ඉගෙනුමට සහ මෙහෙවරට කැපවූ කිරුපායිමලර් හූල් සෙල්ලතුරෙයි

    0
    31

    1955 වසරේ යාපනයේ උපත ලැබූ කිරුපායිමලර් හූල්, පවුලේ බාලයා වුවද කුඩා කල සිටම වගකීම් දැරීමට හුරු වූවාය. ඇයගේ වැඩිමහල් සහෝදරිය ආබාධිත තත්ත්වයක පසුවූ අතර සහෝදරයා පෝලියෝ රෝගයට ගොදුරු වී සිටියේය. පවුලට ශක්තියක් වීමටත්, සහෝදරියට උපකාර කිරීමටත් සිතූ ඇය, එකල කාන්තාවකට ලෙහෙසි පහසු තීරණයක් නොවූ නයිජීරියාවේ ගුරු වෘත්තියට තනිවම පිටත්ව ගියාය. කුඩා කල පියා සමග කිතුනු සඟරා කියවද්දී සිතට වැදුණු “දුක් විඳින අයට උපකාර කිරීමට දෙවියන් ඔබව මෙලොවට එවා ඇත” යන අදහස, ඇයගේ මුළු ජීවිතයටම මගපෙන්වන ආලෝකය විය.

    ශ්‍රී ලංකාව තුළ සිවිල් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටෙමින් තිබූ 1980 දශකයේදී ඇයගේ ජීවිතයට ද ආදරය ළඟා විය. 1984 වසරේදී ඇය යාපනය විශ්වවිද්‍යාලයේ ගණිත කථිකාචාර්යවරයෙකු වූ රාජන් හූල් සමග විවාහ වූවාය. ගණිතයට පමණක් සීමා නොවී, සමාජයේ යහපත උදෙසා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට රාජන් තුළ වූ දැඩි කැපවීමට ඇයද මුළු හදින්ම එකඟ වූවාය. 1985 දී ඔවුන් නැවත යාපනයේ පදිංචියට පැමිණි අතර, එකල පැවැති සන්නද්ධ ගැටුම් සහ ජනතාව විඳි දුක්ගැහැට සෘජුවම අත්විඳීමට ඔවුන්ට සිදු විය.

    1988 දී රාජන් හූල් ඇතුළු කථිකාචාර්යවරුන් කිහිපදෙනෙකු එක්ව ‘මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය’ (UTHR-Jaffna) පිහිටුවන ලදී. “සරසවිය ඇතුළේ පොතපතට විතරක් සීමා නොවී, අවට සිදුවන දේ ගැන ඇස් ඇරලා බලන්න” යන්න ඔවුන්ගේ තේමාව විය.

    නමුත් 1989 සැප්තැම්බර් මාසයේදී එහි සමආරම්භක ආචාර්ය රාජිනී තිරණාගම ඝාතනය කිරීමත් සමග, කිරුපායිමලර් සහ රාජන්ගේ ජීවිතද දැඩි අවදානමකට ලක් විය. ආරක්ෂාව පතා කොළඹට පැමිණීමට සිදු වුවද, ඔවුහු කොළඹ සිට සිය මානව හිමිකම් තොරතුරු වාර්තා කිරීමේ මෙහෙවර ඉදිරියට කරගෙන ගියහ.

    පසුව එක්සත් රාජධානියේ ඊස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු පද්ධති පිළිබඳ පශ්චාත් උපාධියක් ලැබූ කිරුපායිමලර්, 1993 දී නැවත ලංකාවට පැමිණ විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූවාය. 1990 දශකයේදී ලංකාවේ ග්‍රන්ථ පද්ධතියට පරිගණක තාක්ෂණය සහ OPAC පද්ධති හඳුන්වා දෙමින් විශාල තාක්ෂණික වෙනසක් කිරීමට ඇය මුල් වූවාය. වසර 20 කට අධික කාලයක් විවෘත විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කළ ඇය, පොතපත ඩිජිටල්කරණය කරමින් ඊළඟ පරම්පරාවට දැනුම බෙදා දුන්නාය. යුද්ධයෙන් පසුව 2010 දී නැවත යාපනයට පැමිණි ඇය, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ පුස්තකාලයද ස්වේච්ඡාවෙන්ම ඩිජිටල්කරණය කර දුන්නාය.

    තාක්ෂණය ගැන ප්‍රවීණයෙකු වුවද, වර්තමානයේ දරුවන් පොත්පත් කියවීමෙන් ඈත්වීම ගැන ඇය තුළ ඇත්තේ කණගාටුවකි.

    යැයි ඇය පවසන්නීය. කුඩා කල සිටම දෙමාපියන් දරුවන්ට කතාන්දර කියා දෙමින්, පොත් ත්‍යාග ලෙස ලබා දෙමින් කියවීමේ රුචිය වර්ධනය කළ යුතු බව ඇය නිතරම මතක් කර දෙන්නීය.

    තමන්ටම කියා දරුවන් නොසිටියද, අවට සිටි උපකාර අවශ්‍ය දරුවන් වෙනුවෙන් මව් සෙනෙහස ලබා දීමට ඇය කිසිවිටෙකත් පසුබට වූයේ නැත. මහත්මා ගාන්ධි, තෙරේසා මව්තුමිය වැනි චරිත ඇගේ ජීවිතයට ආදර්ශයක් විය. ඇය සිය සැමියාගේ ලේඛන කටයුතුවලට සහය දෙමින්, මලෙයිගා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලියවුණු “Democracy Stillborn” ග්‍රන්ථයේ සම ලේඛිකාව ලෙසද කටයුතු කළාය.

    ජීවිතයට පැමිණි බාධක, යුද භීෂණය සහ සමාජ අසාධාරණයන් හමුවේ වුවද කිරුපායිමලර් ඉදිරියට ගියේ සාමය, වෛර නොකිරීම සහ ආදරය පෙරදැරි කරගනිමිනි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here