2024 වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
විසින් නිකුත් කරනු ලැබ තිබේ.
මෙම සංගණනය ශ්‍රී ලංකාවේ පවත්වන ලද 15 වන ජන හා නිවාස සංගණනය වේ.
ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පදනමක් මත පවත්වන ලද පළමු ජන සංගණනය 1871 වසරේදී පවත්වා ඇති අතර එය දකුණු ආසියාවේ ද පළමු සංගණනය විය. 1871 වසරේ සිට 1990 දශකය හැර සෑම දශකයක් ම ආවරණය වන පරිදි ජන සංගණන පවත්වා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
15 වන සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සැලසුම් කළ ද 2020 හා 2021 වසරවලදී රට මුහුණ දුන් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංගණනය 2024 දක්වා කල් දැමිණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, අදියර 4ක් ලෙස පැවති නවතම සංගණනයේ මූලික සැලසුම් 2016 වසරේදී ආරම්භ කර ඇත.
සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට සංගණන කාණ්ඩ සිතියම් සකස් කිරීම ඩිජිටල් සිතියමක් ආකාරයෙන් සිදු කිරීම සහ පරිගණක ආධාරයෙන් සිදු කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මගින් තොරතුරු රැස් කිරීම මෙවර සංගණනයේ විශේෂත්වයක් වූ බව එම එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
තොරතුරු රැස් කිරීමේ කාර්යය සඳහා අධීක්ෂණ නිලධාරීන්, ටැබ්ලට් තාක්ෂණ නිලධාරීන්, ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු 40,000ක් පමණ සංගණන නිලධාරීන් සංඛ්‍යාවක් මෙවර සංගණනයට සම්බන්ධ වී තිබේ.
මේ, එම තොරතුරු පිළිබඳව බීබීසී සිංහල විසින් කරනු ලබන විමසා බැලීමකි.
ජනගහහන ව්‍යාප්තිය: ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800ක්
2024 ජන හා නිවාස සංගණනයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී තිබේ. අවසන් වරට පැවති, එනම් 2012 වසරේ සිදු කළ සංගණනයේදී වාර්තා වූ 20,359,439ක් වූ ජනගහනයට වඩා එය 1,422,361ක වර්ධනයක් පෙන්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.2012 ජන හා නිවාස සංගණනයේදී ශ්‍රී ලංකාව නාගරික, ග්‍රාමීය හා වතු යනුවෙන් අංශ තුනකට බෙදා දත්ත රැස් කර තිබේ. කෙසේ වෙතත්, 2024දී එය තවදුරටත් පුළුල් කර නාගරික, ග්‍රාමීය, වතු නාගරික සහ වතු ග්‍රාමීය ලෙස අංශ හතරකට බෙදා දත්ත රැස් කර ඇත.
ඒ අනුව, එම වර්ෂය හා සසඳන විට 2024 සංගණනයේදී ග්‍රාමීය අංශයේ 1,343,596ක ජනගහන වර්ධනයක් ද නාගරික අංශයේ 114,733ක ජනගහන වර්ධනයක් ද පෙන්නුම් කරන අතර වතු අංශයේ පමණක් 35,968ක අඩුවීමක් නිරීක්ෂණය වී තිබේ.
ස්ත්‍රී පුරුෂ සංයුතිය: ස්ත්‍රීන් සංඛ්‍යාව 757,112කින් ඉහළට
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ස්ත්‍රී පුරුෂ සංයුතිය යනු, ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය තුළ පුද්ගලයින් බෙදී ගොස් ඇති ආකාරයයි.
ඒ අනුව, මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 51.7%ක් ස්ත්‍රීන් වන අතර 48.3ක් පුරුෂයින් වේ.
2012 සංගණනය සමග සංසන්දනය කිරීමේදී මෙවර නාගරික හා ග්‍රාමීය අංශවල පුරුෂ ප්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබී ඇති අතර වතු අංශයේ වැඩි වීමක් දක්නට ලැබී ඇත.
2024 වසරේදී වැඩි ම ස්ත්‍රී ප්‍රතිශතයක් වාර්තා වන්නේ නාගරික අංශයෙන් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන පැවසීය.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ වැඩි දෙනා ස්ත්‍රීන් බව සංගණනයකදී ප්‍රථමයෙන් වාර්තා වූයේ 2001 ජන හා නිවාස සංගණනයේදී බව ය. එහිදී සංගණනය සම්පූර්ණයෙන් සිදු කරන ලද දිස්ත්‍රික්ක 18 ජනගහනයෙන් 50.2%ක් ස්ත්‍රීන් ලෙස වාර්තා වී ඇත.
