උතුරේ දියත් වූ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් තම පුතුගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් අට වසරකට ආසන්න කාලයක්
අඛන්ඩ අරගලයක නිරත වූ තවත් දෙමළ මාතාවක් පිළිතුරු නොලබාම මියගොස් තිබේ.
අතුරුදහන් වු සිය පුතු සොයා ගැනීම වෙනුවෙන් වව්නියාවේ අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේ දින 3000 ට ආසන්න කාලයක් වාඩිලා සිටි ‘මාරි අම්මා’ නමින් ජනතාව අතර ප්‍රකට වේලුසාමි මාරි මාතාව මිය ගොස් ඇත්තේ 2025 පෙබරවාරි 24 වැනි සදුදාය.
වව්නියාව, තෝනික්කල් පදිංචි කාරියක වු ඇය මිය යන විට 79 වැනි වියේ පසු වු අතර ඇයගේ පුත් වේලුසාමි ශිවකුමාර් 2009 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදන් කොට ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 පෙබරවාරි 20 වැනි දින සිට මේ දක්වා අට වසරක් තිස්සේ අරගලයේ සිටි දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 350 ක් මිය ගොසිනි.
මෑත ඉතිහාසයේ දකුණු ආසියාවේ දීර්ඝතම අරගලයක් …
සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා යුද පීඩිත උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අටේම නියෝජනයක් සහිත දෙමළ මව්වරුන්ගේ පුරෝගාමිත්වයෙන් දියත් වන උද්ඝෝෂණ ව්‍යාපාරය මෑත ඉතිහාසයේ දකුණු ආසියාවේ දීර්ඝතම අරගලයක් ලෙස සැලකේ.
දෙමළ අම්මාවරුන් සිය අරගලය ආරම්භ කිරිමෙන් පසු ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ඉකුත් වසර 7 තිස්සේම අතුරුදහන් එකම අයකුගේ හෝ ඉරණම හෙළි කිරීමට සමත් වී නැත.
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය බලයට පත් වී මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් සිය සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් කිසිදු සංඥාවක් හෝ නිකුත් කර නොතිබීම සම්බන්ධයෙන්ද යුද වින්දිත දෙමළ මව්වරුන් පසුවන්නේ දැඩි හිත් තැවුලෙනි.
ඉකුත් සතියේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පෑම තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) ට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිතවරියන් පිරිස අතුරුදහන් කරනු ලැබුවන් සොයා අරගල කරන දෙමළ මාතාවන්ට යුක්තිය සැලසීම සම්බන්ධයෙන් කිසිත් කී බවක් වාර්තා වී නැත.
ශ්‍රී ලංකාවේ රාජ්‍යය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු ඉහල පෙලේ නිලධාරීන් හා බලධාරීන් දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින්, වරදානද ලබමින් යහතින් ඉඳීමට ඉඩ සැලසීම ගැන රටේ දිගටම පැවති ආණ්ඩු ජාත්‍යන්තර වශයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටී.
