හිටපු ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
පසුගිය 15 වැනි දින හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි. ඒ අනුව, ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම, අද අලුයම කෙළින්ම රෝහලේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබ ඇත. මෙම විදේශගත වීම සඳහා ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද එක්වී තිබේ. ඔවුන් දෙදෙනා අද අලුයම 01:10 ට කටුනායක ගුවන් තොටුපොළින් සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
මේ අතර, මෙම ගමන සම්බන්ධයෙන් තවත් විශේෂ සිදුවීමක් වාර්තා වේ. එනම්, ගුවන් යානයට ගොඩ වී එය පිටත්වීම සඳහා වන අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට, ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලීසියෙන් ඇය වෙත දැනුම්දීමක් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව වෙත රැගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් අනතුරුව, ඈන් ද ලිවේරා මහත්මිය අනිද්දා දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.




