ඔබේ වතුර බෝතලයෙන් ඔබ වතුර උගුරක් බොන සෑම අවස්ථාවකදීම බැක්ටීරියා සිය ගණනක් බෝතලයෙහි තැන්පත් වන අතර, එක් දිනයක් තුළදී ඒවා මිලියන ගණනාවක් ලෙසට වර්ධනය වෙයි. එය වළක්වා ගැනීම සඳහා ඔබට කළහැකි දේ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ මෙසේ පවසති.
තමා සතුව තිබෙන නැවත භාවිතා කළ හැකි වතුර බෝතලය කෙතරම් දුරට පිරිසිදු දැයි කාල් බෙන්කි සෑම විට ම කල්පනා කළේ ය. ඔහු බෝතලය තුළට සියුම් කඩදාසි තුවායක්, ඇතුල් පැත්තේ අතුල්ලා බැලූ විට ලැබුණු ප්‍රතිඵලය ඔහුව කම්පනයට පත්කරවන සුළු විය.
ඇමෙරිකාවේ ඉන්දියානාහි පර්ඩු විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ විශේෂඥයෙකු වන බෙන්කි ඒ ගැන පැවසුවේ, “එළියට ඇදලා ගන්නකං කඩදාසි තුවාය සුදු පාට ට තිබුණා,” යනුවෙනි. “බෝතලය ඇතුළත තිබුණු ලිස්සන සුළු බවට හේතුව කඩදාසි තුවා නිසා නෙවෙයි, බැක්ටීරියා වර්ධනය නිසා කියලා මට තේරුම් ගියා.”
ඔහුගේ මීළඟ පියවර වූයේ අධ්‍යනයක් සකස් කිරීම ය. බෙන්කි සහ ඔහුගේ සගයින් එක්ව විශ්වවිද්‍යාලයේ කොරිඩෝවක් පසුකර යන පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ වතුර බෝතල් කෙතරම් පිරිසිදු දැයි සොයා බැලීමේ පර්යේෂණයක් සඳහා ඒවා ලබාදෙන ලෙසට ය.

“එතැනදී පැහැදිලිව ම පෙනුණු දෙයක් තමයි ගොඩාක් අයට ප්‍රතිඵලය ගැන දැනගන්න ඕනෑ වුණේ නැහැ,” බෙන්කි සිහි කළේ ය. “මූලිකව ම ඔවුන් දැනගෙන හිටියා ඔවුන්ගේ පිරිසිදු කිරීමේ පුරුද්ද කොච්චර දුර්වල ද නැතිනම් ඒ වගේ පුරුද්දක් නැති තරම් ද කියලා. ඒ බව පසුව ලැබුණු දත්තවලින් තහවුරු වුණා.” පරීක්ෂාවට ලක්වූ බෝතල් බැක්ටීරියාවලින් පිරී තිබූ බව අවසන් ප්‍රතිඵලය ලෙසින් බෙන්කි සනාථ කළේ ය.
නැවත භාවිතා කළහැකි වතුර බෝතල් සඳහා වූ ගෝලීය වෙළෙඳපොල 2024 දී ඩොලර් බිලියන 10ක් පමණ (පවුම් බිලියන 7.7ක්) විය. ඉතාලියේ සෞඛ්‍ය සේවකයින් අතර සිදුකළ එක් අධ්‍යයනයකදී හෙළි වූයේ ඔවුන්ගෙන් අඩක්ම නැවත භාවිතා කළහැකි වතුර බෝතල් පාවිච්චි කරන බව ය. සරසවි සිසු සිසුවියන් අතර එය 50% සහ 81% අතර විය.
අප යන සෑම තැනකටම ගෙන යන වතුර බෝතල් මගින් අපට සජලනය වී සිටීමට උපකාරී වුව ද, ඒවා සෞඛ්‍යමය වශයෙන් අවදානම් ද විය හැකි ය. ඒ නිසා අප ඒවා විසිකර දැමිය යුතු ද? එසේ නැතිනම්, එම අවදානම් බව පාලනය කරගත හැකි ද?
