තාක්ෂණය භාවිතයෙන් කතුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගමු

    0
    19

    මොහොතකට, ඔබගේ දර්ශන ඩිජිටල් තාක්ෂණික මෙවලම් ආධාරයෙන් වෙනස් කොට විකෘති කරන ලද අන්තර්ගතයක් අන්තර්ජාලය පුරා විසිරී ඇති බව සොයාගැනීමට හැකිවුවහොත් ඔබට දැනෙන කම්පනය ගැන සිතා බලන්න.

    මේවා හුදෙක් උපකල්පිත අවස්ථාවන් නොවේ. මේවා අද ඩිජිටල් ලෝකයේ සැරිසරන දහස් සංඛ්‍යාත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අත්විදීමට සිදුවන අවාසනාවන්ත ඉරණමකි.

    තාක්ෂණයත් සමග ඉදිරියට යන ලෝකය තුල, ඩිජිටල් ලෝකය සැමට ආරක්ෂිත අවකාශයක් විය යුතු ය. ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගා, කාන්තාවන්ට එරෙහි තාක්ෂණයෙන් පහසුකම් සපයන ප්‍රචණ්ඩත්වය දුරලන ආකාරය පිළිබඳව මෙම ලිපිය තුලින් විමසා බලමු.

    තාක්ෂණයෙන් පහසුකම් සපයන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය

    තාක්ෂණයෙන් පහසුකම් සපයන ලද ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් හෝ වෙනත් ඩිජිටල් මෙවලම් භාවිතයෙන් සිදු කළ, සහාය වූ, උග්‍ර කළ හෝ විස්තාරණය කළ: ශාරීරික, ලිංගික, මානසික, සමාජීය, දේශපාලනික හෝ ආර්ථික හානියක් හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතු වන හෝ ඇති කිරීමට ඉඩ ඇති ඕනෑම ක්‍රියාවකි.

    තාක්ෂණික විප්ලවය තුළ දැනට පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ විවිධ ආකාරවලට අමතරව ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සිදු කරන අනවසරයෙන් ඇතුළු වී පෞද්ගලික තොරතුරු සොරාගැනීම, වීඩීයෝ සහ රූප ආශ්‍රයෙන් සංස්කරණය කළ අපයෝජන නිර්මාණ, සයිබර් හිරිහැර කිරීම, සාවද්‍ය පුවත් සංස්කරණය මඟින් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීම යනාදි විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්ව කාන්තාවන් ඉලක්කගත කර ඩිජිටල් අවකාශය තුළ සිදුවන බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ.

    ලෝකය තුළ තාක්ෂණය භාවිතා කර සිදු කරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අත්විදින කාන්තාවන් සහ ගැහැනු ළමයින් පිළිබඳ දත්ත විකාශණය


    ලොව පුරා සිදු කළ අධ්‍යයන පර්යේෂණවලින් පෙනී යන්නේ කාන්තාවන්ගෙන් 16%-58%ත් අතර ප්‍රමාණයක් මෙවැනි ප්‍රචණ්ඩත්වයට මුහුණ පා ඇති බවයි. (එක්සත් ජාතීන්ගේ, කාන්තාවන් පිළිබඳ වූ කාර්යාලය).

    තව ද ලෝකයේ විවිධ කලාපවලින් ලබාගත් තොරතුරු මගින් තහවුරු වන්නේ තාක්ෂණයෙන් පහසුකම් සැපයූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලොව සෑම තැනක ම සිදුවන බවයි.

    මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ වාර්තාවකට අනුව ප්‍රධාන අභියෝග 3ක්  හදුනාගෙන ඇත. ඒවා නම්:


    *කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව ගොඩ නැගෙන විරෝධය,

    *කෘතීම බුද්ධියේ (AI) වේගවත් වර්ධනය සහ මනෝගෝලයේ ප්‍රසාරණය තුළින් ප්‍රධාන ධාරාවේ කාන්තාවන්ට එරෙහි මහජන ආකල්ප හැඩගස්වන සහ

    *ප්‍රචණ්ඩත්වයට හේතුවන ස්ත්‍රී විරෝධී අන්තර්ගත්යෙන් යුතු පරිසරයක් නිර්මාණය වීමයි.

    සුලභව සිදුවන තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ විවිධ ආකාර

    ඩිජිටල් අවකාශ තුළ සිදුවන ලිංගික හිරිහැර සහ ලුහුබැඳීම් යනු කාන්තාවන් සහ ගැහැනු ළමයින් විසින් අත්විඳින ලද, තාක්ෂණයෙන් පහසුකම් සපයන ලද ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන ආකාර වේ.

