ආදරය යනු හුස්ම පොද මෙන් ජීවිතය ඇඳ බැඳ තබන රැහැන් පටකි. දෑඟිලි බැඳෙන, සිතුවිලි ඒකාත්මික වන, හදවතට දැනෙන ඒ දිනය උදාවී ඇත. අද පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනයයි. ලොවම සෙනෙහසින් සමරන මේ දිනය දින දසුනේ සටහන් වීමට පාදක වූයේ නම් කඳුළු කතාවකි.
ආදරවන්තයන්ගේ දිනය හා සබැඳි කතා ගොන්නක් ඇති නමුත් ඒ සියල්ලම කඳුළු කතාය. එක් පුරාවෘත්තයකට අනුව වැලන්ටයින් යනු තුන් වැනි සියවසේ රෝමයේ ජීවත් වූ පූජකවරයෙකි.

එකල රෝමය පාලනය කළ දෙවැනි ක්ලෝඩියස් අධිරාජයා පෙම්වතියන්, බිරියන්, දරු පවුල් ඇති පුද්ගලයන්ට වඩා තනිකඩ පුද්ගලයන් කැපවීමෙන් සේවය කරනබවට විශ්වාස කළේය. මෙය සොල්දාදුවන් වෙනුවෙන් ගත් අසාධාරණ තීන්දුවක් බව සිතූ වැලන්ටයින් පූජකවරයා රහසේම තරුණ සොල්දාදුවන්ට පෙම්වතියන් විවාහ කර දීමට පියවර ගත්තේය. පූජකවරයාගේ ක්‍රියාකලාපය දැනගත් අධිරාජයා ඔහුව හිස ගසා ඝාතනය කරන ලදී. එතැන් සිට පූජකවරයාගේ නමින් පෙබරවාරි 14 නම් කෙරිණි. එහෙත් සැබෑ සෙනෙහෙවන්තයන් වෙනුවෙන් දිවි පිදූ පූජකයා ඇතැමුන් අද ආදරය (ව්‍යාජ, ආත්මාර්ථකාමී ආදරය) සමරන ආකාරය දන්නේ නම් ඔහුද ඩයිනමයිට් නිපදවා පශ්චත්තාපයට පත්වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙන්ම පසුතැවෙනු ඇත.

සැබැවින්ම ආදරවන්තයන්ගේ දිනය වෙන්වී ඇත්තේ දුර දිග බලා තීරණ ගත හැකි වයසේ පසුවන, එනම් ගැටවර වයසේ පසුවන දරුවන්ට, විශේෂයෙන්ම දැරියන්ට නැවත ජීවිතයේ කිසි දිනක සැබෑ ආදරයක් නොලැබිය හැකි සේ අතරමං වන දවසක් කර ගැනීමට නොවේ. එමෙන්ම ආදරවන්තයන්ගේ දිනය විරුද්ධ ලිංගික ආකර්ෂණය වෙනුවෙන් පමණක් වෙන්වූ දිනයක් ලෙස සිතීම වැරැදිය. මානව වර්ගයාගේ පැවැත්මට මානසික බැඳීම වගේම කායික බැඳීමද වැදගත්ය.
ලොව සෑම සංස්කෘතියකම ලිංගිකව සක්‍රිය වීමට,විශ්වාසවන්ත සහකරුවකු / සහකාරියක තෝරා ගැනීමට වයසක් තිබේ. 19 වැනි සියවස වන විට ප්‍රසිද්ධියේ ප්‍රජනක සෞඛ්‍ය ගැන කතා කිරීමට පටන් ගැනිණි. පාසල් මට්ටමින් විද්‍යාව තුළින් දූදරුවන් දැනුවත් කිරීම ඇරැඹිණි. ආදරය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශාල පෙරැළියක් ඇති වුණේ ඩිජිටල් තාක්ෂණික පෙරැළිය සමඟය. සමාජ මාධ්‍ය, අන්තර්ජාලය හරහා ප්‍රමිතියකින් තොරව ලිංගික සෞඛ්‍ය පිළිබඳ කාරණා හුවමාරු වීම මේ වන විට සමාජ ව්‍යසනයක් වී අවසානය. එය ලංකාව වැනි රටවලට වැඩි වශයෙන් දැනෙන්නේ තවමත් ලිංගික අධ්‍යාපනයත්, ප්‍රජනක අධ්‍යාපනයත් එකම තරාදියක දමා කිරන්නට යන නිසාය.

