PTA යොදාගෙන මුස්ලිම් තරුණයකු සිරගත කිරීම ‘ලොකු මාතෘකාවක් වෙලා’-  හරිණි

0
44

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ත්‍රස්ත නීති යොදාගෙන මුස්ලිම් තරුණයකු 90 දිනකට සිරගත කිරීම ‘ලොකු මාතෘකාවක්’ වී ඇති බවට

මන්නාරමේ ඡන්ද රැස්වීමකදී සමච්චලයට ලක් කළ අගමැතිනිය PTA පනත ‘අයින් කිරීම’ වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බවද දැනුම් දී තිබේ.

අන්තවාදී හෝ ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට චෝදනා කරමින් මොහමඩ් ලියාඋදීන් මොහමඩ් රුෂ්ඩි 90 දවසකට හිරගත කිරීමට PTA ත්‍රස්ත නියෝගයක් මාර්තු 25 කොළඹදී අත්සන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක එම තරුණයා කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නැතැයි අප්‍රේල් 11 දා සම්ම්න්තුරේදී කියා තිබුණි.

අප්‍රේල් 12 වැනි දා මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි මැතිවරණ කොට්ඨාසයේ සිලාවතුර බස් නැවතුම්පොළ අසල මුස්ලිම් බහුතරයක් සහභාගි වූ ජන රැලියකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තව දුරටත් කියා සිටියේ, ත්‍රස්ත පනත ඉවත් කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේ දී සිදුවනු ඇති බවයි.

ඉදිරියේ දී කිසිම අයුරකින් ආගම, ජාතිය යන කාරණා හේතු කරගනිමින් ජනතාවට කිසිම අයුරකින්  පීඩා සිදුවීමට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුවක් ලෙස කිසි විටෙකත් අර්බුද දෙස ජාතිවාදී මනසකින් බැලීම සිදු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාර හෙලා දකිමින් කුණු බක්කියක ස්ටිකරයක් ඇලවූ තරුණයා PTA යොදාගෙන සිරගත කිරීම විවේචනය කරනු ලබන්නේ ආණ්ඩුවේ ‘හොයන්න වැරදිත් නැති’ නිසා බව අගමැතිනියගේ තර්කයයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය අප්‍රේල් 13 වැනි දා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේ දී පැවැති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන්ය.

නව පනත ගෝලිය ත්‍රස්තවාදයට සහ අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා වූ මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර වූ මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිති කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බව ද පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

“පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්‍යෝගයෙන් කටයුතු කර නොමැති අතර මේ සඳහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දුන්නේ ය,” යි අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, රජය පෙබරවාරි මාසයේ ප්‍රකාශ කර තිබුනේ වර්තමානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි.

“නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී,’’ යි කැබිනට් තීන්දුවේ දැක්වේ.

මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවගේ අදහස් ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසත්, අමාත්‍යවරයා කමිටුවට උපදෙස් දුන් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් නිවේදනය කර ඇත.

පීඩාකාරී තත්වයන් යටතේ දෙසතියකට අධික කාලයක් පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගැනීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය නැග ආ පසු අප්‍රේල් 7 වැනිදා දැඩි කොන්දේසි නියම කර අධිකරණයෙන් ඇප ලබා දී ගෙදර යනවිට මොහොමඩ් රුෂ්ඩිගේ රැකියාවද අහිමි වී තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසා තිබේ.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here