අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා

    0
    13

    ලෙච්චමී, වත්තේ දී රාසම්මාට රහසක් කීවාය. රාසම්මාගේ මුුහුණ සතුටින් පුළුල් විය. තමාට ⁣ලබන්නට නොහැකි වූ සම්පතක් ලෙච්චමී අක්කාට ලැබීම රාසම්මාට සතුටකි. එහෙත් ලෙච්චමීගේ මුහුණේ තිබෙන්නේ බිය මුසු පෙනුමකි. 

    “මොකද ලෙච්චමී අක්කා බය වෙලා?” රාසම්මා ඇසුවාය.

    “මේ පාරත් දුවෙක් හම්බ වුණොත් කියලා බයයි රාසම්මෙ. ගෑනු ළමයිව කොච්චර පරිස්සං කරන්න ඕනෙද? ඒක විතරක්යැ, කසාද බඳින කොට දෑවැද්ද දෙන්නේ කොහොමද? දැනටත් මට කෙල්ලොම තුන් දෙනෙක් නේ”

    “ලෙච්චමී අක්කා ඕවා ඔය හැටි හිතන්න එපා. හැම මිනිහම එක වගේ නෑ. අපේ රාමය්යා මාමා මාව කසාද බඳින්න දෑවැද්ද ඉල්ලුවෙ නෑනේ. වේළුසාමි අය්යා ලෙච්චමී අක්කාව කසාද බඳින්න දෑවැද්ද ඉල්ලුවෙත් නෑනේ”

    “උඹ කියන කතාව නම් ඇත්ත තමා. මාව කසාද බඳින්න කලින් අපේ වේළුසාමි හිටියෙ මාතලේ ඇල්කඩුවෙනේ. උඹ අහල තියෙනවද ඇල්කඩුවෙ අංගරන්කන්ද වත්ත?”

    “නෑ ලෙච්චමී අක්කෙ”

    “අපේ එක්කෙනා හිටියෙ එහෙ. අපේ අය්යා තමයි මට එයාව කතා කළේ. මම හිටියෙ මේ රාක්ෂාවෙමනේ. එයා දවසක් ආවා අපේ පනිය ලයිමට මාව බලන්න. අපි දුප්පත් මිනිස්සු. එයා මගෙන් කිසිම දෑවැද්දක් ඉල්ලුවෙ නෑ. රත්තරන් බඩුත් එපා කිව්වා. එයාව කසාද බැඳලා මම පනිය ලයිමෙ ඉඳලා මේ රාක්ෂාවෙම සොර්ණවල්ලියෙ ලයිමට ගියා. මගෙ මනුස්සයා වගේ හොඳ මිනිස්සු කවද හරි මගෙ කෙල්ලො තුන් දෙනාටත් හම්බ වෙනව නම් කොච්චර හොඳද?” ලෙච්චමී විස්සෝප වූවාය. රාසම්මා බලා සිටියේ දුකෙනි. 

    “මගේ ලොකු ⁣කෙල්ලො දෙන්නා හම්බ වෙන්න බඩින් ඉන්නකොට මම දන්නෙ නෑනේ බඩේ ළමයි දෙන්නෙක් කියලා. බඩත් එන්න එන්නම ලොකු වෙනව වැඩී. පත්මසීලන් හම්බ වෙන්න ඉන්නකොට වගේ නෙමෙයි ඇඟටත් එක එක අමාරුකං එනවා. වත්තෙ වැඩ කරලා ගෙදර ගියාට පස්සෙ මට මොකුත් වැඩක් කර ගන්නත් බෑ. අපේ වේළුසාමි තමයි මට තේ එක හිටං හදලා දුන්නෙ. දවසක් අමාරු වැඩිකමට අපේ එක්කෙනා මරුත්තු විච්චිට එන්න කියලා පණිවිඩයක් යැව්වා. එතකොට බඩට හත් මාසයක් විතර වෙලා”

    “මරුත්තු විච්චි මොකද කිව්වෙ?”

