මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ – සබීතා පෙරේරා

0
21

මම ”රෝසි” කියන චිත්‍රපටයේ රඟපාල ජනප්‍රිය කාලේ. එතකොට පාකිස්තානු කණ්ඩායමක් ඇවිත් හිටියා අපේ රටේ චිත්‍රපටයක් කරන්න. ඒකේ එහේ මෙහේ දෙකේම ෂූටින් තියෙනවා. ඒ ආපු ගමනේදී මේ අය කොහොම හරි දැකලා තියෙනවා ”රෝසි” චිත්‍රපටය. ඒ අය මාව දැකලා. මාව හෙව්වා. කොහොම හරි මුස්ලිම් කට්ටියක් හරහා අපේ තාත්තට කතා කරලා තිබුණා. කොහොම හරි මම කැමැති වුණා. මට තියෙන්නෙ ලංකාවේ දර්ශන. මොකද පාකිස්තාන කෙනෙක් එනවා ලංකාවට. ඒ ඇවිත් ඉන්න කොට එයා ලංකාවේ ගැහැනු ළමයෙක් එක්ක යාළු වෙනවා. ඒ චරිතය තමයි මම කළේ. ඒක ඉතාම සාර්ථක වුණා. ඊළඟට ඊළඟ ෆිල්ම් එකට එහේ ගියා. එහෙම ෆිල්ම් දොළහක්ම කළා. එහේ නිළියක් වගේ මාව ඒ අය පිළිගත්තා. තැනක් ලැබුණා. ඒ රටේ හරිම ලස්සන අය ඉන්නවා මට වඩා. ඒත් හරි පුදුමෙ කියන්නෙ වාසනාව කියන්නෙ මට පුදුම තැනක් ලැබුණා. ඕනම එකක් ටික කාලයක් යනකොට එපා වෙනවනේ. යනවා, එනවා ලංකාවේ වැඩක් කරන්න වෙලාවක් නැහැ.

”විරාගය”ට ගිවිසුම් අස්සන් කරලා තියෙද්දිත් පාකිස්තානයට යනවා එනවා. මට තාම මතකයි. මට විරාගය දීලා තිබුණ දිනවලට මම ආවා. ඒ ආපුවහම ඇවිත් ෂූටිංවලට ගියහම තිස්ස අයිය මගේ දිහා බලාගෙන හිටියා. බලා ඉඳලා කිව්වා ෂූටින් පස්සේ කරමු. ඊට කලින් ඔයාගේ ඔය පාකිස්තාන ගතිය යනකම් දවස් තුන හතරක් ඉමු කියලා. කිසිම වැඩක් නෑ. දින තුන හතරක් නිකන් ගිහින් ඒ අය ෂූටින් කරන දිහා බලාගෙන ඉන්නවා. ඒ අතර මම ඉගෙන ගන්නවා. මොකද තිස්ස අයියා එක්ක වැඩ කරනවා කියන්නෙම ලොකු දැනුම් සම්භාරයක් උකහා ගන්න පුළුවන්. ඒ තරම් පිරුණු දැවැන්ත චරිතයක්. තිස්ස අයියගෙන් තමයි මම ඉගෙන ගත්තෙ අධ්‍යක්ෂවරයෙක්ට චරිතයක් මොන තරම් ඔප මට්ටම් කරන්න පුළුවන්ද කියලා.

මගේ සිනමා ජීවිතේ මම රංගනය හැදෑරූ පාසල තමයි තිස්ස අයියා. විරාගයේ ”බතී” කියන්නෙ ඇත්තටම මම නෙවෙයි කියලා හිතෙන තරමට තිස්ස අයියා මාව ඒ චරිතයේ ජීවත් කළා. හරි තදට අපිව මෙහෙයවූයේ නැති වුණාට ඉතා සියුම්ව අපේ හැකියාවන් මතු කරන්න තිස්ස අයියා හරිම දක්ෂයෙක්. කොටින්ම මගේ වෘත්තිය ඇතුළේ ඒ වෘත්තීයභාවය මුවහත් කරගන්න මට සෑහෙන උදවු වුණ චරිතය තමයි තිස්ස අයියා. මම රංගනවේදිනියක් වුණා නම් එහි ගෞරවය ඔහුට හිමියි. මම සිනමාව ගැන ගැඹුරු පොත් කියෙව්වේ තිස්ස අයියා නිසා. මම ඔහුගේ ගෙදර යනවා. සිනමාව ගැන දේවල් ඉගෙන ගන්නවා. ඒ එනකොට මට පොත් දෙනවා. තිස්ස අයියා කියපු දෙයක් තමයි පුළුවන් තරම් චරිත කතා චරිත ප්‍රධාන කියවන්න කියන එක. ”මැරිලින් මොන්රෝ”ගේ පොතක් දුන්නා. මගේ ”බර්ත් ඩේ” එකට ඒකේ එයා ලියලා තිබුණා මැරිලින්ට තිබුණා තරු ගුණයක්. ඒ තරු ගුණය ඔයාටත් තියෙනව කියලා.