නැවත භාවිතා කළ හැකි වතුර බෝතල් තුළ සත්‍ය වශයෙන්ම ඇත්තේ මොනවා ද?
මුළුතැන්ගෙයි ඇති ජල කරාමයෙන් වතුර පානය කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී වුව ද, එම ජලයේ ද ක්ෂුද්‍ර ජීවීහු වෙසෙති. වතුර බෝතලයට දැමූ ජලය දින කිහිපයක් එසේ තැබීම බැක්ටීරියා වර්ධනයට රුකුල් දෙන බව එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ප්‍රිම්රෝස් ෆ්‍රීස්ටෝන් පවසන්නී ය.

මිනිසාට ආසාදන ඇතිකරන බැක්ටීරියාවල වැඩීමට සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් (ෆැරන්හයිඩ් අංශක 98ක්) පමණ වන බව පෙන්වා දෙන ඇය අවධාරණය කරන්නේ, සෙල්සියස් අංශක 20ක් (ෆැරන්හයිඩ් අංශක 68ක්) වන කාමර උෂ්ණත්වයේදී පවා බැක්ටීරියාවන්ට වර්ධනය විය හැකි බව ය.
“බෝතලයක දමා තිබෙන ජලයෙහි කාමර උෂ්ණත්වය යටතේ කාලයත් සමග වැඩි වැඩියෙන් බැක්ටීරියා බෝවෙන්න පුළුවන්,” යැයි ඇය කියා සිටීන්නී ය.
සිංගප්පූරුවෙහි පවත්වනු ලැබූ අධ්‍යයනයකදී හෙළි වූයේ, කරාම ජලය උණු කර එහි සිටි බැක්ටීරියාවලින් බහුතරයක් වනසා දැමුවද දිනක් තිස්සේ එම ජලය භාවිතයට ගනිද්දී වතුර බෝතලය තුළ වේගයෙන් බැක්ටීරියා බෝවන බව ය. වැඩිහිටියන් භාවිතා කරන බෝතල්වල දැමූ ජලයෙහි සාමාන්‍යයෙන් උදෑසන කාලයේ පැවති මිලිලීටරයකට බැක්ටීරියාවන් 75,000ක් පමණ වූ සංඛ්‍යාව පැය 24ක කාලයකදී මිලිලීටරයකට බැක්ටීරියාවන් මිලියන එකේ සිට දෙක දක්වා වර්ධනය වූ බව එහිදී නිරීක්ෂණය විය.

එසේ බැක්ටීරියා වර්ධනය වීම මන්දගාමී කළහැකි එක් ක්‍රමයක් වන්නේ ඔබ ජලය පානය කිරීමෙන් පසු වතුර බෝතලය ශීතකරණයේ තැබීම බව ෆ්‍රීස්ටෝන් කියා සිටියි.
වතුර බෝතලයක බැක්ටීරියා වර්ධනය වීමට එහි ඇති ජලය හේතුකාරී වුව ද, එහි අපවිත්‍ර වීමට වැඩි වශයෙන් හේතු වන්නේ ජලය පානය කරන්නා විසින් එකතු කරන බැක්ටීරියා ප්‍රමාණයයි. සේවා ස්ථානය, ශාරීරික ව්‍යායාම කරන ස්ථානය හෝ නිවසේ තිබෙන විට පවා ක්ෂුද්‍ර ජීවීන් බොහෝ සංඛ්‍යාවක් එහි සිටියි. ෆ්‍රීස්ටෝන් පවසන්නේ, ජලය උගුරක් පානය කරන සෑම අවස්ථාවක්ම පාහේ එම ක්ෂුද්‍ර ජීවීන් සමග ඔබේ මුඛයේ පවතින බැක්ටීරියාවන් ද ලෙහෙසියෙන්ම බෝතලයෙහි තිබෙන ද්‍රවණය සමග මිශ්‍ර වන බව ය.