    “බඩ හොඳට අත ගගා බලලා අන්තිමේ මරුත්තු විච්චි කිව්වනේ “මේ පාර නම් ලෙච්චමී උඹේ බඩේ ළමයි දෙන්නෙක්” කියලා. ඒක දැන ගත්ත ගමන්ම මට හිතුණේ තවත් කොල්ලො දෙන්නෙක් හම්බ වෙනව නම් කොච්චර එකක්ද කියලයි. කොටින්ම මම කොල්ලො දෙන්නෙක් හම්බ වෙයි කියලා හිතාගෙන ඒ දෙන්නට දාන්න නම් දෙකකුත් ලෑස්ති කරන් හිටියා” ලෙච්චමී සිනාසෙයි. රාසම්මා ද ඇගේ සිනාවට හවුල් වුණාය.

    “මොකක්ද ඉතින් ඒ නම් දෙක?”

    වර්තමාන රාක්ෂාව ප්‍රදේශය
           

    “රාමර්, ලක්ෂමනන්. අන්තිමේ හම්බ වුණේ කෙල්ලො දෙන්නෙක්. ඊට පස්සේ මම ඒ දෙන්නට දැම්මා ලක්ෂ්මී, රාමම්මා කියලා”       

    වත්තේ වින්නඹුකම් කරන මරුත්තු විච්චි අපූරු චරිතයකි. ගර්භනීභාවය සහ ප්‍රසූතියට අදාළ කිසිදු පාඨමාලාවකට, විභාගයකට මුහුණ දී නැතත්, වර්තමානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ තනතුරේ කටයුතු ඇය වත්තේ කතුන්ට අගේට ඉටු කළාය. මෙය පළපුරුද්දෙන්ම කරන සේවයකි. පළපුරුදු මරුත්තු විච්ච් කෙනෙක් සමග ගොස් නවක කෙනෙකුට පුහුණු විය හැකිය. ඒ සේවාවන් දිගින් දිගටම පැවත ආවේ එලෙසිනි . වත්තේ කාන්තාවන් ගේ දරු ප්‍රසූතියේ දී අතීතයේ සියලු කටයුතු කළේ ඔවුන් ය. මරුත්තු විච්චිගේ පදිංචියත් ලයිමක ය.

    ප්‍රසූතියේ දී පමණක් නොව ඊට පෙර ද සිරුරේ නිතර නිතර බැරි අමාරුකම් හට ගන්නා විට ඔවුහු මරුත්තු විච්චිව ගෙදරට කැඳවති. එහිදී ඇය ගැබිනි මවට කසාය වැනි බෙහෙත් වර්ග පවා නියම කළාය. ඒවා කිසිදා වැරදී නැත. මේ එන ගමන්වල දී මරුත්තු විච්චිට සන්තෝසමක් ලෙස යම් යම් දේවල් දෙනු ලැබේ. ඇඳුම් දෙන්නේ නම් ⁣ඒ වොයිල් සාරියකි. අතීතයේ මහත් ජනප්‍රිය මෙම වොයිල් සාරි තනිකර කපුවලින් නිමවූ සිනිඳු සුවපහසු සාරි වර්ගයකි. ඔවුන් එදිනෙදා පාවිච්චි කළේ ඒවා ය. සාමාන්‍යයෙන් වතුවල වැඩිහිටි කාන්තාවන් නිතර සාරිය දවටාගෙන හිඳීම වර්තමානයේත් සුලබ ය. මේ කතා කරන හැත්තෑව දශකයේ වොයිල් සාරියක මිල රුපියල් විසි පහක් පමණ විණි. 

    සමහරුන් සාරියක් නොව මරුත්තු විච්චිට දෙන්නේ මුදල් ය. හාල් සිල්ලර වැනි දෑ දෙන අයත් සිටිති. එසේම රා බෝතල් භාගයක පමණ ප්‍රමාණයක් ද මේ සන්තෝසමට අයත් වෙයි. ඊට හේතුව මරුත්තු විච්චිලා බොහෝවිටම මත්පැන් පානය කිරීමයි. දරු ප්‍රසූතිය ආසන්න මාසවල දී ඇතැම් විට ගැබිනි මවට දැනෙන සුළු සුළු අපහසුතාවන් අකා මකා දැමීමටත්, මෙම ප්‍රදේශවල පවතින සීතල දේශගුණය නිසා සිරුර උණුසුම් වීමටත් බ්‍රැන්ඩි මේස හැන්දක් දෙකක් දෙන ⁣ලෙස මරුත්තු විච්චිගෙන් පවුලේ අයට උපදෙස් ලැබේ. ඒ නිසා බොහෝවිට ගෙදර බ්‍රැන්ඩි බෝතල් කාලක්වත් තිබේ.         