ඒ වගේම එයා නිතරම මට කිව්ව දෙයක් තමයි ඔයා දන්නවද කැමරාව ඔයාට ආදරය කරනවා කියලා. ඒක හැමෝටම නැති දෙයක් කියලයි එයා කිව්වේ. දැන් හිතන්නකෝ රූප සුන්දරියෝ ඉන්නවනේ. ඒත් ඒ අය කැමරාවෙන් දකින කොට ඇත්ත ලස්සන නෙවෙයි තියෙන්නෙ. මට පුදුම වැඩේ කියන්නෙ මම හරි පොඩි කෙනෙක්නෙ. ෆිල්ම්වල බලද්දී ලොකුයි වගේ. ඇත්තටම සාමාන්‍ය විදිහට දකින මට වඩා සිනමා ශාලාව තුළ ලොකු තිරය තුළ දකින මම වෙනස්. ඒක මම උපතින් ගෙනාපු වාසනාවක් කියලා මම හිතනවා. එහෙම තිරය තුළ වෙනස් වන කිහිප දෙනෙක් ඉන්නවා. ගාමිණි ෆොන්සේකා ගත්තහම එහෙම කෙනෙක්. මම ඇත්තටම හිතනවා ඒ ස්කින් එක තුළ ආකර්ෂණයක් ගේන්න මට වාසනාවක්, පිනක් තිබුණා කියලා. ඒ වාසනාව හැමෝටම නැ. නිකමට හිතන්න අපේ කාලේ වගේ නෙවෙයි අද අලුත් අය ඉන්නවා අති දක්ෂයෝ. ඒ රඟපෑම් බලපුවහම හිතා ගන්න බැරි තරම්. ඒත් මතු වෙන්නෙ නෑ. ඒ වාසනාව නෑ.

අනෙක අද අපි දකින අති දක්ෂයෝ සේරම ඉන්නෙ ටෙලිවිෂන් එක තුළ. මම ප්‍රාර්ථනා කරනවා ඒ අයට චිත්‍රපට ලැබෙන්න ඕන කියලා. මොකද පුංචි තිරයේ වගේ නෙවෙයි සිනමාව තුළ ලොකු තිරය තුළ තමයි ලොකු චරිත මතක හිටින්නෙ. මිනිස්සුන්ගෙ හදවතේම රැදෙන්නෙ. සිනමා ශාලාව තුළ කළුවර කරලා අපේ ඇස් තිරයට ගෙනියන්නෙම ඇස් දෙක හරහා ඒ චරිත අපේ ශරීරවලට, මතකවලට ඇදලා ගන්න ඕන නිසා. ඒ නිසා අලුත් පරම්පරාවට වැඩිපුර චිත්‍රපට ලැබිලා අපේ හදවත් තුළ එහෙම මතක හිටින අවස්ථා ලැබෙන්න ඕන. මම නිතර ඒක හිතනවා. අපිට ඒ වාසනාව ලැබුණා.

අම්මෝ ඔව්! ඒක හරියට තිබුණා. විශේෂයෙන්ම සිනමාව වගේ තැනක ඉන්න කොට ඒක හරි අමාරු කාර්යයක්. මුල් කාලයේ අම්මයි, තාත්තයි මගේ පිටි පස්සේම හිටියා. මොකද ඒ අය මේ ෆීල්ඩ් එකේ හොඳ නරක දෙකම දන්නවා. ඒ කොහොම කවුරු පස්සෙන් හිටියත් මෙකේ ඉඳගෙනම මේකේ ගැටෙමින්ම තමයි පන්නරය ලබන්න ඕන. මගේ අම්මයි, තාත්තයි සිනමා ෆීල්ඩ් එකේ වුණත් ඒ දෙන්න පහු කරගෙන දුර ගමනක් යන්න මට පුළුවන් වුණා. එහෙම යන්න හේතු වුණේම අම්මයි, තාත්තයි මාව සිනමාවට සම්බන්ධ කළාට මම දැනගෙන හිටියා මට ඒක මදි කියලා. තව දුර යනවා නම් මමම ගමන හදා ගන්න ඕන. මේකේ බොරුවළවල් මොනවද ඒවයේ වැටෙනවාද? නොවැටෙනවාද? වැටුණොත් ඉන් ගොඩ එන්නෙ කොහොමද? වළේම ඉන්නවාද? හැමදේම මමම ඉගෙන ගන්න ඕන කියලා මම හිතුවා. මම රංගනය ඉගෙන ගන්නත් වෙහෙසුණා. තිස්ස අයියව හොයාගෙන ගිහිල්ලා පොත්, සිනමා පට සිනමාව ගැන ඉගෙන ගත්තෙත් ඒ නිසා. මම පොත්වලට තදින්ම ඇබ්බැහි වුණෙත් තිස්ස අයියා හින්දයි. මම සෑහෙන සිනමා චරිතාපාදන කියෙව්වා. අපි විතරක් නෙවෙයි ලෝක සිනමාවේ අති දක්ෂ නිළියෝ ගැන කියෙව්වහමත් ඒ චරිතත් සෑහෙන දුක් විඳලා වළවල්වල වැටිලා හෙම්බත් වෙච්ච චරිත. මොන රටේ හිටියත් මොන භාෂාව කතා කළත් අපි වෘත්තීන් විදිහට එකම ඛේදවාචකයක් විඳිනවා. අපි කටුකන තරමට තමයි අපි චරිතයක් විදිහට මතුවෙන්නෙ. සම්මානනීය වෙන්නෙ. ලෝක සිනමාවට යන්නෙ හැම දේම.