නිරතුරුවම තම දෑත් නොසෝදන පුද්ගලයින් වතුර බෝතල් භාවිතා කිරීමෙන් ඊ.කොලයි වැනි බැක්ටීරියා බෝවිය හැකි බව ඇය කියා සිටින්නීය.
“වැසිකිළි සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවන විට මළ සමග තිබෙන ඊ. කොලයි වගේ බැක්ටීරියා ඔයාගේ අත්වල සිට තොල්වල තැවරීමට හැකියාවක් තියෙනවා,” යැයි ඇය පැවසුවා ය.
වතුර බෝතල් වෙනත් අය සමග හවුලේ භාවිතා කරන විට වෛරස් තවත් අයට බෝ කිරීමට මෙන්ම තමන්ට බෝ වීමට ද ඉඩ ඇත. නෝරොවෛරස් (norovirus) වැනි රෝග ඒ ආකාරයට පැතිරී යයි.
පුද්ගලයෙකුගේ මුඛයෙහි සාමාන්‍යයෙන් බැක්ටීරියා වර්ග 500 සිට 600 දක්වා වන සංඛ්‍යාවක් පැවතිය හැකි ය. “ඔයාට ලේසියෙන් ලෙඩ බෝ වන්නේ නැති වුණත්, අනෙක් අයට එහෙම නොවෙන්න පුළුවන්. අපිව ආරක්ෂා කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකි වුණත්, ඔයාට නොදැනීම ආසාදනයක් ශරීරයෙහි පවතින්න පුළුවන්,” යනුවෙන් ඇය කියා සිටියා ය.
බෝතලය තුළ බැක්ටීරියා වර්ධනය වීමට රුකුල් දෙන තවත් එක් හේතුවක් වන්නේ, නැවුම් ජලය වෙනුවට වෙනත් දෙයක් එහි දැමීමයි. ඔබට පෝෂණය ලබාදෙන පානයන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීමට ද උපකාරී වේ. බෝතලය තුළ බැක්ටීරියා හෝ පුස්වල වර්ධනය උත්තේජනය කිරීමට සීනි අඩංගු ඕනෑම පානයක් හේතු වන බව ෆ්‍රීස්ටෝන් පැහැදිළි කරයි.
“වතුර නැතිව වෙන ඕනෑම ද්‍රවණයක්, විශේෂයෙන් ම ප්‍රෝටීන අඩංගු පාන, බැක්ටීරියා හා දිලීරවලට ස්වර්ගයක් වගේ,” යනුවෙන් ඇය කියා සිටියි.

ඔබ පැය කිහිපයකට කිරි ටිකක් වීදුරුවක දමා තැබූව හොත් එය වෙනත් බඳුනකට වත්කිරීමේදී තුනී පටලයක් ඉතිරි වන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එම පටලයෙහි බැක්ටීරියා අඩංගු බව ෆ්‍රීස්ටෝන් පෙන්වා දෙයි.
මෙම බැක්ටීරියා අපට බලපාන්නේ කෙසේ ද?
පසෙහි, වාතයෙහි, අපගේ ශරීරවල මෙන්ම අන් ඕනෑම තැනක බැක්ටීරියා පවතියි. නමුත් සිහියේ තබාගත යුතු කරුණ වන්නේ එම බැක්ටීරියා බහුතරයක් හානිකර නොවන බවත්, සමහර විටෙක ඒවා හිතකර වන්නට පවා හැකි බවත් ය.
ඊ. කොලයි වැනි බැක්ටීරියා වර්ධනය වී තිබෙන ජලය නිසා පාචනය සහ වමනය හටගත්තද, එය සෑම විටෙකදීම එසේ සිදු නොවේ. ඊ. කොලයි යනු විශාල ගහණයකින් යුත් අවට පරිසරයෙහි දක්නට ලැබෙන බැක්ටීරියාවකි. මිනිස් බඩවැල්වලද ඔවුන් සාමාන්‍යයෙන් පවතියි. ඔවුන් නිසා මිනිසා රෝගී වන්නේ, හානිකර ගතිලක්ෂණ සහිත ව්‍යාධිජනක තත්ත්වයකට පත්වීමෙන් පසුව පමණි.

