රෝල්ස් රොයිස් (Rolls-Royce) සමාගමේ ඩිජිටල් මෙහෙයුම් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දිරිය දියණිය නිපුනි කරුණාරත්න

0
13

ලෝකයේ බලවත්ම ගුවන් යානා එන්ජින් තනන බ්‍රිතාන්‍යයේ සුපිරි රෝල්ස් රොයිස් (Rolls-Royce) සමාගමේ දැවැන්තම ඩිජිටල් මෙහෙයුම් පාලනය කරන්නේ අපේ රටේ දියණියක් බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන මෙම අතිශය සංකීර්ණ තාක්ෂණික සමාගමේ ඉහළම කළමනාකාරීත්ව තලයේ අපේ රටේ නම රන් අකුරින් සටහන් කළ දිරිය ශ්‍රී ලාංකික තාරකාව වන්නේ නිපුනි කරුණාරත්න ය.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඩුබායි රාජ්‍යයේ හැදී වැඩුණු නිපුනි, තමන්ගේ ගුවන් යානා ඉංජිනේරු සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් වයස අවුරුදු 16 දී තනිවම එක්සත් රාජධානිය බලා පිටත්ව ගියාය. ලන්ඩනයේ බෲනෙල් විශ්වවිද්‍යාලයෙන් Aerospace Engineering පිළිබඳ ශාස්ත්‍රපති (MEng) උපාධිය විශිෂ්ට ලෙස සම්පූර්ණ කරන ඇය, උපාධියේ දෙවන වසරේදීම කේම්බ්‍රිජ් පර්යේෂණාගාරයක පර්යේෂණ සහකාරවරියක් ලෙස තෝරාගැනීමට තරම් සුවිශේෂී දක්ෂතාවක් පෙන්වූවාය.

අධ්‍යාපනයෙන් පසු 2014 වසරේදී Rolls-Royce සිවිල් ගුවන් සේවා අංශයට උපාධිධාරී නිෂ්පාදන ඉංජිනේරුවරියක් ලෙස සම්බන්ධ වන නිපුනි, 2015 දී සිය නිල වෘත්තීය ගමන ආරම්භ කළාය. එතැන් පටන් AI, Machine Learning සහ Lean Six Sigma තාක්ෂණය උපයෝගී කරගනිමින් සාම්ප්‍රදායික ඉංජිනේරු ක්‍රමවේද නව මානයකට ගෙන ඒමට ඇය සමත් වූවාය.

ඇය මෙහෙයවූ ප්‍රධාන ව්‍යාපෘතියකින් පමණක් Rolls-Royce සමාගමට වාර්ෂිකව පවුම් මිලියන 1.2 ක දැවැන්ත මුදලක් ඉතිරි කර දීමට ඇය සමත් වූ අතර, ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි දැවැන්ත ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානය (MRO facility) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන තාක්ෂණික නායිකාවක ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළාය.

ඇයගේ මෙම අසමසම ප්‍රතිභාව අගයමින් 2022 වසරේ සුප්‍රකට Forbes සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ යුරෝපයේ නිෂ්පාදන හා කාර්මික අංශයේ වයස 30 ට අඩු විශිෂ්ටතම තරුණ නායකයින්ගේ (Forbes 30 Under 30 Europe) ලැයිස්තුවටද නිපුනි ඇතුළත් විය. දැනට Rolls-Royce සමාගමේ Digital Technology Model Factory Manager තනතුර දරමින් සමාගමේ ඩිජිටල්කරණ පෙරළියට නායකත්වය දෙන ඇය, ආයතනයේ UK Gender Diversity Network හි ප්‍රධාන නායිකාවක් ලෙසද කටයුතු කරයි.

ජාත්‍යන්තරයේ ඉහළම තලයට ගියත් ඇය කිසිදා තම මව්බිම අමතක කර නැත. ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම (NSF) සමග එක්ව අපේ රටේ පාසල් දරුවන්ට STEM අධ්‍යාපනය ලබාදීමටත්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියන් තාක්ෂණික ක්ෂේත්‍රයට යොමු කිරීමටත් ඇය නිරන්තරයෙන්ම කැපවී සිටී.

පිරිමි ආධිපත්‍යය බහුල ඉංජිනේරු ලෝකය ජයගෙන ලෝකයේ විශාලතම සමාගමක තාක්ෂණික මුදුනටම ගිය ඇය, මුළු මහත් ශ්‍රී ලංකාවටම අතිශය ආඩම්බරයක් මෙන්ම අපේ අනාගත පරපුරට පෙන්වා දුන් විශිෂ්ට ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here