එසේ වුව ද, 1981 වස ඊට පෙර ජන සංගණනවලදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනා පුරුෂයින් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව, 1981 සංගණනයේදී වාර්තා වී ඇති පුරුෂයින් ගණන එවකට රටේ මුළු ජනගහනයෙන් 51.0% වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන සඳහන් කළේ ය.පුමිතිරි අනුපාතය ඒකක 0.5කින් පහළට
‘පුමිතිරි අනුපාතය’ (ස්ත්‍රී පුරුෂ අනුපාතය) යනු, සෑම කාන්තාවන් 100 දෙනෙකුට ම සිටින පිරිමින් සංඛ්‍යාව වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන පවසන පරිදි එය වැදගත් ජන විකාශ දර්ශකයකි. එම අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගුකාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව, පුමිතිරි අනුපාතය 100ට වැඩි වන විට පුරුෂ සංඛ්‍යාව ස්ත්‍රී සංඛ්‍යාව අභිබවා යාමක් සහ 100ට අඩු වන විට ස්ත්‍රී සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව අභිබවා යාමක් පෙන්නුම් කෙරේ.
2012 සංගණනයේදී වාර්තා වී ඇති පුමිතිරි අනුපාතය 93.8 වන අතර 2024 සංගණනයේදී වාර්තා වී ඇති පුමිතිරි අනුපාතය 93.3කි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, ඒ අනුව 2012 සංගණනයේ සිට 2024 සංගණනය දක්වා එය ප්‍රතිශත ඒකක 0.5ක අඩුවීමක් පෙන්නුම් කරයි.
2024 සංගණනයේදී අනාවරණය වී ඇත්තේ, දිස්ත්‍රික්ක අනුව ගත් කල රටේ දිස්ත්‍රික්ක 25 ම පුමිතිරි අනුපාතය 100ට වඩා අඩු බව ය. එනම්, සෑම දිස්ත්‍රික්කයකින් ම කාන්තාවන් සංඛ්‍යාවට සාපේක්ෂව පිරිමින් අඩු සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
මෙවර සංගණනයේදී වැඩි ම පුමිතිරි අනුපාතයක් පෙන්නුම් කර ඇත්තේ, මොනරාගල දිස්ත්‍රික්කයෙනි. එම අනුපාතය 97.9ක් ලෙස සටහන් වී ඇත. දෙවනුවට වැඩි අගයක් එනම්, 97.3ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කර තිබේ.
අඩු ම පුමිතිරි අනුපාතය වාර්තා වී ඇත්තේ, නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එය 88.0ක් ලෙස සටහන් වී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2012 සංගණනය හා සැසඳීමේදී මෙවර මාතලේ, ගාල්ල, මාතර, යාපනය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පමණක් පුමිතිරි අනුපාතයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ය.
මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එම අනුපාතයේ වෙනසක් වී නොමැති අතර අනෙක් සියලු දිස්ත්‍රික්කවල අඩු වීමක් වාර්තා වී තිබේ.
2024 සංගණනයේ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය 93.3ක් වුව ද වයස් කාණ්ඩ අනුව පුමිතිරි අනුපාතය සැලකූ විට වයස අවුරුදු 0 සිට 19 අතර ඇති වයස් කාණ්ඩවල පුමිතිරි අනුපාතය 100ට වඩා ඉහළ අගයක් ගන්නා බව පෙනී යන්නේ යැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ය.
එසේ වුව ද අවුරුදු 40ට වැඩි සියලු ම වයස් කාණ්ඩ සඳහා, එනම් වයස්ගත වීමත් සමග පුමිතිරි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩය, අඩු ම පුමිතිරි අනුපාතය වන 69.8ක අගය පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
වයස් සංයුතිය හා යැපුම් අනුපාතය
* 2012 සංගණනය හා සසඳන විට 2024 සංගණනයේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට අඩු ජනගහනය 25.2% සිට 20.7% දක්වා ප්‍රතිශත ඒකක 4.5කින් අඩුවී ඇති බව නිරීක්ෂණය වී ඇති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
* තව ද වයස 65 හා ඊට වැඩි ජනගහනය 7.9% සිට 12.6% දක්වා ප්‍රතිශත එකක 4.7කින් වැඩි වී ඇති අතර රටේ වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ ප්‍රවණතාව තවදුරටත් මෙමගින් පැහැදිලි වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ය.කෙසේ වෙතත්, වැඩ කරන වයසේ ජනගහනය ලෙස හඳුනා ගන්නා වයස අවුරුදු 15-64 අතර ජනගහනය 2012-2024 සංගණන කාල පරිච්ඡේදය තුළදී 0.2%ක සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර එම වයස් කාණ්ඩයේ ජනගහනය තවදුරටත් සම්පූර්ණ ජනගහනයේ අතිබහුතරය බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ජනගහනය පිළිබඳ මූලික තොරතුරු වාර්තාවේ සඳහන් කර ඇත.
