ගෝවින්දන්; වතුකරේ පළමු පොලිස් දඩයම | ඉෂංඛා සිංහආරච්චි

    0
    27

    (මුල්ඔය වතු අරගලයේදී පොලිස් වෙඩි පහරින් මරා දැමූ කම්කරුවාගේ අසු පස් වැනි ස්මරණය)

    40 දශකය උදා වන්නේ වතු කම්කරුවන්ගේ සටන්කාමි අරගලයන්ගෙන් පිරි දශකයක් ලෙසය. මෙරට කම්කරු ඉතිහාසයේ අරගලයකදී පොලිස් වෙඩි පහරින් මරා දැමුණු පළමු වතු කම්කරුවා ලෙස සනිටුහන් වන්නේ මුල්ඔය වත්තේ ගෝවින්දන් ය.

    1940 ජනවාරි 10 වැනිදා හේවාහැට, මුල්ඔය වත්තේදී ගෝවින්දන් මරා දමා මේ වන විට අසූපස් වසකි.

    බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් අර්ධ වහලුන් ලෙස, දකුණු දිග ඉන්දියාවේ සිට වතු කම්කරුවන් මෙරටට රැගෙන විත් සියවස් දෙකක් ඉක්මවා ඇත. ඔවුන්ගේ පැමිණීමත් සමගින් මෙරටේ වැඩ කරන කම්කරු පන්තියක් බිහිවූ අතර ඔව්හු ශ්‍රම සූරාකෑම, ලිංගික සූරාකෑම, වර්ගවාදී ප්‍රචණ්ඩත්වය, නොසලකා හැරීමට එරෙහිව ඉකුත් දෙසිය වස පුරාම සිය අයිතීන් වෙනුවෙන් නොනිමි අරගලයක නිරත වුහ. මුල්ඔය සටන ඒ සටන්කාමී ඉතිහාසයේ එක් පරිච්ජේදයකි.

    This image has an empty alt attribute; its file name is image-204.png

    ජෙගනාදන්ගේ ස්ථාන මාරුව

    වත්තේ කම්කරුවකුවූ ජෙගනාදන් නොහොත් සිවනාදන් සිය විවේකී කාලය තුළ ගුරුවරයෙකු ලෙස වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම ක්‍රියා කළේ ස්වෙච්ජාවෙනි. ඔහුගේ දැනුවත් කිරීම මත කම්කරුවෝ ලංකා සමසමාජ පක්ෂයට අයත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය වෙත බැඳෙන්නට වූහ. ජෙගනාදන්ගේ මෙම වැඩ පිළිවෙල නොරිස්සු වතු අධිකාරි ඩබ්ලිව්.ඊ. ස්පාලින් විසින් 1939 දෙසැම්බර් අවසන් සතියේ දිනෙක හදිසියේම ඔහුගේ බිරිඳත් සමගින් වැඩ කරමින් සිටි වත්තේ මැදි කොටසින් පහළ කොටසකට මාරු කෙරුණි.

    වතු හිමියාගේ මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව කම්කරුවන් විරෝධය දැක්වුවද ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකළ ඔහු සිය ස්ථාවරය කිසි ලෙසකින් වෙනස් කරන්නට සුදානම් නොවිණි.

    1940 නව වසර උදා වන්නේ මුල්ඔය කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් වතු අදිකාරී ස්පාලින් වෙත ඉදිරිපත් කිරීමත් සමගිනි. ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව අවලංගු කිරීමටත්, ඒ වන විට ශත 40 ක්වූ දෛනික වැටුප ශත 16 කින් වැඩි කිරීමටත් ඒ ඉල්ලීම් මගින් බලකර තිබිණ. එහෙත් එකී ඉල්ලීම් සම්බන්ධයෙන් කම්කරුවන් සමග සාකච්ජා කිරීමට පවා මනාප නොවූ වතු අධිකාරි ස්පාලින් පොලීසිය මැදිහත් කරමින් වර්ජනය මැඩ පැවැත්වීමට උත්සාහ දැරීය.