අපේ අධ්‍යාපනවේදීන් ලිංගික අධ්‍යාපනයේත් ප්‍රජනක අධ්‍යාපනයේත් වෙනස හඳුනාගෙන නැත. ප්‍රජනක අධ්‍යාපනයෙන් දරුවන්ට ලබා දෙන්නේ ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඇතිවන කායික – මානසික වෙනස්කම් (ද්විතීයික ලිංගික ලක්ෂණ ආදී), ගර්භණීභාවය වැනි විෂයයන් පිළිබඳ දැනුමය. ලිංගික අධ්‍යාපනය මඟින් ලිංගිකත්වය පිළිබඳ සියලුම විෂයයන් ගැන කතාබහ කෙරෙයි. දියුණු රටවල නිසි වයසේදී දූදරුවන්ට ලිංගික අධ්‍යාපනයත් ප්‍රජනක අධ්‍යාපනයත් හොඳින් ලබාදෙයි. ලංකාවේ ලිංගික නිදහස තිබුණත් නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම පාලනයකින් තොර සබඳතාවලට යොමුවී ජීවිතයම අඳුරු කරගනී.
අපේ රටේ අලුතින් හඳුනා ගන්නා ලිංගාශ්‍රිත රෝගීන් සහ එච්.අයි.වී. ආසාදිතයන් අතර වයස අවුරුදු 15 – 24ත් අතර නව යොවුන් සහ යොවුන් පරපුර නියෝජනය කරන්නනන් වැඩි වශයෙන් මුණගැසෙන්නේ එබැවිනි. සමාජ මාධ්‍ය භාවිතය පෙම්වතා / පෙම්වතිය සොයා ගැනීමේ ප්‍රධාන ක්‍රමයක් බවට පත්වී ඇත. එපමණක් නොව මත් වතුර භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයත් මේ කෙරෙහි බලපායි. එච්.අයි.වී. ආසාදනයට, ලිංගාශ්‍රිත රෝග බෝවීමට වාගේම අනාරක්ෂිත ගැබ් ගැනීම්වලටත් නොදැනුවත්කමින් භාවිත කරන ඩේටිං ඇප්, සමාජ මාධ්‍ය වැනි සියල්ල හේතුවෙයි.

නව යොවුන් විය මෙල්ල කළ නොහැකි නාඹර අශ්වයකු වැනිය. හෝර්මෝන අධිකව ක්‍රියාකාරී වන නව යොවුන් වයසේ අය විරුද්ධ ලිංගික ආකර්ෂණයේ මිහිර බෙදා හදා ගන්නේ, ළිප ගිනි මොළවන තෙක් සැපයෙන් සිටින කකුළුවන් පරිද්දෙනි.
දියුණු සමාජය කිසිදු ලිංගික බැඳීමකින් අනෙකාට හානියක් නොවිය යුතුය. විශේෂයෙන් නව යෞවනියන් ආදරය ජීවිත අවදානමක් බවට පත්කර නොගත යුතුය. බටහිර රටවල පාසල් යන නව යොවුන් දැරියගේ පොත් මල්ලට කොන්ඩමයක් එක් කිරීම මෙරට වැඩි දෙනකුගේ අවඥාවට ලක් වුවත් බොහෝ දෙනෙක් නොදන්නා දේ නම් ඒ රටවලට වඩා මේ රටේ නව යෞවනියන් අඩු වයසින් ගැබ් ගැනීමේ, ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ, පාසල් ගමනට අකාලයේ ආයුබෝවන් කීමට සිදුවීමේ අවදානම වැඩි බවය.
2019 මාර්තු 19 සිට 2020 ජනවාරි 31 දක්වා ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක අවිවාහක යෞවන යෞවනියන් 1,057ක් අතර සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ වැඩිපුරම අනාරක්ෂිත සබඳතාවලට යොමුවී සිටින්නේ තරුණියන් බවය. වයස අවුරුදු විස්සට අඩු අවිවාහක නව යෞවනියන්ගෙන් 10%ක් සබඳතා පවත්වා තිබුණේ නන්නාඳුනන පුද්ගලයකු සමඟය. දමිළ නව යොවුන් පිරිසට වඩා සිංහල නව යෞවනියන් අතර මේ ප්‍රවණතාව දක්නට ලැබී තිබේ.

ලංකාවේ වසරකට ගැටවර වියේ ගර්භණීභාවයන් 3.9% – 4.4%ක් පමණ වාර්තා වේ. මවුපියන්ගේ ආරක්ෂාව නොලැබීමෙන්, ආර්ථික ගැටලු නිසා, සමාජ ජාලා අවභාවිතය හේතුවෙන් සමහර දැරියන් වයස අවුරුදු 10 – 14 කාලයේදී පළමු ලිංගික අත්දැකීම ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් වාර්තාකර තිබිණි.
ආදරය ගැහැනු-පිරිමි දෙදෙනාටම සතුට ලබා දෙන හැඟීමකි. ඒ හැඟීම හා සබැඳි ක්‍රියාවන්ගෙන්ද දෙදෙනාම සතුටු විය යුතු අතර එක් අයකුට හෝ හානියක් සිදු නොවිය යුතුය.
අලුත්ම සංකල්පය වන්නේ යුවළක් අතර පවතින ආදරයට පමණක් ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සීමා නොකළ යුතු බවය. පවුලේ සාමාජිකයන්ට, හුදෙකලාවෙන් පීඩා විඳින්නන්ට, අසල්වැසියන්ට, අසරණ සතුන්ට, තුරුලියවලට ආදරයේ මහිමය විඳීමට ඉඩ සැලැස්වීම යහපත් මානසිකත්වයක් ඇති පුද්ගලයකු විසින් කළ හැකි යුතුකම්ය.

තවත් වැදගත් කරුණක් වන්නේ මෙය හුදෙක් නව යෞවන වයසේ හෝ යොවුන් වයසේ අයට සීමා නොකළ යුතු බවය. වියපත් වුවත් වෙව්ලන දෑත් එකට බැඳ යුග දිවියේ සොඳුරු සිහිවටන සැමරිය හැකි යුවළක් සෙනෙහෙවන්ත බවට පරමාදර්ශයකි.
හාවර්ඩ් සරසවියෙන් වැඩිහිටි සංවර්ධනය පිළිබඳ කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ පනස් වසරක් සාමකාමී, ප්‍රීතිජනක යුග දිවියක් ගත කළ යුවළක වයස අවුරුදු අසූවේදීත් කායිකවත් මානසිකවත් සෞඛ්‍ය සම්පන්න බවය.

සටහන – චම්පිකා දීපානි රණසිංහ