ ජිගලෝ ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි.

    This image has an empty alt attribute; its file name is image-57.png

    ඡායාරූප- තිලක් පෙරේරා

    නාමලී ගමගේ

    rasanduna

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here