    වේලුසාමි අත්අඩංගුවට

    This image has an empty alt attribute; its file name is image-206.png


    ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ, මහනුවර දිසා ලේකම් පී. එම්. වේලුසාමි ජනවාරි 02 වැනිදා මුල්ඔය වතු කම්කරුවන්ගේ සහායට පැමිණියේ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටය. කම්කරුවන් සටන් පාඨ කියමින් හඬ නැගු අතර වේලුසාමි වත්තේ කොටසින් කොටස ගොස් සෙසු කම්කරුවන් දැනුවත් කරන්නට විය. වත්තට කැඳවා තිබු පොලිස් ඛණ්ඩය මෙහෙයවූ සාජන් ඩි.ජි සුරවීර සහකාර වතු අධිකාරිගෙන් ඉල්ලා සිටියේ වේලුසාමිව වත්තෙන් පිටමං කරන ලෙසය. එහෙත් එය සාර්ථක නොවිණි. තත්වය පාලනය කර දෙන ලෙස ඉල්ලා වතු අධිකාරි ස්පාලින් විසින් මධ්‍යම පළාතේ පොලිස් සුපරින්ටන්ඩන් රොබින්සන් වෙත පණිවිඩ යවන්නේ ඉන් අනතුරුවයි.

    “මහනුවර රජ විදියේ පිහිටි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ දිසා ලේකම් පී.එම්. වේලුසාමි පැමිණ 200ක් පමණ වන වර්ජකයන් සමග මුල්ඔය වත්ත වටේ යමින් කම්කරුවන්ට දේශනා පවත්වමින් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටී. කම්කරුවන් ද ඊට සහාය දක්වයි. මේ නිසා වර්ජකයන් හා වැඩ කරන පාර්ශවය අතර ගැටුමක් ඇතිවිය හැකි බවට මා විශ්වාස කරමි. මෙහි තත්වය බරපතල විය හැක. නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමි.

    පොලිස්පති හා කම්කරු පාලක දැනුවත් කළ මධ්‍යම පළාතේ පොලිස් බලධාරී රොබින්සන් විසින් වේලුසාමි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ගලහ පොලිසියේ බල ඇණි කිහිපයක් මුල්ඔය වත්තට පිටත් කර හැරිය. අක්කර 1,413 ක් වූ මුල්ඔය වත්ත පිරූ පොලිසිය සවස 4.15 ට පමණ කම්කරුවන් සමග සාකච්ජා කරමින් සිටි වේලුසාමි අත්අඩංගුවට ගත්හ.

    කුලී කම්කරුවන් හා පොලිස් මර්දනය

    පොලිස් බලපෑම නොකඩවා එල්ල වුවද වතු කම්කරුවන් වර්ජනය අත් හරින්නට සුදානම් නොවුණු අතර ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඔවුහු සුදානම් වුහ.

    වේලුසාමි අත්අඩංගුවට ගැනීමට එරෙහිව රහතුන්ගොඩ බසාර් හි සංවිධානය කළ සම සමාජ පක්ෂයේ රැස්වීම ගැන කළබල වූ මුල්ඔය වතු අධිකාරි ස්පාලින් සහ රහතුන්ගොඩ වත්තේ හිමිකරු ඕ’නෙල් පොලිස් අධිකාරි රොබින්සන්ගේ පිහිට පැතීය. වහා ක්‍රියාත්මක වූ රොබින්සන් මහනුවර මහේස්ත්‍රාත්, මධ්‍යම පළාත් ආණ්ඩුවේ ඒජන්ත හා පොලිස්පති දැනුවත් කරමින් සම සමාජ රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නට උත්සුක විය.