“සනීපාරක්ෂක චක්රයකින් සහිත පිගන් සෝදන යන්ත්‍රයක් භාවිතා කිරීම වඩාත් ඵලදායී ප්‍රවේශය බවට ද බෙන්කි සහ ඔහුගේ සගයෝ යෝජනා කරනවා.”
ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් මිනිසාට හානිකර නොවන නමුත්, තම ප්‍රතිශක්තීකරණ පද්ධතිය පහත වැටී තිබෙන පුද්ගලයින් ආසාදනයට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බව ෆ්‍රීස්ටෝන් පවසයි.
රෝගබීජයක් නිසා උදරාබාධයක් හටගැනීම සමහර විටෙකදී දීර්ඝකාලීනව බඩවැලෙහි වෙනස්කම්වලට හේතු වේ.
“අපේ බඩවැල් හැම තිස්සේම වෙනස් වෙමින් තිබෙනවා. විශේෂ 1,000ක් විතර (ක්ෂුද්‍ර ජීවීන්) එහි හිටියත්, සංයුතිය අනුව වෙනස් කර ගැනීම අමාරුයි,” යනුවෙන් ඇය පවසයි. “කියන්න බැරි තරමට වෙනස් වන ආකාර තියෙනවා. නමුත්, වතුර බෝතලයක සිටින බැක්ටීරියා නිසා සිද්ධ වෙන ආහාර විෂ වීමක් කවදාකවත් හොඳ විදිහේ වෙනසක් ඇති කරන්නේ නැහැ,” යනුවෙන් ඇය පවසන්නීය.
බඩවැලෙහි වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ට බලපෑම් වන ආකාරයේ ප්‍රතිජීවක භාවිතා කළ පුද්ගලයින් තවත් ආසාදනවලට නිරාවරණය වන ආකාරයේ වෙනස්කම්වලට මුහුණ දෙනු ඇත. එක්සත් රාජධානියේ පුවත්පත් කාර්යාලයකදී නැවත භාවිතා කළහැකි වතුර බෝතලයකින් ලබාගත් නියැදියක් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, මේ වන විට මතුවෙමින් තිබෙන ප්‍රතිජීවක-ප්‍රතිරෝධී බැක්ටීරියා ප්‍රභේදවලට එවැනි වතුර බෝතල් අභිජනන භූමියක් වන බව ය. ක්ලේප්සියෙල්ලා ග්‍රිමොනයිට්ස් නමින් හඳුන්වන, විෂබීජවලින් තොර මතුපිටක පවා ජීවපටලයක් ඇති කිරීමේ හැකියාවෙන් යුත් බැක්ටීරියා විශේෂයක් පර්යේෂකයින් විසින් එහිදී සොයාගෙන තිබේ. ආන්ත්‍රික ප්‍රදේශයේ පවතින සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවින් අතර එම බැක්ටීරියාව දක්නට ලැබෙන නමුත්, මෑතකදී ප්‍රතිජීවක භාවිතා කළ පුද්ගලයින් අතර දරුණු ගණයේ පාචනය ඇති කිරීමට එම බැක්ටීරියාව සමත් වේ.
කෙසේ වෙතත්, නැවත භාවිතා කළහැකි වතුර බෝතල් නිසා හටගත හැකි දරුණු ගණයේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් විද්‍යාත්මක ග්‍රන්ථවල සඳහන්ව නොමැති බව විශේෂයෙන්ම කිව යුතු දෙයක් වේ. එයින් කියැවෙන්නේ, එවැනි දරුණු රෝගී තත්ත්ව හට නොගන්නා බවක් නොව, ආසාදනය වීමකට හේතු හඳුනාගෙන සෘජුව ම ගෙනහැර දැක්වීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බව ය.
නැවත භාවිතා කළහැකි බෝතල පිරිසිදු කරන්නේ කෙසේ ද?