2012 සංගණනයේ 49.4%ක් ලෙස පැවති රටේ සමස්ත යැපුම් අනුපාතය 2024දී 49.8% දක්වා ඒකක 0.4කින් ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 15ට අඩු ළමා ජනගහන ප්‍රතිශතය 2012-2024 සංගණන කාලය තුළ අඩු වීම හා වයස්ගත ජනගහන ප්‍රතිශතය වැඩි වීම ද, වැඩ කරන ජනගහනයේ ප්‍රතිශතය සුළු අඩුවීමක් ද පෙන්වීම හේතුවෙන් රටේ සමස්ත යැපුම් අනුපාතයේ සුළු ඉහළ වීමක් පමණක් නිරීක්ෂණය වී ඇත.
වැඩි ම යැපුම් අනුපාතය වාර්තා වී ඇත්තේ මාතර (55%) දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් (43%) අඩු ම යැපුම් අනුපාතයක් වාර්තා වී තිබේ.
බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුන, උතුරු පළාතේ යාපනය හැර ඉතිරි සියලු ම දිස්ත්‍රික්ක, මඩකලපුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ශ්‍රී ලංකාවේ සමස්ත යැපුම් අනුපාතයට වඩා අඩු යැපුම් අනුපාතයක් පෙන්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ජනවර්ග අනුව සංයුතිය
* මෙවර සංගණනයෙන් රැස් කර ගත් තොරතුරුවලට අනුව, දිවයිනේ මුළු ජනගහනයෙන් 74.1%ක් එනම්, ජනගහනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් සිංහල වේ.
* තව ද මුළු ජනගහනයෙන් 12.3% ශ්‍රී ලංකා දෙමළ ද, 10.5%ක් ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ද, 2.8%ක් ඉන්දියානු දෙමළ / මලෙයියහ දෙමළ වන අතර තවත් 0.3%ක ජනගහන ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා චෙට්ටි, භාරත සහ වැදි ඇතුළු වෙනත් වර්ගවලට අයත් වූවෝ වෙති.
* සිංහල ජනගහන ප්‍රතිශතය 2012දී 74.9%ක්ව පැවති අතර 2024 වන විට එය 74.1% දක්වා ප්‍රතිශත ඒකක 0.8කින් අඩු වී තිබේ.
* ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2012දී 9.3% සිට 2024 වන විට 10.5% දක්වා ප්‍රතිශත ඒකක 1.2කින් වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
* ශ්‍රී ලංකා දෙමළ ජනගහන ප්‍රතිශතය 2012දී 11.1ක් ලෙස පැවති අතර 2024දී 12.3%ක් දක්වා ප්‍රතිශත ඒකක 1.2 කින් වැඩි වී තිබේ.
* ඉන්දියානු දෙමළ / මලෙයියහ දෙමළ ජනගහන ප්‍රතිශතය 2012දී 4.1% ලෙස පැවති අතර 2024දී 2.8% දක්වා ප්‍රතිශත ඒකක 1.3කින් අඩු වී තිබේ.
ජනවර්ග අතරින් 2012-2024 කාලය තුළ ජනගහනයේ වැඩි ම වර්ධන වේගය පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහි වර්ධන වේගය 1.5 රටේ මුළු ජනගහන වර්ධන වේගය මෙන් තුන් ගුණයකි. ඉන් අනතුරුව වැඩි වර්ධන වේගයක් පෙන්නුම් කර ඇත්තේ, ශ්‍රී ලංකා දෙමළ ජනගහනයේ ය. 2012-2024 කාලය තුළ එහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 1.3%කි.
2012-2024 කාලය තුළ සිංහල ජනගහනයෙහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.4%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුරු හා නැගෙනහිර පළාත්වල සියලු ම දිස්ත්‍රික්කවල සහ මාධ්‍යම පළාතේ නුවරඑළිය හැරුණු විට අනෙකුත් සියලු ම දිස්ත්‍රික්කවල ජනගහනයෙන් 70%කට වඩා සිංහල බව ය.
මේ අතර, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 69.8%ක් බෞද්ධයන් වන අතර 12.6%ක් හින්දු, 10.7ක් ඉස්ලාම්, 5.6%ක් රෝමානු කතෝලික සහ 1.3%ක් වෙනත් ක්‍රිස්තියානි බව 2024 නවතම සංගණනයෙන් හෙළි වී තිබේ.
| බීබීසී සිංහල