    මේ අතර මුල්ඔය කම්කරුවන්ගේ වර්ජනය කඩාකප්පල් කරන්නට වතු අධිකාරිට සහාය වෙමින් දේශපාලන මැදිහත් වීමක් කරමින් වර්ජකයන් වෙනුවට තම ආධාරකරුවන් කුලී කම්කරුවන් ලෙස සැපයු නුවරඑලියේ රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර ද පොලිස් බලධාරීන්ට දන්වා සිටියේ කම්කරුවන් සිය ගණනක් වර්ජනයේ නිරතව දිනපතා රැස්වීම් පැවැත්වීම නිසා බරපතල කළ කෝලාහල සහ ලේ වැගිරීම් ඇතිවිය හැකි බවය. කාලෝචිත පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටී අබේගුණසේකර ඒ වෙනුවෙන් සැම සහායක්ම ලබා දෙන බවට ද සහතික වී ඇත.

    පොලිස් අධිකාරි විසින් සම සමාජ රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා ආයුධ සන්නද්ධ තිස් දෙනෙකුගෙන් යුත් පොලිස් බල ඇණියක් උප පොලිස් පරීක්ෂකයෙකු යටතේ රහතුන්ගොඩ බසාර් හි රඳවන ලදී. ඒ සමගින් කම්කරුවන් බියවැද්දීමට සිංහල, දෙමළ ඉංග්‍රීසි බසින් මුද්‍රිත පොලිස් නිවේදනයක් ද මුල්ඔය සහ ඒ අවට වතුවල ද ප්‍රදර්ශනය කෙරිණි.

    කිසියම් පොදු මාර්ගයකදී පුද්ගලයෙකුට අනතුරක්, බාධාවක් හෝ තුවාලයක් සිදු කරන ඕනෑම අයෙකු වහාම අත්අඩංගුවට ගැනීමට යටත් වන අතර, වැරදිකරු වූ විට දඩය රු. 100 කි. (276 වගන්තිය, ලංකා දණ්ඩ නීති සංග්‍රහය).

    අනතුරු ඇඟවීමේ චේතනාවෙන් පුද්ගලකුට තුවාල කිරීම හෝ ඔහුගේ දේපළට යම් හානියක් සිදු වන බවට වෙනත් අයෙකුට තර්ජනය කරන හෝ එම පුද්ගලයාට නීත්‍යානුකූලව කළ හැකි ඕනෑම ක්‍රියාවක් කිරීමට එම පුද්ගලයාට ඉඩ නොතබන ලෙසට තර්ජනය කරන්නේ නම්, ඔහු නඩු පැවරීමට සහ වරදකරු වීම මත වසර දෙකක් දක්වා දිගු කළ හැකි සිර දඬුවම් නියම කළ හැකිය. (486 වගන්තිය, ලංකා දණ්ඩ නීති සංග්‍රහය).

    ඕනෑම ස්ථානයක වැසියන් බිය ගැන්වීමේ අරමුණින් අසත්‍ය වාර්තා පතුරුවා හරින සහ භීතියක් ඇති කරන, ඕනෑම පුද්ගලයෙකු වැරදිකරු වන අතර රුපියල් 200 නොඉක්මවන දඩයකට හෝ මාස දොළහකට නොවැඩි කාලයක් සිරගත කිරීමකට යටත්විය යුතුය.. (පොලිස් ආඥාපනතේ 93 වගන්තිය).

    සිවිල් ව්‍යාකූලතාවක් ඇති අවස්ථාවක සමූහයක් තුළ හෝ නිෂ්ක්‍රීය නරඹන්නෙකු ලෙස වුවද ඒ අසල රැඳී සිටින ඕනෑම අයෙක්ට එසේ කිරීමෙන් තමාට ඉතා බරපතල අවදානමක් ඇතිව බව සියලුම මහජන සාමාජිකයින්ට අනතුරු අඟවනු ලැබේ.


