හිංසනයෙන් මිදී අලුත් ජීවිතයක් සොයන පැපුවා නිව්ගිනියාවේ කාන්තාවෝ

    0
    16

    ලෝකයේ බොහෝ රටවල කෘත්‍රිම බුද්ධිය සහ අනාගත තාක්ෂණය ගැන කතා කළත්, තවමත් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මුහුණ දීමට සිදුව ඇත්තේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වන දැඩි අරගලයකටයි. පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර කඳුකර ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට එරෙහිව මුහුණ දෙන අභියෝග සහ ඔවුන් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන මානව හිතවාදීන්ගේ සේවය පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වී තිබේ.

    විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, එරට තුළ ගෘහස්ථ හා ලිංගික හිංසනවල අඩුවක් දක්නට ලැබෙන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ගෝලීය වශයෙන් කාන්තාවන්ගෙන් 31.6%ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනවලට ලක්ව ඇති අතර, මිලියන 10ක පමණ ජනගහනයක් සහිත පැපුවා නිව්ගිනියාවේ එම අගය 64% ක් වැනි දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

    පැපුවා නිව්ගිනියාවේ ජිවකා (Jiwaka) පළාතේ ප්‍රජා සංවර්ධන කටයුතුවල නිරත වන ජැනට් කිලියා (Janet Kilea) යනු එවැනි හිංසනයන්ගෙන් මිදුණු, වර්තමානයේ වෙනත් කාන්තාවන්ගේ ජීවිත අලුතින් හැඩගැස්වීමට කැප වූ අභීත කාන්තාවකි.

    මෙම කඳුකර ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට වෛද්‍ය සහ සහන සේවා ලබා දීම අතිශයින් දුෂ්කරය. දුෂ්කර භූගෝලීය පිහිටීම, මාවත් සහ ගමනාගමන පහසුකම් නොමැතිකම මෙන්ම රාජ්‍ය සේවයන් ප්‍රධාන නගරවලට පමණක් සීමා වීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් දැඩි ලෙස අසරණ වී සිටිති. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පෙන්වා දෙන පරිදි, පැසිෆික් කලාපයේ ග්‍රාමීය කාන්තාවන් නගරවල කාන්තාවන්ට වඩා දෙගුණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, සමාජයේ පවතින සාම්ප්‍රදායික වැරදි මතවාද නිසා ඔවුන් තවත් අමාරුවක වැටී සිටිති.

    ජිවකා පළාතේ කාන්තාවන්ගෙන් 60%ක් පමණ යම් ආකාරයක හිංසනයකට මුහුණ දෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, වෛද්‍ය උපදෙස්, ප්‍රථමාධාර සහ නීතිමය උපකාර ලබා දෙනු ලබන්නේ මින්ජ් (Minj) නගරයේ පිහිටි එකම මධ්‍යස්ථානයකිනි.

    මෙම ප්‍රහාරවලට ලක්වන කාන්තාවන්ට ශාරීරික වේදනාවන්ට අමතරව දැඩි මානසික අවපීඩනයන්ට සහ කම්පනවලට මුහුණ දීමට සිදු වේ. එබැවින් ‘Medecins Sans Frontieres’ (MSF) වැනි ජාත්‍යන්තර වෛද්‍ය සංවිධාන සහ ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයන් එක්ව ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රථමාධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

    පැපුවා නිව්ගිනියාවේ දේශපාලන නායකත්වය සහ රීති මඟින් ගෘහස්ථ හිංසනය නීතිවිරෝධී කර තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා සහ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමේ ප්‍රතිශතය ඉතා අවම වීම විශාල ගැටළුවකි.

    එහෙත්, ජැනට් කිලියා වැනි ස්වේච්ඡා සේවිකාවන්ගේ කැපවීම නිසා බොහෝ කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් ලැබී ඇත. ආර්ථික ස්වාධීනත්වය ලබා ගැනීමට මග පෙන්වීම හරහා, හිංසනකාරී පවුල් පසුබිම්වලින් මිදී තම දරුවන් සමඟ ආරක්ෂිත ජීවිතයක් ගොඩනගා ගැනීමට බොහෝ කාන්තාවන්ට මේ වන විට හැකි වී තිබේ.

    සමාජයේ මුල් බැසගත් වැරදි ආකල්ප සහ හිංසනයන්ට එරෙහිව මෙම මානව හිතවාදීන් ගෙන යන අරගලය, ඉදිරියේදී මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත බේරා ගැනීමට හේතු වනු ඇතැයි විශ්වාස කෙරේ.

    වැඩිදුර කියවීම් සඳහා
    IPS UN Bureau Report

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here