වාහනයක් කියන්නේ හැම කෙනෙක්ගෙම හීනයක්. ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ. තමන්ගේම කියලා රෝද හතරක් අයිති කරගෙන, ලෝකේ වටේ රවුමක් ගහන්න හැම මනුස්සයෙක්ම දවසකට එකපාරක් හරි හීන දකිනවා. එහෙම දකින හැම අහිංසක හීනයකටම පණ දුන්න එක මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයාට පින් සිද්ධ වෙන්න තමයි අද ඔයාලා වාහනයක් ගැන ලස්සන හීන දකින්නේ. තමන්ගේම කියලා වාහනයක් අරගෙන සතුටින් පාරට බහින්නේ.ඔහු හෙන්රි ෆෝර්ඩ්….
උදව් කරන්නේ කිසිම මනුස්සයෙක් නැතුව, මිනිස්සුන් පිස්සා කියලා බැනුම් අහා අහා උදේ ඉඳන් රෑ වෙනකල් එන්ජිමක් හොයාගන්න මහන්සි වුණු හෙන්රි ෆෝර්ඩ් ගේ පිටිපස්සේ හිටපු මෝටර් රථ ලෝකයේ නොපෙනෙන රැජින ගැනයි අද අපි කතා කරන්නේ.ඇය තමයි ක්ලාරා ෆෝර්ඩ්…

සීතල රාත්‍රීන්වල තමන්ගේම කියලා හීනයක් වෙනුවෙන් සටන් කරන හෙන්රි ෆෝර්ඩ් ලඟට වෙලා ඔහුට ආලෝකය දෙන්න පැය ගණනාවක් තමන්ගේ අත් දෙකෙන් පහන අල්ලගෙන හිටපු ක්ලාරා විතරයි හෙන්රි ගේ එන්ජිමක් සොයාගැනීමේ සිහින විශ්වාස කලේ.

ඇය ඉපදෙන්නේ 1866 වසරේ අප්‍රේල් 11 වෙනිදා. ඒ 10 දෙනෙක් ඉන්න පවුලක තුන්වෙනි දරුවා විදියට. ගොවි පවුලක වැඩිමහල් දියණිය හැටියට ඇය ආහාර පිසීමේ ඉඳලා ගෙදරක සියලු වැඩ ඉගෙන ගන්නේ, පුංචි වයසෙදි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පුංචි සහෝදර සහෝදරියෝ බලාගන්නත් ඇය කොයිම වෙලාවක ඇය පසුබට වුණේ නැහැ. ඇය ඔවුන්ටත් තවත් අම්මෙක් වුණා.
ඇය හෙන්රි ෆෝර්ඩ් එක්ක විවාහ වෙන්නේ 1888 වසරේ අප්‍රේල් 11, හරියටම ඇයගේ උපන් දිනය දවසේ.එදා ඉඳන් අවුරුද්දක් ඇතුලත ඔවුන් ගෙවල් එකොළහකට කුලියට යනවා. ඒකට හේතුව වෙන්නේ හෙන්රි ෆෝර්ඩ් ගේ ගෑස් එන්ජිම සොයාගැනීම් වල තිබුණු අවශ්‍යතා.
පසු කාලයක එන්ජිම සොයාගත්තා ට පස්සේ නව ව්‍යාපාරයක් ආරම්භ කරන ෆෝර්ඩ් තමන්ගේ බිරිඳ හඳුන්වන්නේ “The Believer” හැටියට. මොකද මුලින් කිව්ව වගේ ඔහුව විශ්වාස කළේ, ඔහුව ඉවසුවේ, ඔහු වෙනුවෙන් වෙනස් වුණේ ඇය විතරයි.ඒ විතරක් නෙවෙයි හෙන්රි ෆෝර්ඩ් තමන්ගේ මේ සිහිනය වෙනුවෙන් මහන්සි වෙනකොට ක්ලාරා ගැබිනියක්. ඔහු තමාගේ පළවෙනි එන්ජිම පරීක්ෂා කරද්දී තමයි ඔවුන්ගේ එකම දරුවා වුණු Edsel Ford ඉපදෙන්නේ. ඒ 1891 දෙසැම්බර් මාසේ 24 වෙනිදා. එයින් දවස් පහකට පස්සේ ඔහු තමාගේ පළවෙනි වාහනයට කොටස් එක් කරනවා.
පසු කාලයක හෙන්රි ෆෝර්ඩ් ගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහනවා.”ඔබ කවුරු විදියට ද ඉපදෙන්න කැමති” ඔහු පිළිතුරු දෙනවා… “කවුරු විදියට ඉපදුනත් කමක් නෑ ඒත් ක්ලාරා මට නැවත හමුවිය යුතුයි” ක්ලාරා 1950 වසරේ සැප්තැම්බර් 29 මිය යනවා. ඒ වෙද්දි ඇය ඔවුන්ගේ ව්‍යාපාර වලින් උපායාගත් මුදලින් බොහෝ පුණ්‍ය කටයුතු සිදුකර තිබුණා. ඒ අතරින් හෙන්රි ෆෝර්ඩ් රෝහල විශේෂයි.
ඉතින් කවුරු මොනවා කිව්වත් හීනයක් වෙනුවෙන් ජිවත් වෙන ඕන ම පිරිමි කෙනෙකුට ලැබෙන්නේ ඕන ක්ලාරා වගේම බිරිඳක්…. ඒ වගේම හීන දිනුවට පස්සේ ඒ වෙනුවෙන් තමන් එක්ක හැම දුකක්ම බෙදාගත්ත බිරිඳව මතක තියාගන්න එක පිරිමියෙකුගේ යුතුකමක්…

Tharunie face book පිටුවෙන් උපුටා ගැනිණි