    වේලුසාමි හිරේට – වර්ජනයට ඉදිරියට

    මර්දන බලපෑම් හමුවේ වුවද වර්ජනය අඛණ්ඩව ඉදිරියට ඇදුනු අතර දින පහක් ගෙවීගිය තැන ජනවාරි 06 වැනිදා රහතුන්ගොඩ බසාර් හි පැවති සමසාමාජ පක්ෂය කැඳවූ රැස්වීමෙන් අනතුරුව වර්ජකයන්ට සහල් බෙදා දුන් අතර ජනවාරි 07 වැනිදා යළිත් මුල්ඔය ට සැතපුම් හයක් ඔබ්බෙන් පිහිටි කටුගස්හින්න වත්තේදී වර්ජකයන්ට වියළි ආහාර බෙදා දීමට අවට ගම්වාසී සමසමාජ පාක්ෂිකයෝ මැදිහත් වූහ. මින් කෝපයට පත් වතු අධිකාරිවරයා සිය හෙන්චයියන් ලවා කම්කරුවන් බිය වැද්දීමටත්, රැස්වීම් සඳහා පැමිණෙන සම සමාජ නායකයන්ගේ වාහන වලට පහර දීමටත් ක්‍රියා කරන ලද්දේ වර්ජනය පැතිර යාම වළක්වා ගැනීමේ අරමුනු ඇතිවය.

    වේලුසාමිට එරෙහිව සාක්ෂි ලබා දීමේ අරමුනෙන් වතු අධිකාරි ස්පාලින් ජනවාරි 8 වැනිදා මහනුවර බලා පිටත්විනි. සාක්ෂ විමසා බැලු මහනුවර මහේස්ත්‍රාත් එම්.සී සන්සෝනි කම්කරුවන් වර්ජනයට පෙළඹවීම සහ බලහත්කාරී ඇතුල්වීම චෝදනා වෙනුවෙන් වේලුසාමිට බරපතල වැඩ සහිත තුන් මාසයක සිර දඬුවමක් නියම කරනු ලැබුණි.

    එහෙත් එකී තීන්දුව වතු කම්කරුවන්ගේ වර්ජනය උත්සන්න කිරීමට තව දුරටත් ඉවහල් වූයේය. වර්ජනය අනෙකුත් වතු කරා ද පැතිර යාමට ඇති අවදානම ගැන බිය වූ අනෙකුත් වතු හිමියන් හා යටත්විජිත පාලකයන් කම්කරු වර්ජනය කෙසේ හෝ මුල්ඔයෙන් නිමා කිරීම සඳහා පොලිසියට අතිරේක බලතල පැවරීමට කටයුතු කළහ.

    තාවකාලික කම්කරුවන් ලෙසින් මුල්ඔය වත්තට එවනු ලැබූ මන්ත්‍රී අබේගුනසේකරගේ ආධාරකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ මුල්ඔය තේ කර්මාන්ත ශාලාව වෙත ලොරි මගින් ප්‍රවාහනය කෙරුණි.

    මෙසේ වැඩ වර්ජිත කම්කරුවන් හා අබේගුණසේකරගේ හෙන්ච්චයියන් අතර ගැටුම් ඇතිවීමට පසුබිම නිර්මාණය විය. පොලු මුගුරු රැගෙන විරෝධය දැක්වූ මුල්ඔය කම්කරුවන් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළේ ඔවුන් අත තිබු පොලු මුගුරු සියල්ල සිය බාරයට ගනිමින්ය.

    යළි සංවිධානය වී පැමිණි කම්කරු පිරිස් පොලිසිය පැහැරගත් පොලු, මුගුරු සියල්ල නැවතත් ඔවුන් වෙත ලබා ගැනීමට සමත් වීමත් සමගින් කුපිත වූ පොලිසිය අමතර බලඇණි ද කැඳවා මුල්ඔය වත්ත පීරා කම්කරුවන් දඩයම් කිරීමට පටන්ගත්තේය.

    කම්කරුවන්ගේ කෝපය උත්සන්න වුයේ අධික වේගයෙන් ධාවනය වූ පොලිස් ජීප් රථයකට අටේ ලයින් කාමරය අසලදී පෙරියසාමි නම් කම්කරුවා යට වී අනතුරට පත් වීමත් සමගය. ගල් පෙරලා දමා මාර්ග අවහිර කරමින් පොලිසිය වෙත සිය විරෝධය දක්වන්නට වූ කම්කරුවෝ කර්මාන්ත ශාලාව අසළට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෝය.

