Mrs World – 2025 අනුශූරතාව දිනූ ඉෂාදි

    0
    41

    පසුගියදා අමෙරිකාවේ ලොස්වෙජාස්හි පැවති Mrs World – 2025 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා එහි අනුශූරතාව දිනාගැනීමට සමත් වූවාය.

    ලොව පුරා රටවල් 40ක තරගකාරිනියන් හා කරට කර තරග වදිමින් ලෝක බලවතුන් හමුවේ ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තබන්නට සමත් වූ ඉෂාදිට අපි ද උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු. එය තවත් අතකින් සුවිශේෂී වන්නේ මින් පෙර ජයග්‍රාහිකාව වූ රෝසි සේනානායක විවාහක ලෝක රූ රැජන කිරුළ හිමිකරගෙන වසර 40ක් සපුරන මොහොතේ මෙවර අනුශූරතා කිරුළ හිමිකර ගැනීමට ඉෂාදි අමන්දා සමත් වීමයි. නැවතත් ශ්‍රී ලංකා නාමය ලොව ඉදිරියේ ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස එය ඉතිහාසයට එක්වනු ඇත.

    මෙවර කිරුළ ද ශ්‍රී ලංකාව සතු වන බව සිතූ බොහෝ දෙනා විය. ජයග්‍රහණයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමි වන තෙක් දෑස් දල්වා බලා සිටි පිරිස ද බොහෝය. මුළු ලොවෙහිම අවධානය දිනා ගත් ඒ උණුසුම් මොහොත ඉෂාදිගේ පමණක් නොව ශ්‍රී ලාංකිකයකු වන ඕනෑම අයකුගේ හදවත මොහොතකට නතර කළ මොහොතක් වූවා නිසැකය.

    තමා ජීවිතයේ මුහුණ දුන් අතිදුෂ්කරම මොහොත පිළිබඳ ඉෂාදි අප හා පැවසුවේ මෙවන් කතාවකි.

    ඇත්තටම ඒක හරිම තීරණාත්මක මොහොතක්. මට අවසන් කිරුළ සඳහා තරග කරන්න තිබුණේ දකුණු අප්‍රිකානු තරගකාරිය සමඟ. හැමදෙනාගේම ප්‍රතිචාරය, හැඟීම වෙලා තිබුණේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය බව පසුව ලැබුණු ප්‍රතිචාරවලින් හොඳින්ම පැහැදිලි වුණා. මා තුළත් ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. දකුණු අප්‍රිකානු තරගකාරියත් දක්ෂ කාන්තාවක්. ඇය වෘත්තියෙන් නීතිඥවරියක්. ඇයත් හරිම හොඳ කාන්තාවක්. අපි දෙන්නා අදටත් හොඳ යාළුවෝ. අපි දෙන්නගෙම බලාපොරොත්තුව වුණේ කිරුළක් ගේන එක. දෙන්නටම කිරුළ හිමිවුණා. අපහසුතාවලට පත්වුණු තැන් නොතිබුණාම නෙවෙයි. තරගය සඳහා සහභාගි වෙන්න යන්න වීසා ලැබුණේ මට විතරයි. මගේ හෙයාර් ඩ්‍රෙසර්ටවත් වීසා ලැබුණේ නැහැ. එහේ ඉන්න ශ්‍රී ලාංකේය කාන්තාවක් තමයි මට ඒ සඳහා උදවු කළේ. මේ වගේ තරගවලට අපි සහභාගි වෙන්නේ අපේ රට වෙනුවෙන් අපේම මුදලින්. අපි තරගය සඳහා දින පහක් එහේ ගත කළා. මුල් හය දෙනා අතරට යන්න හිතාගෙන ගිය මං අන්තිම තුන් දෙනා දක්වා ආවා. අන්තිමට අන්තිම දෙන්නා අතරටත් එන්න හැකියාව ලැබුණා.“

    Mrs. World – 2025 තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තවත් විශේෂ අවස්ථාවක් බව පැවසූ ඉෂාදි එම විශේෂත්වය හමුවේ අනුශූරතාව හෝ රැගෙන ඒමට හැකිවීම පිළිබඳව සතුට පළ කළාය.

    “Mrs World – 2025 අනුශූරතා කිරුළ ශ්‍රී ලංකාවට හිමි වීම තවත් අතකින් අපට වැදගත් වුණා. මීට පෙර රෝසි සේනානායක මහත්මිය Mrs. World කිරුළ හිමිකර ගෙන මේ වසරට අවුරුදු 40ක් වෙනවා. මෙවර ශ්‍රී ලංකාව කිරුළක් හිමිකර ගන්නේ වසර 40කට පසුව. ඇයත් එදා අප සමඟ සිටීම අපට ශක්තියක් වුණා. ඇය වගේම චන්දිමාල් සර් හිටියෙත් කිරුළ ශ්‍රී ලංකාව සතු වේවි කියන බලාපොරොත්තුවෙන්.“

    2024 චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ කැලීන් විවාහක රූ රැජන -2024 තරග කිරුළ හිමිවීමත් සමඟින් විවාහක ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලද ඉෂාදි අමන්දා ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකේය කාන්තාවක් වීම ද විශේෂත්වයකි.

    “මං ප්‍රංශයේ ඉඳන් ශ්‍රී ලංකාවට එන්නේ Mrs Sri Lanka තරගය සඳහා සහභාගිවෙන්න. මාස එකහමාරක විතර කාලයක් පුහුණුවීම් කළේ. ලොකු කැපකිරීමක් කරලා ගොඩක් මහන්සි වෙලා දැඩි විශ්වාසයකින් Mrs Sri Lanka පැජන්ට් එකට සහභාගි වුණා. Best Personality, Face Of The Year, Best Photogenic මිනි ටයිට්ල් තුනත් එක්ක මං Mrs Sri Lanka world ජයග්‍රහණය කළා. ජයග්‍රහණයෙන් පසුව මාසයක් විතර Mrs. World – 2025 සඳහා චන්දිමාල් ජයසිංහ, රුක්මාල් සේනානායක, තාරක සර් යටතේ පුහුණුවීම් කළා. තරගයට සහභාගි වෙන්න යද්දි අපේ ටීම් එක සමඟ හිටියේ අපේ පවුලේ අය විතරයි. පසුගියදා කිරුළත් සමඟ ලංකාවට එද්දි මාධ්‍ය ඇතුළු ලොකු පිරිසක් ඇවිත් උණුසුම් ලෙස අපිව පිළිගත්තා. ඒක ලොකු සතුටක්. තරගයට සහභාගි වෙද්දිත් එහේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ලොකු සහායක් ලැබුණා. ඔවුන් තරගය නරඹන්න ඇවිත් හිටියා. ප්‍රේක්ෂකාගාරයේ ලංකාවේ ධජ හැමතැනම පෙනුණා. ඔවුන්ගේ එකමුතුව හරිම වටිනවා. ලංකාවෙනුත් මට ලොකු සහායක් ලැබුණා. මගේ මහත්තයත් තරගය නරඹන්න ඇවිත් හිටිය එක මට ලොකු හයියක් වුණා. මේ ලබාගත්ත ටයිට්ල් එකෙන් ඉදිරියේදී සමාජ මෙහෙවරක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් මට රංගනය සඳහා ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයට දායක වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

    නාමලී ගමගේ (රසඳුන)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here