තමාගේ වතුර බෝතලය මුළුමනින් ම පිරිසිදු කළයුතු බවට වන සිතුවිල්ලක් බෙන්කිගේ සිතෙහි හටගැනීම හේතුවෙන් එහි ඇතුළත තිබෙන්නේ මොනවාදැයි වඩාත් සමීප ව සොයාබැලීමේ අවශ්‍යතාවක් ඔහු තුළ ඇති කළේ ය. තමන් බෝතලයට දමා පානය කරන පෙරහන් කරන ලද ජලයෙන් අමිහිරි රසයක් නැගෙන බව ක්‍රමක්‍රමයෙන් ඔහුට ඒත්තු ගියේය.
“ඉඳහිට මම ඒක උණු වතුරින් සේදුවා. නමුත් කවදාකවත් ඊට වැඩි දෙයක් කළේ නැහැ,” යනුවෙන් ඔහු පවසයි.
කඩදාසි තුවා ආධාරයෙන් තමන් සිදුකළ මූලික පරීක්ෂාවෙන් ලැබුණු ප්‍රතිඵල ඔස්සේ බෙන්කි සහ ඔහුගේ සගයෝ වතුර බෝතල් සම්බන්ධ පුද්ගල පුරුදු පිළිබඳව දීර්ඝ වශයෙන් සොයා බැලූහ.
ඔහු සිදුකළ සමීක්ෂණයට සහභාගී වූවන් 90 දෙනාගෙන් අඩකට වැඩි පිරිසක් කියා සිටියේ, තමන් වතුර බෝතලය අන් අය සමග හවුලේ භාවිතා කරන බව ය.
15%ක් කිසිම දිනෙක ඔවුන්ගේ වතුර බෝතල පිරිසිදු කර තිබුණේ නැත. විමතියට කරුණක් නොවෙමින් වතුර බෝතල් පිරිසිදු කළ ද නොකළ ද එය අපවිත්‍ර වීමේ ප්‍රමාණයට බලපෑමක් ඇති ව තිබුනේ නැත. එමෙන්ම, බෝතලය පිරිසිදු කිරීමේ වාර ගණන හෝ පිරිසිදු කරන ආකාරය හෝ එය අපවිත්‍ර වී ඇති ප්‍රමාණයට දැඩි බලපෑමක් එල්ල නොකරන බව බෙන්කි හට නිරීක්ෂණය විය.

බුරුසුවක් වැනි උපකරණයක් භාවිතයෙන් හෝ පිගන් සෝදන යන්ත්‍රයක් මගින් තම වතුර බෝතලය පිරිසිදු කළ පුද්ගලයින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ, අඩුම බැක්ටීරියා ගහණයක් තම බෝතලයේ පවත්වා ගනිමින් ය. සනීපාරක්ෂක චක්රයකින් සමන්විත පිගන් සෝදන යන්ත්‍රයක් භාවිතා කිරීම වඩාත් ඵලදායී ප්‍රවේශය බවට බෙන්කි සහ ඔහුගේ සගයෝ යෝජනා කර සිටිති.
කෙසේ නමුත්, අධ්‍යනයට සහභාගී වූවන් විසින් ම ඔවුන්ගේ පිරිසිදු කිරීමේ චර්යා රටාවන් වාර්තා කළ නිසා, ඔවුන්ගේ උත්තර වඩාත් සමාජයීය පිළිගැනීමක් ලබා ගැනීම සඳහා වෙනස් කරන්නට ඉඩ තිබූ බව පර්යේෂකයින්ගේ නිගමනයෙහි විශේෂයෙන්ම දක්වා ඇත.
අධ්‍යයනයෙන් හෙළිවූ තවත් කරුණක් වන්නේ, ජලය පමණක් අඩංගු බෝතලවලට වඩා තේ, කෝපි හෝ යුෂ වර්ග අඩංගු බෝතල් වැඩියෙන් අපිරිසිදු ව පැවති බව ය.