ඒව නම් හරිම අමාරුයි. ප්‍රේක්ෂකයගේ ඉඳලා ව්‍යාපාරිකයා, රටේ ඉහළ චරිත දක්වා කරදරකාරයෝ ඉන්නවා. බඳින්න අහපු අය අප්‍රමාණයි. සිනමා අංශයෙත් එහෙමයි. කොහොම හරි අපි රඟපාන්න ඕන, එහෙම කියලා අපිට අපේ ආත්ම ගරුත්වය නැති කර ගන්න බැහැනෙ. අපි කැමැති අය ඉන්නවා. ඒ කැමැති අය එක්ක සම්බන්ධතා ඇති වෙනවා. ඒක නිළියක් වෙන්නම ඕන නැහැ. ඒත් නිළියක් වුණහම සමහරු හිතනවා ඒක හැමෝටම අයිති මිලදී ගන්න පුළුවන් දෙයක් කියලා. මුලදීම මට හැකියාවක් තිබුණා එන කෙනා එන්නෙ මොනාටද කියලා තේරුම් ගන්න. මම හිමිහිට ඈත් වුණා. මඟ ඇරියා. මගේ සීමාව මම හොඳටම දැනගෙන හිටියා. ඒ වගේම මගේ තිබුණ සම්බන්ධකම් රහසක් වුණෙත් නෑ. ඒවා වෙන්න පුළුවන් දේවල්. හැමදාම වගේ හමුවෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවක් ඇති නොවුණා කිව්වොත්නේ පුදුම වෙන්න ඕන. එහෙම තිබුණ ඒවා තිබුණා.

එදා අද කියලා නැහැ. නළුවන් වගේ නෙවෙයි නිළියන්ට කතා හදනවා. ඒක තමයි ඇත්ත. මොළේ පාවිච්චි කළේ නැත්නම් විනාශ වෙලාම යන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. චරිතයක් ගොඩනඟා ගන්න කොට අපි ඒකට කිඳා බැහැලා ඒ තුළ ඉන්න බුද්ධිමත් නම් අපිට සැබෑ ජීවිතය තුළත් ජීවත් වෙන්න බුද්ධිය තියෙන්න ඕනෙ. ආදරයට බැඳෙන ආදරය කරන අපි කැමැති චරිත ඉන්න පුළුවන්. ඒවා නෙවෙයි මම කියන්නෙ වෙනත් කතාවක්.

අපෝ ඔව්! ලොකුවට ඒ කතාව ගියා. මම දන්නෙ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. එක පාරක් මමයි, නංගියි යාළුවො කට්ටියකුයි ඉන්දියාවේ ගිහිල්ල එනකොට අපිව පරීක්ෂා කළා ඇඳුම් පවා අහක් කරලා. කවුද ඔත්තුවක් දීලා. අපේ නංගිත් පොඩියි එතකොට. ඔය කුඩු කතාව කොච්චර ප්‍රබලව ආවද කියනවා නම් මට ඉන්න බැරි තරම් වුණා. ඔය පාකිස්තානය කුඩුවලට ප්‍රසිද්ධ නිසා නිතර යන එන නිසා මේ චෝදනාව එන්නෙ කියලා මට පස්සේ තේරුණා. අම්මයි, තාත්තයි වැලපෙනවා ගෙදර. අපි අන්තිමට ලේක්හවුස් එකට ගියා. බෝධිනාගොඩ මහත්තයා හිටියේ. අපි ගිහින් එයාට කිව්වා මම ජනප්‍රියම කාලේ. අපේ ප්‍රශ්නය කිව්වා පත්තරේ මුල් පිටුවේම දැම්මා. එතනින් පස්සේ ඒ චෝදනාවත් යට ගියා. මට පාතිස්තාන ගමන එපා වෙන්නත් ඕවා බලපෑවා. රඟපාන්න ගිහින් නිකන් කුණු කතා අහන්නත් වෙනවනේ.

නැහැ! අනෙක් අය රඟපාන දිහා බලලා තමයි අපි රඟපාන්න ඉගෙන ගත්තේ. කොටින්ම රඟපාන දිහා බලල රඟපාන්න ඉගෙන ගත්තා.

ගාමිණි ෆොන්සේකා තමයි මම කැමැතිම නළුවා. ඒ වගේම මෙරට සිනමාව තුළ මම දකින දක්ෂතම නළුවත් ඔහුයි. ඔහුට විවිධ පරාසවල චරිත කරන්න පුළුවන්. ඒ වගේම මෙරට සිනමාව තුළ නළු නිළියන්ට වෘත්තීය වටිනාකමකුත් ලබා දෙන්න ලොකු වැඩකොටසක් කළ චරිතයක් තමයි ගාමිණි.