    ගෝවින්දන් ට ගිණි බිඳීම

    කර්මාන්ත ශාලාවට ඉදිරියෙන් අඩි 20 ක පමණ දුරක සිට එල්ල කළ පොලිස් සැරයන් ඩි.ජි සුරවීරගේ රයිෆල් උණ්ඩය, කර්මාන්ත ශාලාව දෙසින් වූ බෑවුමේ පහලට බසිමින් සිටි පිරිස අතර වූ ගෝවින්දන්ගේ හිස පසාරු කොට ඉගිළ ගියේය. ගෝවින්දන් ඇද වැටිණ. කම්කරුවෝ හිස් ලු ලු අත දුවන්නට වූහ. සැරයන් සුරවීර ඒ සැණින්ම පොලිස් ජීප් රථයක නැගී මුල්ඔය වත්තෙන් පලා ගියේය. ලයින් පේලි අංක 8 අසල මාර්ගයේ සෙල්ලම් කරමින් සිටී ගෝවින්දන්ගේ දොළොස් හැවිරිදි සොහොයුරු රාමයියා, ගෝවින්දන්ගේ බිරිඳට සහ මව ලෙච්චිමීට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ආරංචිය දන්වන විටත් වෙඩි වැදී ඇද වැටුණු ගෝවින්දන් මිය ගොස්ය.

    මාස කිහිපයක ඇවෑමෙන් ගෝවින්දන්ගේ ඝාතනය ගැන විමර්ශනයට පත් කළ මුල්ඔය කොමිසම රාමයියා ගේ සාක්‍ෂිය මෙසේ සටහන් කර ඇත.

    “ ජනවාරි 10 වැනිදා උදේ ලයින් කාමර පේලි 08 ඉදිරි පිට මාර්ගයේ ලයින් කාමර පේලි 07 ට සහ 06 ට ඔබ්බෙන් රාමයියා සෙල්ලම් කරමින් සිටින විට කර්මාන්ත ශාලාව දෙසින් ලොරියක් සහ මෝටර් රථ දෙකක් ඔහු පසුකර කන්ද නගිනවා දැක තිබේ. මෝටර් රථ තුළ තුවක්කු රැගත් පොලිස් නිලධාරින් සිටී එම වාහන පැයකට පමණ පසු ආපසු එනු ඔහු දැක ඇත.

    ලොරිය මුලින්ම පල්ලම බසින විට අංක 8 ලයින් කාමර ඉදිරිපිට මාර්ගය අසල තමන් සිටගෙන සිටි බවත්, ඒ අවස්ථාවේ 25 ක
    පමණ පිරිසක් මාර්ගය අසල සිටී අතර ඉන් බොහොමයක් දෙනා කාන්තාවන් සහ ළමුන් බව රාමයියා පවසයි.

    ලොරිය එම ලයින් කාමර අසල වංගුවෙන් යද්දී, අංක 7 ලයින් කාමර පේළියේ සිට අංක 8 කාමර පේලිය දෙසට යනවා දුටු පෙරියසාමි පසුව ඔහු පසුකර වංගුව දෙසට ඉහළට ගොස් ඇත. මිනිත්තු කිහිපයකට පසු කන්දෙන් බැස පාර දිගේ මෝටර් රථ දෙකක් එනු දුටු බැවින් ඔහු ආපසු හැරී හඬ නගා කිවේ “අයියා කාර් එනවා.උන් ඔයාව යට කරාවි. පැත්තකට වෙන්න’’ එසේ පවසන විටම වංගුවෙන් පාර මාරුවීමට උත්සාහ කළ පෙරියසාමි පළමු මෝටර් රථයෙ ගැටී බිම ඇද වැටි ඇත.

    දෙවන මෝටර් රථය ඔහු දෙසට ඉතාමත් ආසන්නව ධාවනය වෙමින් තිබුණු අතර පළමු මෝටර් රථයට වඩා එය යාර දහයක් පිටු පසින් විය. රාමයියා හඬා වැටෙමින් උන් එයාව මරා දමන්න හදන්නේ යැයි හඬ ගෑමත් සමග එහි සිටී පිරිස ද කෑගසන්නට වූ අතර ඇතැමුන් පෙරියසාමි දෙසට දිව ගිය අතර අනෙක් අය මෝටර් රථය නවත්වන ලෙස ඉල්ලා එය පිටුපසින් දිව ගොස් ඇත.