අප පානය කරන ජලය සමග හානිකර බැක්ටීරියා වර්ග ද ශරීරගත නොවන බවට සහතික විය හැකි එකම ක්‍රමය වන්නේ, අපගේ වතුර බෝතල් නිරතුරුව ම සහ නිසි පරිදි පිරිසිදු කිරීම මගින් පමණක් වේ. බෝතලයේ තිබෙන ජලය විෂබීජවලින් තොර වූවද, ඔබගේ ඛේටය සමග බැක්ටීරියා පෝෂක බෝතලයට මිශ්‍ර වීමෙන් එහි බැක්ටීරියාවලට බෝවීම සඳහා සුදුසු පරිසරයක් ඇති කරන බව ෆ්‍රීස්ටෝන් පෙන්වා දෙයි.
ඔබගේ බෝතලය ඇල් ජලයෙන් සේදීම පමණක් ප්‍රමාණවත් නැත්තේ, බෝතලයේ ඇතුළත මතුපිටෙහි හටගෙන ඇති, බැක්ටීරියා වර්ධනයට කදිම වාතාවරණයක් ඇති කරන ජීවපටල ඉවත් වීමක් එයින් සිදු නොවන බව ඇය කියා සිටී.
රෝගකාරක බීජාණු වැඩි වශයෙන් වනසා දැමිය හැකි සෙල්සියස් අංශක 60ක (ෆැරන්හයිඩ් අංශක 140ක) උෂ්ණත්වයේ පවතින උණුවතුරින් නැවත භාවිතා කළහැකි බෝතල පිරිසිදු කිරීම සුදුසු බව ෆ්‍රීස්ටෝන් පෙන්වා දෙයි. ඒ සඳහා පිරිසිදුකාරක ද්‍රාවණයක් ද යොදාගෙන, බෝතලය තුළ කලතා විනාඩි 10ක පමණ කාලයක් තිබෙන්නට හැරීමෙන් පසුව උණුසුම් ජලයෙන් සෝදා හැරිය හැකි බව ඇය පවසයි.
ඉන්පසුව, බැක්ටීරියා වර්ධනය වළක්වා ගැනීම සඳහා මද පවනේ බෝතලය වියළා ගැනීම සුදුසුම ක්‍රමය වන්නේ ක්ෂුද්‍රජීවීන් තෙත සහිත පරිසරයකට වඩාත් කැමති නිසාවෙන් ය.
භාවිතා කරන සෑම වාරයක් පාසා ම මේ ආකාරයට බෝතලය පිරිසිදු කරගත යුතු අතර, එසේ නැතිනම් සතියකට කිහිප වාරයක් හෝ එය සිදු කරන්නැයි ෆ්‍රීස්ටෝන් නිර්දේශ කරයි. බෝතලයෙන් ගන්ධයක් හැමීම සිදුවන තෙක් කිසිදා නොසිටින ලෙස ද ඇය අනතුරු හඟවයි.
“ඔයාගේ බෝතලයෙන් ගන්ධයක් එනවා නම් එය විසිකර දැමිය යුතු තත්ත්වයකට පත්ව තිබෙනවා,” යන්න ඇය පවසයි.
ඔබේ බෝතලය පිරිසිදු ව තිබුණත්, එය ඇල්ලීමට පෙර දෑත් සෝදාගැනීම ද වැදගත් ය.
“සනීපාරක්ෂාව වැඩි බෝතල් කියන්නේ පිරිසිදු කරන්න ලේසි ඒවා.”
බෙන්කි දැන් වතුර බෝතල භාවිතා කිරීමේදී වෙනස් අයෙක් වේ. ඔහු සෑම සතියකටම වරක් තම බෝතලය බ්ලීච් ඉසිනයක් යොදාගෙන සහ බෝතලයේ කෙමිය හා තුඩ වැනි කුඩා මතුපිට බුරුසුවක් යොදාගෙන පිරිසිදු කොට සෝදා වාතයේ වියළා ගන්නේ ය.
අප මගහැරිය යුතු ආකාරයේ වතුර බෝතල් තිබෙනවා ද?
