2021 දී තලේබාන්වරුන් පාලනය භාර ගත් දා සිට, අවුරුදු 12 ට වැඩි ගැහැනු ළමුන්ට පාසල් යාම තහනම් කර ඇති අතර, බොහෝ කාන්තාවන්ට රැකියා කළ නොහැක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාන්තාවන්ට දැන් කාපට් රෙදි විවීම සඳහා දිගු වේලාවක් ගත කිරීමට සිදුව තිබේ. එය තලේබාන්වරු ඔවුන්ට කිරීමට ඉඩ දෙන රැකියා කිහිපයකින් එකකි.
22 හැවිරිදි ශකිලා කලක් නීතිඥවරියක් වීමේ සිහිනය දකිමින් සිටි ශිෂ්‍යාවක වූ නමුත් දැන් ඇගේ පවුලේ කාපට් සෑදීමේ ව්‍යාපාරයට ඇය නායකත්වය දෙයි.
“අපට කාපට් විවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. වෙන කිසිම රැකියාවක් තිබුණේ නැහැ.” ඇය මට පැවසුවාය.
ශකිලා සහ ඇගේ සහෝදරියන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද එක් පලසක් 2024 දී කසකස්තානයේ පැවති ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කරන ලද අතර වර්ග මීටර් 13 ක සේද කලාකෘතිය ඩොලර් 18,000 කට අලෙවි විය. නමුත් ඔවුන්ට ලාභයෙන් කිසිවක් නොලැබිණි.
ඇෆ්ගනිස්ථානයේ, කාපට් බොහෝ අඩු මුදලකට අලෙවි වන අතර, එමඟින් කම්කරුවන් අඩු වැටුප් සහිත රැකියා වල රඳවා ගනී. අතින් වියන ලද කාපට් එකක් සාමාන්‍යයෙන් වර්ග මීටරයකට ඩොලර් 100-150 කට අළෙවි වේ.
මෙම සහෝදරියන් කාබුල්හි බටහිර මායිමේ පිහිටි දරිද්‍රතාවයෙන් පෙළෙන දෂ්ට-ඊ බාර්චි ප්‍රදේශයේ ජීවත් වන අයයි.
ඔවුන් තම වයෝවෘද්ධ මව්පියන් සහ සහෝදරයන් තිදෙනා සමඟ කුඩා නිදන කාමර දෙකක් කුඩා කුලියට ගෙන ජීවත් වෙයි. එක් කාමරයක් දැන් කාපට් සෑදීමේ ස්ථානයක් ලෙස භාවිත කරයි.
“මම අවුරුදු 10 දී රෙදි විවීම ඉගෙන ගත්තා. මගේ තාත්තා රිය අනතුරකින් තුවාල ලබා සුවය ලබමින් ඉද්දී ඒක මට ඉගැන්නුවා.” ශකිලා කරුණු පැහැදිලි කරයි.

දුෂ්කර කාලවලදී අත්‍යවශ්‍ය කුසලතාවක් ලෙස ආරම්භ වූ එය දැන් පවුලේ ජීවිකාව බවට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඇෆ්ගනිස්ථානුවන් මිලියන 1.2 ත් 1.5 ත් අතර පිරිසකගේ ජීවනෝපාය කාපට් රෙදි විවීමේ කර්මාන්තය මත රඳා පවතින අතර, ශ්‍රම බලකායෙන් 90% ක් පමණ කාන්තාවන් වේ.
ශකිලාගේ සහෝදරිය වන 18 හැවිරිදි සමිරා මාධ්‍යවේදිනියක් වීමට කැමැත්තෙන් සිටියාය. 13 හැවිරිදි මරියම්ට තම වෘත්තිය ගැන සිහින දැකීමට පෙර පාසල් යාම නතර කිරීමට සිදුවිය.
තලේබාන්වරුන් නැවත බලයට පැමිණීමට පෙර, ඔවුන් තිදෙනාම සයිඩ් අල්-ෂුහාඩා උසස් පාසලේ සිසුවියන් වූහ.