ඒ වගේම මම පුංචි කාලේ ඉඳලම කැමැතිම නිළිය මාලිනී ෆොන්සේකා. එදත් අදත් මම තවම දැක්කේ නැහැ අපේ ක්ෂේත්‍රය තුළ ඇය තරම් ලස්සන කෙනෙක්. මාලිනී අක්කාගේ පුදුම ලස්සනක් තිබුණා. එදා අපෙත් සිහින තාරකාව වුණේ ඇයයි.

ඒ වගේම ඔබ ඇහැව්වා මගේ රංගන දිවියට බලපෑම් සහගත වූ චරිතයක් සිටියද කියලා. ඇත්තටම සිටියා. ඒ තමයි ස්වර්ණා මල්ලවආරච්චි. මම ඇයව තමයි ෆලෝ කළේ. මම ඇගේ චිත්‍රපට දාගෙන බලනවා ඇය ඒ ඒ චරිතවලට පණ පොවන හැටි. ඇත්තටම ඇය අති දක්ෂ නිළියක්. ඇය තමයි. මට රඟපෑම ගැන කියව ගන්න උදවු වුණ චරිතය.

අපෝ හරියට කෑ ගහලා තියෙනවා. මම ලයිට් එකට ආවෙ නැහැ කියලා හොඳටම බැන්නා. මම ඇඬුවෙ නම් නැහැ. ඔහුට හරි බයයි ඔක්කෝම. සමහරු ළඟට යන්නත් බයයි. මගේ ෆීල්ඩ් එකේ ගෞරවය රැකුණ එකම මනුස්සයා. ඒ වගේම මම හරි මුලින් කිව්වා වගේ නළු නිළියන්ට ගෞරවය හැදුවෙත් ඔහුම තමයි. ඒ වගේම ඔහුටත් හැමෝම ගරු කළා. එයාගේ ලේබල් එකක් තිබුණා. ඒ වගේම කියන්න ඕන ඔහු කොච්චර නිහතමානිද කියලා. ඔහුත් චිත්‍රපටයක වැඩකට පකිස්තානයට ගිහිල්ලා. ඒ ගිහින් ටැක්සියේ යනකොට ටැක්සි ඩ්‍රයිවර් අහලා මහත්තයා මොන රටේද කියලා. එතකොට ගාමිණි කියලා ශ්‍රී ලංකාවේ කියලා. එතකොට අර ඩ්‍රයිවර් අහලා ආ… සබීතගේ රටේද කියලා. එතකොට මම පාකිස්තානයේ හරි ජනප්‍රියයි. මට කියන්න ඕන ඒක නෙමෙයි අරම කිව්වා කියලා මට කියන්න තරම් ඔහු නිහතමානි වෙච්ච එකයි. ඇත්තටම කවුරු හරි කෙනෙක් නැති තැන අගය කෙරුණොත් ඔහුට හෝ ඇයට ඒක කියන්න ගොඩක් අය නිහතමානි නැහැනේ. මට පාකිස්තානයෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. ඒත් අපේ රටේ දැවැන්ත චරිතය ඒක අහලා මට ඇවිත් කිව්වහම මට පුදුම සතුටක් දැනුණා. බනින වෙලාවට බනිනවා වගේම අගයන්න ඕන තැන අගයන්නත් ඔහු දන්නවා. ඒකයි වැදගත්ම දේ. මාව ඇගයුවහම මට හරි ආඩම්බරයක් දැනුණා කියලා එතුමා කිව්වා මම හිතනවා අපි වුණත් එහෙම වෙන්න ඕන.

මට ප්‍රශ්න කියන ඒවා හැමදාම තිබුණා. එදා ඉඳලා අද දක්වාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ජීවිතය තියෙනකම්ම මම මැරෙනකම්ම ප්‍රශ්න තියෙයි. ජීවිතය කියන්නෙත් ඒකමනේ. ප්‍රශ්නවලදී මම කරන්නෙ නිශ්ශබ්ද වන එක. ඒකාලෙත් එහෙමයි. ගොළුබෙල්ලා කටුව අස්සට රිංග ගන්නවා වගේ මාත් ගෙදර අස්සට රිංග ගෙන හුදෙකලාව ඉන්නවා. ටික කාලයක් එහෙම ඉඳලා හිත හදාගෙන එළියට එනවා. ඒකට ගත වෙන කාලයම මම ඉන්නෙ නිශ්ශබ්දව තමයි. මම කාටවත් උත්තර දෙන්න යන්නෙ නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. මගේ ප්‍රශ්න මම කාටවත් කියන්නෙ නැහැ. මාධ්‍යවලට කියන්න යන්නෙත් නැහැ. එදා වුණත් ලේක්හවුස් එකට ගිහින් කිව්වේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නා ඒකෙන් දුක් විඳින හින්දා තමයි මම ගියේ.