මල නොකන වානේ බෝතලවලට වඩා ප්ලාස්ටික් බෝතල්වල බැක්ටීරියා ගහණය ඉහළ බවට සමහර අධ්‍යයනවලින් සොයාගෙන ඇතත්, භාවිතා කරන පිරිසිදු කිරීමේ උපක්‍රමය මගින් වඩාත් විශාල වෙනසක් සිදුකළ හැකි වේ. සනීපාරක්ෂාව අතින් ඉහළ බෝතල් වන්නේ ලෙහෙසියෙන් ම පිරිසිදු කිරීමට හැකි ඒවා ය. ෆ්‍රීස්ටෝන් පවසන ආකාරයට; පිටත, පියන සහ ඇති නම් නම් බටය ද ඇතුළු ව වතුර බෝතලයේ සෑම කොටසක්ම පිරිසිදු කිරීම අනිවාර්ය වේ.
ප්ලාස්ටික්වලට වඩා ලෝහයෙන් තැනූ වතුර බෝතල් භාවිතය වඩාත් සුදුසු වීමට තවත් හේතුවක් තිබේ.
“ප්ලාස්ටික්වලින් තැනූ බෝතල්වල අඩංගු රසායනික ආකලන (additives) නිසා සාමාන්‍යයෙන් නම්‍යතාවය, කල්පැවැත්ම, උෂ්ණත්වයට ඔරොත්තු දීම සහ බරින් අඩුවීම වැනි වාසි තියෙනවා,” යැයි කටාර් රාජ්‍යයේ වයල් කෝනෙල් මෙඩිසින්හි සායනික ජනගහන සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය අමිත් ඒබ්‍රහම් කියා සිටියි.
“මේ ආකලන, ප්ලාස්ටික් සමග බැඳී පවතින නිසා ඒවා ජලය සමග මිශ්‍ර වෙන්න පුළුවන්,” යනුවෙන් ඔහු පවසයි.
සමහර අධ්‍යයනවලින් හෙළිවන පරිදි, බීපීඒ (BPA) වැනි මෙම ආකලනවල බලපෑමෙන් අපගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි ය. එමෙන්ම, හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව සහ අනෙකුත් නිදන්ගත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ද ඉහළ දමයි.
බෝතලය තනා ඇත්තේ එක්වරක් පමණක් භාවිතා කළ හැකි හෝ, එසේ නැතිනම් නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් ද යන්න නොසලකා එම ආකලන ජලයට මිශ්‍ර විය හැකි බව ඒබ්‍රහම් පවසයි. එපමණක් නොව ප්ලාස්ටික් බෝතලය කැඩී බෝතලයෙහි ඇති ජලයේ අඩංගු ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ප්‍රමාණය ද ඉහළ යා හැකි ය.

එමනිසා, වීදුරු හෝ මල නොකන වානේවලින් සැදූ බෝතල වඩාත් ආරක්ෂාකාරී විකල්ප වේ.
කෙසේවුවත් ඔබ කුමන ආකාරයේ වතුර බෝතලයක් තෝරාගත්ත ද, ඔබ පානය කරන ජලය හානිකර බැක්ටීරියාවලින් යුක්ත නොවන බවට සහතික විය හැක්කේ මූලිකවම හොඳ සනීපාරක්ෂක පුරුදු ඇතිකර ගැනීමෙන් පමණක් වේ.
(සටහන | ජෙසිකා බ්‍රවුන්)
උපුටා ගැනීම – BBC සිංහල සේවය
ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න
ඔබ නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද?
ඔබේ කුස්සියේ භාජන සෝදන ස්පොන්ජ් කැබැල්ල රෝග වාහකයෙකු බව ඔබ දැන සිටියා ද?
හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?
නිතර ඔබේ ඇඳ ඇතිරිලි මාරු කළ යුත්තේ ඇයි?
කාන්තාවන්ට වඩා පිරිමින් සනීපාරක්ෂාව ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක් ද?