නමුත් 2021 දී පාසලට එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් විය. මෙහිදී 90 දෙනෙකු මිය ගිය අතර, ඉන් බහුතරයක් තරුණ ගැහැනු ළමයින් වූ අතර, 300 කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.
තවත් ඛේදවාචකයක් ගැන කනස්සල්ලට පත්ව, ඔවුන්ගේ පියා ඔවුන් පාසලෙන් ඉවත් කිරීමට වේදනාකාරී තීරණයක් ගත්තේය.

ප්‍රහාරය එල්ල වන විට පාසලේ සිටි සමිරා දැන් කම්පනයට පත්ව සිටියි. ගොත ගැසීමකින් කතා කරන ඇයට තම අදහස් පිට කිරීමට අපහසු වේ. තවමත්, ඇය නැවත පාසලට යාමට ඕනෑම දෙයක් කරනු ඇත.
“මට ඇත්තට ම මගේ අධ්‍යයන කටයුතු අවසන් කරන්න ඕනි. දැන් තලේබාන්වරු බලයේ ඉන්න නිසා, ආරක්ෂක තත්ත්වය වැඩිදියුණු තියෙන නිසා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අඩු වෙලා තියෙනවා.” ඇය පැවසුවාය.
” ඒත් පාසල් තවමත් වසා දමා තියෙන්නේ. ඒ නිසා අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා.”
පසුගිය රජය ප්‍රහාරය සඳහා තලේබාන් සංවිධානයට දොස් පැවරූ නමුත්, එම සංවිධානය එය ප්‍රතික්ෂේප කළේ තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බව පවසමින් ය.
ශකිලා, සමිරා සහ මරියම් විශ්වාස කරන්නේ වත්මන් පාලකයින් “ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනයේ සතුරන්” බවයි.
ඉස්ලාමීය වටිනාකම් සමඟ විෂය මාලාව පෙළගස්වා ගැනීම වැනි ගැටලු විසඳූ පසු ගැහැනු ළමයින්ට නැවත පාසල් යාමට අවසර දෙන බව තලේබාන් සංවිධානය නැවත නැවතත් ප්‍රකාශ කර ඇති නමුත් මේ දක්වා එය සිදු කිරීම සඳහා කිසිදු ස්ථිර පියවරක් ගෙන නැත.
කාබුල්හි එල්මාක් බැෆ්ට් නමැති වැඩ කිරීමේ මධ්‍යස්ථානයක, කාන්තාවන් සහ ගැහැනු ළමයින් 300ක් කුඩා, ඇහිරී ගිය ස්ථානයක වැඩ කරයි.
තවත් ශාඛාවක, තරුණ ගැහැනු ළමයි 126 දෙනෙකු රෙදි වියන යන්ත්‍ර 23 ක පමණක් වැඩ කරමින් සිටිති.
19 හැවිරිදි සලේහේ හසානි, වයස අවුරුදු 17 වන තෙක් පාසලේ දක්ෂ ශිෂ්‍යාවක වූවාය. ඇය වසර දෙකක් ඉගැන්වීමේ කටයුතුවල නියැලුණු අතර මාස තුනක් පුවත්පත් කලාව පවා හැදෑරුවාය.
“අපේ ගැහැනු ළමයින්ට තවදුරටත් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ, පවතින වාතාවරණය එය අපෙන් උදුරා ගත්තා, ඒ නිසා අපි රැකියා කිරීමේ මධ්‍යස්ථානයට ගියා.” ඇය අඩපණ වූ සිනහවකින් පවසයි.
2024 වසරේ මුල් මාස හය තුළ පමණක් පකිස්ථානය, ඉන්දියාව, ඔස්ට්‍රියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට ඩොලර් මිලියන 8.7 ක් වටිනා කාපට් කිලෝග්‍රෑම් මිලියන 2.4 කට වඩා අපනයනය කර ඇති බව තලේබාන් සංවිධානයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේය.