ඒත් ඊට පස්සේ කොච්චර ප්‍රශ්න ආවත් මම කළේ කාලයක් නිශ්ශබ්දව හිටපු එක තමයි. කොටින්ම මම මගේ ප්‍රශ්න හිතවත් කෙනකුට කියලවත් කියන්නෙ නැහැ. මගේ හිත හයියයි. මම හුදෙකලා වෙලා අඬනවා, දොඩනවා, කෑ ගහනවා. එහෙම ඉඳලා මම කොහොම හරි ශක්තිමත් වෙනවා. ඒ කාලය තුළ තනිවම අපා දුක් විඳිනවා. ගෙයින් එළියට යන්නෙ නැහැ. ජීවිතයේ දිගටම ඇවිල්ලා තියෙන්නෙ ඒ විදහටම තමයි.

එහෙම සම්බන්ධයක් තිබුණා කියලා හැමෝම දන්නවනේ. කොටින්ම ලංකාවම දන්නවනේ. ඉතින් සම්බන්ධයක් තිබුණා. ඒක ශක්තිමත් තැනක තිබුණා. ඒ කාලේ අපි ගැන අපි ලොකු හීන මැව්වා. ඒත් එක සන්ධිස්ථානයකදී අපිට තේරුණා ඒ සම්බන්ධය ශක්තිමත් නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධය ඉවර වුණා. සම්බන්ධයක් ඇති වෙන්නෙ ඇයි? දෙදෙනා තුළම මොකද්දෝ තියෙන රහසක් හින්දනේ. ඒක වටහා ගන්න විඳින්න ඕන කියලා හිතන හින්දනේ. එතකොට ඒක කැඩෙනවා නම් කැඩෙන්නෙත් ඒ රහස ඉවර වුණ හින්දනේ. ඉතින් අපි එයා වැරැදියි, මම හරියි. එහෙම කියලා වැඩක් නැහැ. යාළු වුණහම හැමදේම හොඳයි. තරහා වුණාම හැමදේම නරකයි. එහෙම එකක් නැහැ. ප්‍රසිද්ධ ප්‍රේම කතාවක් තිබුණා. ඒක ඉවර වුණා. ඒකත් ප්‍රසිද්ධයිනේ.

ප්‍රේම සම්බන්ධතා ඇති වෙන එක හරිම සාමාන්‍යයයි. ඒ වගේම ඒ තුළ ගමනක් නැත්නම් ඒවයේම අමාරුවෙන් එල්ලිලා ඉන්නෙ නැතිව අයින් වෙන්න ඕන. අපි අයින් වුණා. එයා එයාගේ ගමන ගියා. මම මගේ ගමන ගියා. ඉතින් ඒක ඇතුළේ එකිනෙකා හදන කතා ගොඩක් තියෙනවා. ඒ වගේම එයාට එයාගේ කතාත් ඇති. මට මගේ කතාත් තියෙනවා. ඒක තමයි ඇත්ත.

අනෙක මම අද වන විට දහමට ඉතාම ළැදිව එහි හරය හොයමින් ඊට ළං වෙමින් ඉන්නෙ. බෞද්ධ දර්ශනය තමයි මම විශ්වාස කරන්නෙ. ඒ කොහොම වුණත් අපි ජීවිතේ අරන් ඇවිල්ලා තියෙන දේවල් තියෙනවානේ. ඒවා වෙනස් කරන්න බැහැ. කරුමත් ගෙනල්ලා තියෙනවා. වාසනාවත් ගෙනත් තියෙනවා. පින්පව් දෙකම ගෙනත් තියෙනවා. අතීතයේ වුණේ වෙන්න තියෙන දේවල්නෙ. ඒවා වෙනස් කරන්න බැහැ. මම කැමැති නැති වුණත් ඒ වෙන දේවල් වෙලා තියෙනවා. කැමැති වුණත් ඒ දේවල් ඉටුනොවී තිබිලත් තියෙනවා. ඒ ඒ කාලවල්වලදී ඒ දේවල් සිද්ධ වෙනවා. අපි පහුකාලීනව තමයි ඒවා හරිද වැරැදිද හිතන්නෙ. මම උත්සාහ කරන්නෙ ඒ අතීතය අමතක කරලම දාන්න. එහෙම බැරි එකත් අර වෙන්න තියෙන විදිහම තමයි. හැබැයි මම කොහොම හරි ඒ කරුම ටිකත් ගෙවාගෙන දැන් ඉස්සරහට යනවා. තව කොච්චර ගෙවන්න තියෙනවාද මම දන්නෙ නැහැ, මේ ජීවිතේ. ජීවිතය කියන්නෙම මේ කරුම ටික ගෙවාගෙන යන එක තමයිනේ නේද? අපිට ගෙවන්නම වෙනවා. හැබැයි දැන් මම කර්මය ධර්මයෙන් වෙනස් කරන්න පුළුවන් කියන තැන අද ඉන්නවා. අද මම ධර්මය සොයාගෙන යන්නෙ ඒ විශ්වාසය එක්ක.