    මරුත්තු විච්චි හරි ආඩම්බරකාර ය. තමන් ගේ වෘත්තිය ගැන අභිමානයක් ඇයට තිබේ. මුහුණ සැර පාට ය. ගෙදරට එනවිටත් කවුරුන් සමගවත් සිනා නොවේ. වොයිල් සාරියෙන් සැරසී කරේ මාලයක් ද දමන ඇගේ ලොකු කරාබුවල බරටදෝ කන් පෙති දෙකම ඉරී ලොකු සිදුරු දෙකක් සෑදී ඇත. ඇය අම්මා බලන්නට මුලින්ම ගෙදර පැමිණි දවසේ සූරිය කුමාරි ඇය දෙස බැලුවේ බියකින් සහ සැකයකින් යුතුව ය. මරුත්තු විච්චි සූරිය කුමාරි දෙස බලා ඉවත බලා ගත්තේ සිනාවකට මුදල් වියදම් වෙන්නාක් මෙනි. “එයා මඩොල්කැලේ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයාටත් වඩා ලොකු කෙනෙක් වෙන්න ඇති” සූරිය කුමාරි තනිවම සිතුවාය. දැරිය මිදුලට වී බලා සිටියේ දුකෙනි. මරුත්තු විච්චි අම්මා ව බලා ආපසු යන්නට සැරසෙන හඬ ඇසිණි.

    “ළමයා හම්බ වෙන්න තව ඒ හැටි දවසක් යන්නෙ නෑ.” මරුත්තු විච්චි අම්මාට කියනු සූරිය කුමාරි අසා සිටියාය. 

    “අම්මා ඉක්මනට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගෙනෙයි” ඒ සමගම සූරිය කුමාරිගේ දුක පහවී සතුටින් සිත පිරී ගියේය.

    වතු රෝහලක්

    වතුවල කටුක ජීවිත ගෙවා දමන මෙම අහිංසක කාන්තාවන් තමාට ගැහැනු දරුවන් බිහි වනු දකින්නට මනාප නොවන්නේ විවාහයේ දී රත්තරන් ආභරණ ඇතුළු අනෙකුත් දායාද දෙන්නට නොහැකි වීම නිසා පමණක් නොවේ. ගැහැනු දරුවන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලුව ද ඔවුන් ට තිබේ. බොහෝ තේ වතුවල කම්කරු ජනතාව ගත කළේ සිරගත වූ ජීවිතයකි. අත්‍යවශ්‍ය හේතුවකට මිස වත්තෙන් පිටට යාමට අවසර නොදෙන, කිසිවකුටත් බාහිර සමාජය වෙත පිවිසිය නොහැකි වනසේ ගේට්ටු දමා ලොක් කර තිබෙන වතුයායවල් අදටත් අපේ රටේ තිබේ. රාක්ෂාව එසේ නොවන්නේ එය මැදින් ප්‍රධාන පාරක් පවතින නිසා ය.        

