ශ්රී ලංකා සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවුණු අසහාය කලාකාර යුවළක් වන රුක්මණී දේවී සහ එඩී ජයමාන්න ගේ අමරණීය ජීවිත කතාව පාදක කරගනිමින්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ 25වන සිනමා නිර්මාණය වන ‘නිද්රා යාත්රා’ චිත්රපටයේ රූගත කිරීම් මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත.
චමල් රත්නායක එඩී ජයමාන්න ලෙස…
මෙම සිනමා නිර්මාණයේ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ම සිදුකරනු ලබන අතර, නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ වෙරන්ජන් ගුණවර්ධන යි. එමෙන් ම ලාංකීය සිනමාවේ ප්රථම නිළිය මෙන්ම “සිනමා කෝකිලාවිය” ලෙස විරුදාවලි ලත් අග්රගන්ය රුක්මණී දේවීගේ චරිතයට තරින්දි ප්රනාන්දු ද, සිංහල සිනමාවේ මුල් යුගයේ බිහිවූ අසහාය ප්රහසන නළුවෙකු වන එඩී ජයමාන්නගේ චරිතයට චමල් රත්නායක ද රංගනයෙන් දායක වෙති.
ප්රවීණයින් රැසක ගේ දායකත්වය
මහේන්ද්ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන, නෙතූ ගම්ලත්, රවින් කනිෂ්ක, රොෂාන් රණවන, අර්ජුන කමලනාත්, චරිත් අබේසිංහ සහ ගයාන් වික්රමතිලක ඇතුළු ප්රවීණ මෙන්ම ජනප්රිය රංගන ශිල්පීන් රැසක් මෙහි චරිත නිරූපණයට එක්ව සිටිති.
මෙම සිනමා නිර්මාණයේ කැමරා අධ්යක්ෂණයෙන් චන්න දේශප්රිය, සංගීත අධ්යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සහ සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්ර යන ප්රවීණයෝ දායක වෙති.
1947 වසරේ තිරගත වූ ලංකාවේ ප්රථම සිංහල කථානාද චිත්රපටය වන “කඩවුණු පොරොන්දුව” හි ප්රධාන නිළිය ලෙසින් මෙන්ම, මිනර්වා නාට්ය කණ්ඩායම සමග ලාංකීය කලා ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තැබූ රුක්මණී දේවී සහ එඩී ජයමාන්න යනු අදටත් රසික හදවත්වල රැඳී සිටින යුගයේ අපූරුම යුවළකි.
උපුටාගැනීම
Theleader.lk