ඔව්! වැඩිපුරම ඉගෙන ගත්තෙ කොන්වන්ට් එකේ. මගේ තාත්තා ආගමේ අම්මා බුද්ධාගමේ. මේ දෙන්නා කසාද බැන්දහම අම්මගේ ආගමට තාත්තා කැමැති වෙලා තාත්තත් බුද්ධාගමට ළැදි වුණා. මම පල්ලි ගියා. කතෝලික ආගම තමයි මුලින් ඉගෙන ගත්තේ. මම ජේසුට හරි ආදරෙයි. ඒත් මම අද දැඩිව විශ්වාස කරන්නෙ බුදු හාමුදුරුවෝ කියපු දේවල් තමයි. මම මේ වයසට යනකොට බණ කියනවා නෙවෙයි. ප්‍රශ්න එක්ක අපි ජීවිතය ඉගෙන ගන්නවා. මම රටේ ජනප්‍රියම චරිතයක් වෙනවා. ඒ වගේම ප්‍රශ්න කන්දරාවක් එනවා. අපහාස විඳිනවා. මම මගේ පුතාට වුණත් කියන්නේ පුතා සතුට ඉක්මනින් ඉවර වෙනවා වගේම දුකත් ඉවර වෙනවා. අපි කඩාවැටෙනවා තමයි. හැබැයි ඒක තේරුම් ගන්න ඕන කියලයි. ඇත්තටම අද මම අවබෝධයෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. මිනිස්සු විදිහට අපිට දරාගන්න පුළුවන් සීමා තියෙනවා. ඒ සීමාසහිතකම් තේරුම් අරගෙන ඉන්න කොට ලේසියි. මේ ලොකු කතා කීවට තව ටිකකින් කඩාගෙනම වැටෙනවා. ඒත් අපේ මේ කියන තත්ත්වයට එනවා. නිකමට හිතන්නකෝ අපි එදා අඬපු සමහර ප්‍රශ්න මතක් වෙනකොට අද හිනා යනවා නේද?

ඒක එහෙම නොවුණ එක සියයට සීයක්ම හොඳයි කියලා හිතෙනවා. ජීවිතේ සමහර තීරණ තියෙනවා ගන්න ඔන්න මෙන්න කියලා මඟහැරුණු. මගේ ජීවිතේ එහෙම තිබිලා තියෙනවා. ඔය ඔබ අහපු කතාවත් එහෙම කතාවක් තමයි. ඒ දේ වෙන්න ඔන්න මෙන්න තිබුණේ. ඒක එහෙම නොවෙන්න හේතුවක් තියෙන්න ඇති. මොකද හැමදේටම හේතුවක් තියෙනවනේ. හේතුඵල දහම කියන්නෙ ඒකනෙ. එදා විවාහයට හැමදේම ලෑස්ති කරද්දීත් මගේ හිත කිව්වෙම නැහැ දැන්ම විවාහ වෙන්න ඕන නැහැ ඉන්න ඕන තව කල් කියලා. කොටින්ම බඳින්නෙ නැහැ කියලා හිටපු කාලයකුත් තිබුණා. වයස යනකොට ඒක වෙනස් වුණා. එහෙම ඉන්න බැහැ කියලා හිතුණා. ඉතින් පස්සෙදී කසාද බැන්දා.

මම අදටත් හරිම කැමැති සහ ඉතාම මහන්සි වෙලා කරපු චරිතයක්. සුදත් මහදිවුල්වැවගේ නිර්මාණයක් ඒක. ඉතින් මට ලොකු අභියෝගයක් වුනා ඒ චරිතය. මොකද වමේ දේශපාලනයේ පතාකයෙක් වුණ ඇන්.ඇම්. පෙරේරාගේ බිරිදනේ සෙලීනා. ඇයත් මෙරට ප්‍රබලම කාන්තා දේශපාලන චරිතයක්. මම දේශපාලනය ගැන මුකුත්ම දන්නෙ නැහැ. මම කියෙව්වා ඇය ගැන. එතකොට විවියන් ගුණවර්ධන හොයාගෙන ගිහින් ඇයගෙන් සෙලීනා ගැන ගොඩක් ඉගෙන ගත්තා. සුදත්මයි ඒ අවස්ථාව හැදුවේ. විවියන් ගුණවර්ධන ඉතාම හොඳ කාන්තාවක්. ඇය මට ඒ චරිතය ගොඩනඟන්න සෑහෙන උදවු කළා. මල්වතුවල දුවපු නටපු මම සෙලීනා වගේ චරිතයකුත් කළා. මම මට හැකි උපරිමය කළා. ඒක සාර්ථක වුණා. මම ආඩම්බරයි ඒ වගේ චරිතයකට පණ පෙව්ව එකට.

ඉස්සර බැලුවා. දැන්නම් බලන්නෙම නැහැ. ඒක නිකන් බැටරි චාර්ජ් කරනවා වගේ තේරුමක් නැහැ. හේතුව කොච්චර කේන්දර බැලුවත් වෙන්න තියෙන එක තමයි වෙන්නෙ. ඒක නවත්වන්න බැහැ. ඉතින් ඕක දැනගෙන ඉන්නවට වඩා නොදැන ඒකට මුහුණ දෙන එක හොඳනේ. ඉතින් ඒක අතඇරියා. හැබැයි මම දෛවය කියන දේ තදින්ම විශ්වාස කරනවා. කොටින්ම මම ව්‍යාපාරිකයෙක් එක්ක නම් කවදාවත්ම විවාහ වෙන්නෙ නැහැ කියලා හිටියා. අන්තිමට විවාහ වුණේ ව්‍යාපාරිකයෙක් එක්ක.