    මෙලෙස පාලනය වන වතුවල ලොක්කන්ගේ අණසකට කීකරු වන්නට කම්කරුවන්ට සිදුවේ. අකීකරු වී වත්තෙන් පිට වුණොත් වෙන යන්නට තැනක් නැත. ඉංග්‍රීසි යටත් විජිත සමයේ 1867 වසරේ දී ජේම්ස් ටේලර් විසින් ලූල්කඳුර වතුයායෙන් මෙරට වාණිජ තේ වගාව ආරම්භ කරන්නටත් පෙර, 1820 න් පසුව ඉංග්‍රීසීන් විසින් මෙරට කෝපි වගාව ආරම්භ කිරීමේදී පටන් ම එම වතුවල කම්කරු සේවය සඳහා දකුණු ඉන්දීය දෙමළ ජනතාව මෙරටට ගෙන්වනු ලැබිණි. අදටත් තේ වතුවල කම්කරු වෘත්තියෙහි නියැලෙන්නේ ඔවුන් ය. නමුත් ඔවුනට පුරවැසිභාවය ලැබුණේ ශත වර්ෂ එකහමාරකට පමණ පසු 1988 පුරවැසි පනත (Indian origin tamil persons ( Citizenship) Act. No. 39 of 1988) මගිනි. නමුත් ඒ සම්පූර්ණයෙන්ම නොවේ. සියලුම කඳුකර දෙමළ ජනතාවට පුරවැසිභාවය ලැබුණේ 2003 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ රජය පැවති සමයේ දී ය. කඳුකර දෙමළ ජනතාවට සම්පූර්ණයෙන්ම පුරවැසිභාවය ලැබුණේ 2003 වසරේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිනිය වූ සමයේදීයි. එම වසරේදී Grant of Citizenship to Stateless Persons Act No. 5 of 2003 නමින් පනතක් සම්මත විය. මෙය පුරවැසිභාවය නැතිව සිටි (stateless) ඉතිරි කඳුකර දෙමළ ජනතාවට ස්වයංක්‍රීයව ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදුන් පනතයි. නමුත් ඔවුනට ඉඩම් අයිතියක් මේ දක්වා ලැබී නැත.

    අතීතයේ ඔවුන් වෙනුවෙන් වතුවල, රෝහල් සහ පාසල් ඉදි විය. මේවා හැඳින්වූයේ වතු රෝහල් සහ වතු පාසල් ලෙසිනි. වතු පාසල්වල පන්ති තිබුණේ පස්වෙනි ශ්‍රේණිය දක්වා ය. පස්වෙනි ශ්‍රේණියෙන් පසු අධ්‍යාපනයක් නැත. වතුවල බලධාරීන් සැලකුවේ ඉන්පසු ඔවුන් වතුවල සේවයට පැමිණිය යුතු බවයි. වතු පාසල් සඳහා ගුරුවරුන් ලෙස බඳවා ගත්තේ ද වතුවලින්ම ය. ඔවුන්ට වැටුප් ගෙව්වේ ද එම වතුයායෙන්ම ය. 1987 න් පසුව ජාතික පාසල් පද්ධතියට වතු පාසල් එකතු වීමෙන් පසුව ඒවායෙහි තත්ත්වය වෙනස් විය. දැන් වතු රෝහල් හෝ වතු ඩිස්පෙන්සරි දක්නට නැත.

    අතීතයේ මරුත්තු විච්චිලාගේ උපකාරය ලබා වතුවල ලයින් කාමරවලම බිහිවන මෙම දරුවන්ට උප්පැන්න සහතික නොතිබිණි . එනිසා මීට දශක හත අටකට එපිට අතීතයේ උපන් අයගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උපන්දිනය නොදනිති. 

    වතු පාසලට ඇතුල් කරන්නට දරුවාට උප්පැන්න සහතිකයක් අවශ්‍ය නොවේ. වත්තේ කම්කරු කාන්තාවන්ට දරුවන් බිහි වූ පසුවත්, වත්තේ වැඩට නොයා සිටින්නට නොහැකිය. කුඩා දරුවන් බලා කියා ගන්නට නිවසේ ද කවුරුත් නැත. එනිසා වත්තේ කම්කරුවන්ගේ බිළිඳාගේ පටන් පාසල් යන වයසේ දරුවන් ද රඳවා යා හැකි ස්ථානයක් වත්තේ ම පිහිටුවා තිබේ. මෙසේ දරුවන්ට රැඳවුම් ස්ථානයක් සකස් කිරීමට මූලික හේතුව, වත්තේ බලධාරීන් තුළ කම්කරුවන් ගේ දරුවන් කෙරෙහි හට ගත් අමුතු අනුකම්පාවක් නොවේ. කුඩා දරුවන් ලයිම අවට තේ ගස්වලට හානි කරාවි, තේ දළු කඩා දමාවි යන බිය නිසා ඔවුන්ගෙන් තේ ගස් ආරක්ෂා කරගන්නට සහ දළු කඩන්නට නෑවිත් එම මව්වරුන් ගෙදර රැඳීම වළක්වා ගන්නට ය.