    රූප මත පදනම් වූ අපයෝජන, අනුමැතියකින් තොරව පෞද්ගලික ඡායාරූප බෙදාගැනීම, අනවශ්‍ය පණිවිඩ, සමාජ මාධ්‍ය සටහන් සහ දුරකතන ඇමතුම් මගින් සිදුකරන ලිංගික අල්ලස් සහ බලපෑම්ද   මෙම තාක්ෂණයෙන් පහසුකම් සැපයූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ අනෙකුත් පැතිකඩ වේ.

    තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සඳහා හඳුනාගෙන ඇති අවදානම් කණ්ඩායම්

    තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින්

    ඉගෙනීමේ කටයුතුවලට, සමවයසේ මිතුරන් සමග සම්බන්ධ වීමට සහ විවිධ තොරතුරු ප්‍රවේශයට ගැහැනු ළමයින් සහ තරුණ කාන්තාවන් වැඩි වශයෙන් අන්තර්ජාලය සහ අනෙකුත් තාක්ෂණික මෘදුකාංග භාවිතා කරන බැවින් ඔවුන් මේ සඳහා වැඩි අවධානමකට මුහුණ දෙයි.

    ගෝලීය අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ තරුණ කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ 58%ක් යම් ආකාරයක හෝ මාර්ගගත හිරිහැරයකට මුහුණ දී ඇති බවයි.

    බහුවිධ වෙනස්කොට සැලකීම්වලට මුහුණදෙන කාන්තාවන්

    ආබාධ සහිත කාන්තාවන්, ආදිවාසී කාන්තාවන්, කළු සහ අනෙකුත් වර්ණ කාන්තාවන් සහ සංක්‍රමණික කාන්තාවන් ඩිජිටල් අවකාශය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වයේ ඉහල අවධානමකට මුහුණ දෙයි.

    දේශපාලනයේ සහ පොදු කටයුතුවල නිරතවෙන කාන්තාවන්

    මාධ්‍යවේදිනියන්, දේශපාලනයේ නිරතවන කාන්තාවන්, මානව හිමිකම් ආරක්ෂකයින්, ක්‍රියාකාරනියන් සහ රංගන ක්ෂේත්‍රයේ නියැළෙන කාන්තාවන් මෙම ප්‍රචණ්ඩත්වයට වැඩි වශයෙන් මුහුණදෙයි. යුනෙස්කෝ අධ්‍යයනයකින් හෙළි වූයේ කාන්තා මාද්‍යවේදීන්ගෙන් 73%ක් තම වෘත්තිය අතරතුර මාර්ගගත ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බවයි.

    තාක්ෂණය භාවිතා කර සිදුකරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

    *  කාන්තාවන් ආරක්ෂා කිරීම සහ ප්‍රචණ්ඩත්වයේ මුල් අවධි ඇතිවීම වැළැක්වීම සඳහා  ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට, රජය, තාක්ෂණික අංශ, සිවිල් සමාජය සහ කාන්තා අයිතිවාසිකම් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

    * මෙවැනි ප්‍රචණ්ඩත්වයට හේතු, අපරාධකරුවන්ගේ පැතිකඩ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම සහ වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ උත්සාහ දැනුම් දීම සඳහා වන දත්තවල පවතින අඩුපාඩු ආමන්ත්‍රණය කිරීම.

    * ඩිජිටල් වේදිකා හරහා දත්ත භාවිතය පිළිබඳ විනිවිදභාවය සහ වගවීමේ ප්‍රමිති ස්ථාපනය කිරීමෙන් තාක්ෂණික කර්මාන්තය පවත්වාගැනීම.

    * තාක්ෂණය භාවිතයෙන් සිදු කරන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විධිමත් නීති සහ රෙගුලාසි සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම.

    * ප්‍රචණ්ඩත්වයෙන් තොර ආරක්ෂිත ඩිජිටල් මෙවලම් සහ අවකාශ සැලසුම් කිරීම සහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සඳහා, තාක්ෂණික අංශයේ සහභාගී වීමට සහ නායකත්වය දීමට කාන්තාවන් සහ ගැහැනු ළමයින් බල ගැන්වීම.

    (සටහන | විමුක්ති ධනංජය)
    සමාජ ක්‍රියාකාරී
    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here