ලොකු වෙනසක් තියෙනවා. අපි චිත්‍රපට තුළ හරි නිදහස් ප්‍රේමවන්තියෝ වුණාට ඇත්ත ජීවිතය තුළ අපිට පාර්ක් එකක පෙම්වතා එක්ක ඉන්න බෑ. චිත්‍රපටයක් බලන්න යන්න බැහැ. හරිම රහසිගත ජීවිතයක් ගත කරන්න ඕන. කොටින්ම මම චිත්‍රපටවලටම කැප වුණ හින්දා මම ගෙදර දොරේ වැඩ දන්නෙ නැහැ. කොටින්ම මට ගෘහණියක් වෙන්නත් ගොඩක් ඉගෙන ගන්න කැප කිරීම් කරන්න වුණා. ඒකත් මම කළා. ෂූටින්වලට රට වටේ ගියාට මම විනෝද ගමනක්වත් ගිහින් තිබුණේ නැහැ. අනෙක මම ඉහළට ඉගෙන ගෙන තිබුණේ නැහැනේ. ඒ හින්දා පුතා මට බැරි වෙච්ච දේ කරන්න ඕන කියන තැන හිටියා. පුතාගේ අධ්‍යාපනය වෙනුවෙන් මම උපරිම කැප කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට බැරිවුණ ඉලක්කයට පුතාව යවන්න පුළුවන් වුණා. අපේ කාලේ වගේ නෙවෙයි අද කාලේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් අපේ මවුපියෝ වගේ නෙවෙයි අපි අපේ ළමයිව එතැනට තල්ලු කිරීමත් වෙන්න ඇති. හැබැයි අපි ඉගෙන ගත්තේ නැතත් ගුණධර්ම රැක්කා. දැන් ළමයි ඉගෙන ගත්තට ඒවා නැහැ. ඔය සමාජ මාධ්‍යවල බනින කමෙන්ට් බලන්නකෝ. හරිම අප්‍රසන්නයිනේ.

මගේ මහත්තය කරන ව්‍යාපාරයට අවුරුදු හැට ගාණක් වෙනවා. එයාගේ තාත්තා තමයි ඒ ව්‍යාපාර පටන් ගෙන තියෙන්නෙ. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. මම එයාගේ නෝනා විදිහට ඉන්නවා. ඇත්තම කියනවා නම් මම එයාගේ ව්‍යාපාර ගැන දන්නෙත් නෑ. මම ගෙදර වැඩ කරගෙන ඉන්නෙ. මම එයාගේ ඔෆිස්වලට යන්නෙත් නැහැ. කොහොම හරි එයා ඔය රාජගිරියේ ගොඩනැඟිල්ල හැදුවා. ඒක කුලියට දෙන්න ඕන වුණා. ඒ කාලේ මට ඕවා ගැන දැනුමක් නැහැ. දැන් වගේ නම් මම ඔහොම දෙයක් වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. කොහොම හරි එදා අපේ අවාසනාවට අපි මේක දුන්නෙ කෘෂිකර්ම අමාත්‍යාංශයට. ආණ්ඩුවේ එකක්නේ. ඒ දීලා අහන්න තියෙන හැම කතන්දරයක්ම අහ ගත්තා. දැන් මගේ මහත්තයා කියලනේ නම යන්නෙ. මේක උපාලි ජයසිංහගේ කිව්වේ නැහැ. සබීතගේ මහත්තයගේ කියලා කිව්වේ. ඉතින් ඒකට මගේ නම ඇද ගත්තා. මගේ නම ඇදගෙන ඒක මගේ බිල්ඩිම කරගෙන මට නොසෑහෙන අපහාස කළා. මම අහන්න තියෙන කතා ටික අහගත්තෙම මේ කාලේ. ඕකත් එක්ක මට කොච්චරවත් බනිනවනේ මිනිස්සු. මම කිව්වා කිසිම වැඩකට ආණ්ඩුව ගාව ගන්න එපා. මට කතා අහන්න බෑ කියලා. එහෙම කිව්වට එයා මම කියන ඒවා අහනවද? එයා ව්‍යාපාරිකයෙක්. මම ව්‍යාපාරිකාවක් නෙමෙයිනේ. ඒ නිසා මගෙන් අහලා එයා ව්‍යාපාර කරන්නෙ නැහැ. මම එපා කිව්වා කියලා නොකර ඉන්නෙත් නැහැ. මම එයාගේ වයිෆ් වෙන්නත් කලින් එයා ව්‍යාපාර කරන්නෙ. ඒත් මම තමයි ඒවට කතා ඇහැව්වෙ. ඒක ඔළුවට හරිම වධයක් වුණා. ඔය බිල්ඩිම එක්ක මම කොච්චර අපහාස වින්දද කියලා මට හිතා ගන්න බෑ. ඔය බිල්ඩිම තරම් උසට මම බැනුම් ඇහැව්වා. මගේ ජීවිතේ අන්තිමටම කලිකිරුණේ ඔය සිද්ධියත් එක්ක.