    දරුවන් රැඳවීම සඳහා වත්තේම තනා ඇති ස්ථානය “පුල්ල මඩුවම්” නම් වෙයි. සමහරු එය “පුල්ල කාමර” ලෙස හඳුන්වති. Crech යනුවෙන් වර්තමානයේ හඳුන්වන්නේ මේවා ය. මෙහි දරුවන් බලා කියා ගැනීම සඳහා ආයා කෙනෙක් සිටියි. ඇයට වැටුප් ගෙවන්නේද වත්තෙනි. ඇය වර්තමානයේ Crech attendant ය. තේ දළු නෙළන අතරවාරයේ පුල්ල මඩුවම් වෙත ගොස් දරුවාට මව් කිරි දීම සඳහා යාමට කංකානිගෙන් අවසර ලැබේ. පුල්ල මඩුවම් හි දිවා කල රඳවා තබන දරුවා ගේ වයස අවුරුදු පහක් පමණ වනවිට වත්තේ ඉස්කෝලෙට භාර දෙනු ලබයි. ඒවාට උප්පැන්න සහතික අවශ්‍ය නැත. පිළිවෙළකට ක්‍රමානුකූලව ඉගැන්වීමක් ද සිදු නොවේ. පහේ පන්තියෙන් පසු පාසල් යාමක් නැත. ඊළඟට හුරු කරවන්නේ වත්තේ වැඩට ය.

    මේ තත්ත්වය රාක්ෂාවට තරමක් වෙනස් විය. එයට හේතු තිබිණි. රාක්ෂාව හුදෙකලා තේ වත්තක් නොවේ. එය මැදින් ප්‍රධාන පාරක් පිහිටා ඇති අතර පන්විල නගරයට ද ආසන්න ය. ඒ සියල්ල සේම රාක්ෂාව 1972 වසරින් පසු රජයට පවරා ගත් වතුයායකි. පෞද්ගලික වතුවල සේවකයන්ට තිබෙන අසූකෙලක් බාධා, ගැටලු, ප්‍රශ්න ඔවුන්ට ඒ තරමටම බලපෑවේ නැත්තේ එනිසා විය හැකිය.

    ඒ කෙසේ වුවත් වැඩිවිය පත් ගැහැනු දරුවන් සිටින අම්මලා හැම විටම සිටියේ සැක සංකාවෙනි. ලයිම ජනාකීර්ණ තැනකි. කවුරුන් හෝ කෙල්ලගේ හිත ගෙන ඉන්පසු ලයිමට ඇවිත් රවටා ඇය දූෂණය කරාවිද, කෙල්ල ඇහැට කනට පෙනෙන එකියක නම් වත්තේ ලොකු මහත්තුරුන් ඇය බංගලාවට ගෙන්වා ගනීද මේ ආදී වශයෙන් දහසක් ගැටලු ඒ අම්මලාගේ හිස මත ය. එනිසා ඔවුන් බොහෝවිට ම කළේ තමන්ට දියණියක් ලැබුණු කල ඇය වැඩිවිය පත් වී නොබෝ කලකින් ම කාට හෝ විවාහ කර දී දියණියගෙන් නිදහස් වීම ය. මේ මීට දශක කිහිපයකට පෙර තේ වතුවල පැවති තත්ත්වය යි. 

    ලබන සතියේ යළිත් හමුවෙමු.

    ස්තුතිය – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, පන්විල පත්මසීලන්, මයුරන් සුරේෂ් යන මහත්වරුන් ට සහ පන්විල ගාලකඩේ සූරිය කුමාරි මහත්මියට 

    ඡායාරූප – ඉන්දු පෙරේරා, මයුරන් සුරේෂ් සහ අන්තර්ජාලය     

    සටහන : ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here