    මද දුරක් ගිය පසු මෝටර් රථ නතර කළ විට නිල ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරියෙක් තුවක්කුවක් අතැතිව ඉන් පිටතට පැමිණ දණ නමා කම්හල දෙසින් පාර දිගේ එමින් සිටි තම සොහොයුරා වන ගෝවින්දන්ට වෙඩි තැබුවත්, තම සහෝදරයා බිම වැටුණු බවත් රාමයියා පවසයි.

    වෙඩි තැබු පොලිස් නිලධාරියා මෝටර් රථයේ නැග පළා ගිය අතර සෙසු මෝටර් රථය ද ඒ පසුපස වේගයෙන් ධාවනය කර ඇත. එහි රැස්ව සිටී පිරිස ද පැන ගිය අතර රාමයියා සිදුවූ දේ ඔහුගේ මව වූ ලෙච්චමී ට සැල කිරීමෙන් අනතුරුව දෙදෙනා යළි එම ස්ථානයට පැමිණෙන විට ගෝවින්දන් බිම ඇද වැටි සිටිනු දැක ඇත.

    ගෝවින්දන්ට වෙඩි තබා මරා දැමීම, පෙරියසාමි වාහනයට යටකර මරා දැමීමට උත්සහා දැරීම,[ වෛද්‍ය වැන්කියුලර්බර්ග් ගේ වාර්තාවන්ට අනුව පෙරියසාමිගේ සිරුරේ 14 පොලකට තුවාල සිදුව තිබේ.] සහ පෙරුමාල් කුමාරස්වාමි, වීරන්, ආරුමුගම්, කිට්නන්, සෙල්ලමුත්තු, පුවන් සහ පට්ටන් යන මුල්ඔය වතු කම්කරුවන් හත් දෙනා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සටන කඩාකප්පල් කරන්නට හැකි සෑම පියවරක් ගෙන තිබිණි.

    ඇමැති මඩුල්ලේ විරෝධය 

    ඩි. බාරොන් ජයතිලක

    එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ ඩි. බාරොන් ජයතිලක විසින් තමන්ගේ ඇමැති කමිටුව හරහා ගෝවින්දන් වෙඩි තබා මරා දැමීම ගැන විභාගයක් පවත්වන්නට තීරණය කිරීමත් සමග අර්බුදය තවත් උත්සන්න විය.

    නිදහසට කරුණු දැක්වූ පොලිසිය ගෝවින්දන් ආයුධ සන්නද්ධ කම්කරු කල්ලියේ ප්‍රධානියෙකු බවත්, ඔහු විසින් වැඩ කරමින් සිටී කම්කරුවන් බලහත්කාරයෙන් සිරකර තබා ගැටුම් නිර්මාණයට මග සැලසු බවටත් අභූත චෝදනා කළේය.

    ඇන්ඩෘ කැල්ඩිකොට්

    ස්වදේශී කටයුතු ඇමැති ජයතිලකට චෝදනා කරමින් පොලිසිය වෙත සහයෝගය පළ ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩිකොට්ට එරෙහිව ඇමැති මඩුල්ල එක් වර ඉල්ලා අස්වීමත් සමග ගොවින්දන්ගේ මරණය ආණ්ඩුවේ අර්බුදයක් කරා දිග් ගැස්සිණි.

    ජි .ජි .පොන්නම්බලම්

    පේදුරුතුඩුව රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත ජී. ජී. පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට කරනු ලැබූ යෝජනාවකට අනුව මුල්ඔය පොලිස් වෙඩි තැබීම ගැන තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවසානයේ ආණ්ඩුකාරයා එකඟ විය.