අපි 2014 විතර සමාගමක් ආරම්භ කළා. ඒකෙ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ගෝඨාභය මහත්තයා ආවා. එතකොට ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. අපේ වෙබ් සයිට් එක ලෝන්ච් කරද්දී මම ඒ ළඟ ඉන්නවා. හැබැයි එළියට ගියේ වටේ කට් කරලා. අපි දෙන්නා ඉන්න පින්තූරය. ඒකට විවිධ කතා හැදුවා. සමීප කෙනෙක් තියා අපි වැඩිය කතා බහ කරලාවත් තියෙන අය නෙමෙයි. ඒකටත් මම කතා ඇහැව්වා. ජීවිතේ මට හිතාගන්න බෑ සමහර දේවල්. මගේ ජීවිතේ වැඩ කරලා කට්ට කාලා හැම දුකක්ම වින්දත් හරි මේ ජරාවත් හරි. මේක නම් ඇත්තටම ජරා කතාවක්. අදාළම නැති දෙයක්. ඒ මම කරපු කරුමයක්. මම ගිය ආත්මේ මිනිස්සුන්ට හරියට කතන්දර කියන්න ඇති. ඒක තමයි මම මේ ආත්මේ කතන්දර මෙච්චර අහන්නෙ. ඒ කරුම ගෙවන්නම ඕනෑ. ඔය බිල්ඩින් කතාව ඔය කතා මගේ කරුම. මම ඒවා ගෙවන්නම ඕන. ඒ මදිවට තව හිටපු දේශපාලකයකුගේ නමක් පවා ඈඳුවා. මම සෑහෙන දුක් විඳලා මේ නම හදා ගත්තෙ. මේ නම් ගාවගෙන මගේ ඒ නම කැත කරගන්නේ මොකටද? මේවා මගේ කරුම. ඒක තමයි මම පිළිගන්න දේ. මම මේ ප්‍රශ්නවලින් නොසෑහෙන්න පීඩා වින්දා. දුක් වින්දා. මේවා කතා කරන්නවත් කැමැති මාතෘකා නෙමෙයි. ඒත් මම නොකළ දේවල්වලට ගොඩක් දුක් වින්දා. ඒ ටික කියන්න ඕන.

අම්මෝ ඔව්. සමහරු රඟපාන විදිහ දැක්කහම පුදුම හිතෙනවා. ඉස්සරට වඩා අද ඉන්න අය හරි දක්ෂයි. ඒත් මම දකින ලොකුම අඩුව තමයි ඒ අයගේ දක්ෂතා දකින් ලැබෙන්නෙ ටෙලිවිෂන් තුළ වීමයි. ඒ අයට චිත්‍රපට ලැබෙන්න ඕන. ලොකු තිරයක ඒ දක්ෂතා දකිනකොට තමයි ඒ අයගේ නම් රැකෙන්නෙ. ඇත්තටම මම හරිම සතුටුයි අද ඉන්න නළු නිළියන්ගේ දක්ෂතා ගැන. නම් කියන්න බැහැ. මොකද නම් මඟ හැරුණොත් ඒ අයට කරන අසාධාරණයක්. හැබැයි අති බහුතරය අති දක්ෂයෝ.

අපරාදේ නිළියක් වුණේ කියලා හිතුණ වාර තියෙනවා. ගොඩාක් කතා ඇහැව්වේ අපහාස වින්දේ නිළියක් වීම හින්දනෙ. ඒත් සමහර වෙලාවට හිතුණා නිළියක් නොවුණනම් මෙතරම් ජනප්‍රියත්වයක් ජන ආකර්ෂණයක් ලැබෙන්නෙ නැහැ නේද කියලා. ජනප්‍රියත්වයේ තියෙන හොඳ තමයි ඉහළ පිළිගැනීමක් ලැබීම. නරක තමයි ඉහළම අප්‍රසාදයක් විඳින්න වීම. අපි මහ ලොකු පවුල් නෙමෙයි අහිංසකව හිටපු අයනේ. නිළියක් නිසා ඉහළට ආවා. ඒ වුණාට මම කවදාවත් කාටවත් නපුරක් වෙනකොට සතුටු වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒත් මට ගොඩක් අපහාස විඳින්න වුණා. ඒත් ඒ හැම තැනදීම මම තේරුම් ගත්ත දෙයක් තමයි මගේ තුළ ශක්තිමත් ගැහැනියක් ඉන්නවා කියලා මම හිතනවා. ඒ තමයි සබීතා. හැමදේම කර්මය වුණත් කර්මය ධර්මයෙන් වෙනස් කර ගන්න පුළුවන් කියලා මම අද වටහාගෙන තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here