Gen-Z සිනමා ප්‍රේක්ෂකාගාරය වසඟ කරන මමිතා

    0
    22

    දකුණු ඉන්දීය මලයාලම් සහ දෙමළ සිනමාවෙන් මතුවී මේ වන විට සමස්ත ඉන්දියාවම කතා කරන ආකර්ෂණීයම තාරකාව බවට පත්වීමට මමිතා බෛජු සමත් වී සිටියි. 2001 ජුනි 22 වැනි දින ඉන්දියාවේ කිඩන්ගූර් ප්‍රදේශයේ උපත ලද ඇයගේ දෙමව්පියන් වන්නේ බෛජු ක්‍රිෂ්ණන් සහ මිනී බෛජුයි. විශේෂයෙන් Gen-Z පරම්පරාවේ තරුණ ප්‍රේක්ෂකාගාරය දැඩි ලෙස වසඟ කිරීමට ඇයට හැකි වී ඇත්තේ ඇයගේ ස්වභාවික රංගන විලාසය සහ සිනහව මුසු ආකර්ෂණය නිසාය.

    සිය මූලික හා ද්විතීයික අධ්‍යාපනය එට්ටුමනූර් හි Mary Mount පාසලෙන් සහ කිඩන්ගූර් NSS HSS හිදී හදාරන ලද මමිතා, උසස් අධ්‍යාපනය ලැබුවේ තෙවාරා හි Sacred Heart College හිදීය. පාසල් සමයේදීම කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, 2016 වසරේ තිරගත වූ ‘පාවඩා’ චිත්‍රපටයේ සුළු චරිතයකින් රංගනයට අඩිතාලම දැමුවාය.

    ඉන් අනතුරුව 2017 වසරේ ‘සර්වෝපරි පලක්කාරන්’ චිත්‍රපටය හරහා ඇය නිල වශයෙන් සිනමාවට පිවිසියාය. ක්‍රමයෙන් ප්‍රධානධාරයේ චරිත කරා පැමිණි ඇය, ‘Kho-Kho’ චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් කේරළ සිනමා විචාරක සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. චරිතයකට පණපීමේදී ඇය පෙන්වන සජීවී බව සහ සැබෑ ජීවිතයේදී ප්‍රදර්ශනය කරන නිහතමානීකම ඇයව වඩාත් ප්‍රේක්ෂක හදවත් වලට සමීප කරන්නට සමත්ව ඇත.

    මමිතාගේ නම ඉන්දීය සිනමාවේ රන් අකුරින් ලියැවුණේ 2024 වසරේ තිරගත වූ ‘ප්‍රේමලු’ චිත්‍රපටය හරහාය. එහි ‘රේණු’ ලෙස ඇය දැක්වූ රංගනය අතිශයින් ජනප්‍රිය වූ අතර, එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් විශාල ආදායම් වාර්තා තැබීය. ඉන් අනතුරුව ඇය රඟපෑ ‘Vishwanath and Sons’ සහ නිවින් පෝලි සමඟ එක්ව රංගනයෙන් දායක වූ ‘Bethlehem Kudumba Unit’ වැනි නිර්මාණ දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන බවට පත්විය. කෘත්‍රිම භාවයකින් තොරව සහ අනායාසයෙන්ම සැබෑ ජීවිතයේ ගැහැනු ළමයෙකුගේ ස්වභාවය සිනමාවට රැගෙන ඒම ඇයගේ ප්‍රධාන විශේෂත්වයයි. ආදරණීය සහ හාස්‍යෝත්පාදක චරිත සඳහා ඇය තුළ ඇති සුවිශේෂී හැකියාව නිසා රොමැන්ටික්-කොමඩි ලෝකයේ විශේෂ කතාබහට ලක්වන නමක් බවට පත්ව තිබේ. ඇයගේ සරල පෞරුෂය සහ ආකර්ෂණීය විලාසිතා රටාව තරුණ ප්‍රේක්ෂකයින්ගේ මුල් පෙළේ ආදර්ශයක් බවට පත්ව ඇත.

    දිගින් දිගටම සිය කලා හැකියාව ඔප්නංවා ගනිමින් ඉදිරියට යන මමිතා බෛජු, පසුගිය දින වල ශ්‍රී ලංකාවේද කතාබහට ලක්වූයේ ඇගේ චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකත්වයද වැළඳ ගැනීමත් සමඟයි. සිනමා පටයෙන් සිනමා පටයට ඇය තබන මෙම සාර්ථක ගමන මලයාලම් සිනමාවට පමණක් නොව, සමස්ත ඉන්දියානු සිනමාවටම ලැබුණු ආභරණයක් කොට සැලකීමේද වරදක් නැත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here