නමුත් මෙම අපනයන නැඟීම පිටුපස, කනස්සල්ලට කරුණක් තිබේ.
කාපට් වියන්නන් එක් වර්ග මීටරයකට ඩොලර් 27 ක් පමණ උපයන අතර එය සෑදීමට මාසයක් පමණ ගතවේ. ඔවුන්ගේ වැඩ පැය 10 සිට 12 දක්වා පැවතිය හැකි දිගු, දුෂ්කර වැඩ මුරයන් වුවද ඒ අනුව ඔවුන්ට දිනකට ලැබෙන්නේ ඩොලරයකටත් වඩා අඩු මුදලක් පමණි.
එල්මාක් බැෆ්ට් සමාගමේ ප්‍රධානී නිසාර් අහමඩ් හසීනි මා හට පවසා සිටියේ ඔහු තම සේවකයින්ට වර්ග මීටරයකට ඩොලර් 39 ත් 42 ත් අතර මුදලක් ගෙවන බව යි. තවද ඔහු කියා සිටින්නේ ඔවුන්ට පැය 8 ක වැඩ දිනයක් සමඟ සෑම සති දෙකකට වරක් වැටුප් ලැබෙන බව යි.

තලේබාන් රජයේ නැවත බලයට පත්වීමෙන් පසු, පාසල් වසා දැමීමෙන් ඉතිරි වූ අයට සහාය වීම ඔහුගේ සංවිධානය තම මෙහෙවර බවට පත් කළ බව ඔහු තවදුරටත් පවසයි.
“අපි කාපට් රෙදි විවීම සහ ලොම් නූල් කැටීම සඳහා වැඩමුළු තුනක් ස්ථාපිත කළා,” ඔහු පවසයි.
“මෙම කාපට් වලින් 50-60% ක් පමණ පකිස්ථානයට අපනයනය කරනු ලබනවා. ඉතිරිය පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා චීනය, ඇමරිකා එක්සත් ජනපදය, තුර්කිය, ප්‍රංශය සහ රුසියාව වෙත යවනු ලබනවා.”
ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය ද පීඩාවට පත්ව ඇති අතර 2020 සිට එය 29% කින් අවප්‍රමාණ වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව, කාන්තාවන් සඳහා වන සීමාවන්ට ඩොලර් බිලියනයක් දක්වා වැය වේ.
2020 දී, කාන්තාවන්ගෙන් 19% ක් පමණක් ශ්‍රම බලකායේ කොටසක් වූ අතර එය පිරිමින්ට වඩා හතර ගුණයකින් අවම වූ අතර තලේබාන් පාලනය යටතේ එම සංඛ්‍යාව තවත් පහත වැටී ඇත.

අභියෝග මධ්‍යයේ වුවද, මෙම තරුණියන්ගේ ආත්ම විශ්වාසය නොබිඳී පවතී.
දූවිලි සහිත කාපට් වැඩ මධ්‍යස්ථානය තුළ ලද කෙටි විවේකයකදී ශක්තියෙන් හා නිර්මාණශීලීත්වයෙන් පිරුණු ගැහැනු ළමයින්ගෙන් මා වට වී සිටින බව මට වැටහුණි.
අධිෂ්ඨානශීලී සහ බලාපොරොත්තු සහගත සලේහා, ඉංග්‍රීසි ඉගෙනීමට වසර තුනක් කැප කළ බව පැවසුවාය.
“පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමුවත්, අපි අපේ අධ්‍යාපනය නතර කිරීම ප්‍රතික්ෂේප කරනවා,” ඇය පවසයි.
යම් දිනක, ඇය ප්‍රමුඛ වෛද්‍යවරියක් වීමට සැලසුම් කරන අතර ම ඇෆ්ගනිස්ථානයේ හොඳ ම රෝහල ඉදිකිරීමට සැලසුම් කරන බව ඇය කියා සිටියාය.
මහජූබා නව්රූසි
Role,බීබීසී ඇෆ්ගන් සේවය, කාබුල් සිට