    මුල්ඔය කොමිසම හා පොලීසිය


    1940 පෙබරවාරි 02 වැනිදා චින්නප්පා කුමාරස්වාමිගේ ප්‍රධානත්වයෙන් මුල්ඔය වෙඩි තැබීම ගැන සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් පත් කළ කොමිසම මගින් අධිකරණයේදී සාක්ෂි ලබා දුන් සියළුම සාක්ෂිකරුවන් කැඳවන ලදී.

    ජී.ජී. පොන්නම්බලම්, පෙරිය සුන්දරම්, ඒ.ඩි.ජේ. ගුණවර්ධන, සී.ආර්. මෝතා, සී.එම්. නාහිම් සහ එස්.තංගරාජා ඇතුළු නීතිවේදීන් ගෝවින්දන්ගේ මව ලෙච්චමී වෙනුවෙනුත්, කොල්වින් ආර් ද සිල්වා, එච්.ඒ. සී වික්‍රමරත්න සහ වර්නන් ගුණසේකර නීතිවේදීන් ගෝවින්දන් ගේ බිරිය වෙනුවෙනුත්, නීතිඥ ඊ.ජී. ජෝන්ක්ලාස් ගෝවින්දන් වෙඩිතබා මරා දැමූ පොලිස් සැරයන් ඩි.ජි. සුරවීර වෙනුවෙනුත් පෙනී සිටියහ.

    This image has an empty alt attribute; its file name is image-215.png
    කොල්වින් ආර් ද සිල්වා



    මහනුවර නගර ශාලාවට රැස්වූ මුල්ඔය කොමිසම මුලින්ම සාක්ෂි විමසීම ඇරඹියේ නීතිඥ ඊ.ජි. ජෝන්ක්ලාස්ගේ ඉල්ලීම පරිදි සැරයන් සුරවිරගෙනි.

    මේ වෙලාවේ ඔවුන් ඉදිරියට ඇවිත් අපිට ගල් ගැව්වා. අඩි 15ක් 20ක් දුර ඉදිරියට ආවා. මිය ගිය ගෝවින්දන් එක් අතකින් පිහියක් ද අනිත් අතින් මුගුරක් ද රැගෙන ඔවුන්ගේ නායකයා ලෙසින් ඉදිරියෙන්ම පැමිණියා. එයා අත් දෙක උස්සලා කණ්ඩායමට කිව්වා අපිව මරන්න කියලා. මම ඔහුට වෙඩි තිබ්බා. අනුකම්පා විරහිතව සැරයන් සුරවීර කොමිසම හමුවේ පැවසීය.

    ගෝවින්දන් ගේ පාර්ශවය වෙනුවෙන් සාක්ෂි කරුවන් ලබා දුන් සාක්ෂි ගෝවින්දන් මරා දැමීම අයුක්ති සහගත බවට තීරණය කරන්නට ප්‍රමාණවත් වුවද, පොලිස් වෙඩි තැබීම යහපත් චේතනාවෙන් යුතුව පුද්ගල හා දේපල ආරක්ෂාව වෙනුවෙන්, හදිසි බිය නිසා ක්ෂණිකව ගත් වැරදි තීරණයක් බවට චින්නප්පා කුමාරස්වාමි කොමසාරිස්වරයාගේ නිගමනය විය. ඒ අනුව පාලකයන්ගෙන් පොලිස් සැරයන් සුරවීර ට උසස් වීම් ඇතුළු මහත් ප්‍රසංශා ලැබිණි.

    ඉල්ලීම් දිනා ගනිමින් මුල්ඔය කම්කරුවන් ජයග්‍රහණයක් ලැබුවද, අවසානයේ ගෝවින්දන්ගේ පවුලේ සාමාජිකයෝ යළි ඉන්දියාව බලා පිටත්ව ගියේ ගෝවින්දන් ගේ මතකය පමණක් ඉතිරි කරමින්ය.

    (සටහන | ඉෂංඛා සිංහආරච්චි) 
    නිදහස්  මාධ්‍යවේදිනි
    [email protected]

    [මෙම ලිපිය ‘අනිද්දා’ සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here