ලෝක සාම පා ගමනේ සාම ගීතය ගයන ශ්‍රී ලාංකික දියණිය – සිත්රූ චෙනායා

0
9

ලොව පුරා යුද ගිනිදැල් ඇවිළෙද්දී පුංචි ඇය සාමයේ පණිවුඩය ගෙන ලෝවැසියා වෙත ගියාය. පසුගියදා ලෝක සාම පා ගමනේ බොහෝ තැන්වල ඇසුණේ ඇගේ හඬයි. නොනවත්වා අමෙරිකාවෙන් ලැබෙන ප්‍රතිචාර සමඟ සිත්රූ චෙනායාගේ සාම ගීතය ගැන සමාජ මාධ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය ද ශ්‍රී ලාංකික දියණියක් වන සිත්රූ සිංහල භාෂාව සහ ලංකා ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඇත්තියකි. සාමයේ ගීතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව තුටින් පසුවන ඇය කලා කටයුතු කිහිපයක් සඳහා ලංකාවට පැමිණ සිටින මොහොතේ අපට හමුවිය.

“ලෝක සාමය ගැන මං ගයපු ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. “ඔයා ගොඩක් ලස්සනට ගීතය ගයනවා“ කියලා බොහෝ දෙනා කියනවා. මට හරිම සතුටුයි. සමහරු අහනවා “පුංචි ඔයාට ඔය වගේ අදහසක් ආවෙ කොහොමද” කියලත් . මේ යුද්ධයට මං කැමැතිම නැහැ. ඒ නිසයි මම සාමය ඉල්ලලා ගීතය ගැයුවේ. මිනිස්සු, සත්තු මැරෙද්දි, අපි වගේ පුංචි ළමයි මියයද්දී , අතරමං වෙද්දි මට ගොඩක් දුක හිතුණා. ඒ නිසයි මං ඒ වගේ ගීතයක් ගැයුවේ.

මේ වෙද්දි මම තවත් සිංහල ගීත තුනක් ගායනා කරලා තියෙනවා. ඒවා යූටියුබ් එකෙන් අහන්න පුළුවන්. හර්ෂණ මාමගේ සංගීතයට ගායනා කළ ගීත දෙක තාම රිලීස් කළේ නැහැ. මමත් ගීතයක් ලිව්වා. ඒක මෝටිවේෂන් ගීතයක්. සංගීතවත් කරන්නේ දිනේෂ් සුබසිංහ මාමා. ගොඩක් අය තමන්ගේ හීන අතරමඟ අතහරිනවා. මට ඕන කළේ එයාලට එහෙම කරන්න එපා කියල කියන්න. මම කියන්නේ හැමෝම සතුටින් ඉන්න කියලා.“

ලොව නන් දෙසින් ලැබෙන ප්‍රතිචාර හමුවේ තම දියණිය ගැන නිහතමානී ආඩම්බරයකින් පසුවන ගයනී විජේසුන්දර සිත්රූ දුව ගැන පැවසුවේ මෙවන් කතාවකි.

“මගේ මහත්තයා හිරන්ත නිශ්ශංකත් ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරීවරයෙක් විදිහට සේවය කරනවා. මමත් නීතිඥවරියක්. සිත්රූ අපේ එකම දරුවා. අවුරුදු තුනේ විතර ඉඳන් අපට තේරුණා දුවට ගායන හැකියාව තියෙනවා කියලා. ගෙදරදි මං ගයන සින්දු දුව තනියම ගයන්න උත්සාහ කළා. ඒ කාලෙදිම දුවගේ වෙනස් වෙනස් පිච්වලට ගායනා කිරීමේ හැකියාව අපි දැක්කා. මොනවා ඇහුවත් දුව උත්තර දෙන්නේ සින්දුවක් කියනවා වගේ තාලෙට. අවුරුදු පහ විතර වෙද්දි අපි දුවව ඔස්ට්‍රේලියන් චිල්රන් කොයාර් (CHOIR) එකේ ඔඩිෂන් එකකට එක්ක ගියා. ඒකෙන් තේරිලා එහි සාමාජිකත්වයත් ලැබුණා. හොඳ වොයිස් ට්‍රේනිං එකකුත් එතැනින් ලැබුණා. ඒ හරහා ලෝක තරගවලට ඉදිරිපත් වෙන්නත් අවස්ථාව ලැබුණා. මේ වෙද්දි දුව ශාස්ත්‍රීය සංගීතය පැත්තෙන් තරග 9කින් රන් පදක්කම් 9ක් දිනලා තියෙනවා. ඒ විදිහට ලෝක ජයග්‍රහණ ලබපු 68 දෙනකුට 2024 වසරේදී එන්ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සජිවී ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. දුව එදා ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි දෙකම නියෝජනය වන අංගයක් ඉදිරිපත් කළා.

ඔස්ට්‍රේලියාවේ සාක්‍ය මුණි සම්බුද්ධ විහාරයේ දහම් පාසලේ තිබුණු ඔඩිෂන් එකකදී දුව ‘නොකියාම එදා ඇසළ මහේ’ ගීතය ගායනා කළා. ඒ දුව මුලින්ම සිංහල සින්දුවක් ගයපු අවස්ථාව. ඒ වෙද්දි දුවට අවුරුදු හයටත් අඩුයි. ඒ වගේම සිංහල අවුරුදු උත්සවවලදී අපේ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්න, සිංහල සින්දු කියන්න පටන් ගත්තා. දුවට දැන් හොඳට සිංහල කතා කරන්න, ලියන්න පුළුවන්.

ලංකාවේ ඉන්න කාලෙට දුව ශ්‍රී සම්බෝධි දහම් පාසලට යනවා. පසුගියදා පැවැත්වුණු ගීත තරගයකදි අවසන් පස්දෙනා අතරට ආව නිසා වෙසක් උත්සවය පැවැති වේදිකාවේ ගීතයක් ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා.

මේ වෙද්දි දුවගේ ගීත හතරක් පටිගත කරලා තියෙනවා. එකක් ලෝක සාමය ගැන කියැවෙන සින්දුවක්. ලෝක සාම පා ගමනත් එක්ක ඒ ගීතය ලෝකය පුරාම ඇහෙන්න ගත්තා. මේ වෙද්දි ලොව පුරා මිලියන ගණනක් ඒ ගීතය නරඹලා තියෙනවා. ගීතය ලියලා දුන්නේ ආචාර්ය මහින්ද රත්නායක. තනු නිර්මාණය දුවගේ. සංගීතය නලීන් නාගොඩවිතානගේ. ඊට අමතරව තවත් සිංහල සින්දු තුනක් නිර්මාණය කළා. විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගායනා කරන ‘මුත්තණුවනි අහන්න’ ගීතය සහ ‘සූටික්කා‘ ගීතය රචනා කළේ මහාචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්. සංගීතය නලීන් නාගොඩවිතානගේ. ‘නමදිමු ශ්‍රී ලංකා ධරණී’ ගීතය ලිව්වේ මම. එය සංගීතවත් කළේ සංගීතඥ දර්ශන රුවන් දිසානායක. ඒ වගේම රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ විසින් රචිත ‘සුවඳ අරලිය’ ගීතය සංගීතවත් කළේත් නලීන් නාගොඩවිතාන. තවත් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරමින් ඉන්නවා.

අපි වරින් වර දුවව ලංකාවට එක්ක ඇවිත් සිංහල භාෂාව, සංස්කෘතිය වගේම ලංකා ඉතිහාසය ඉගැන්නුවා. ඒත් එක්කම කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා. කවදාහරි අපේ දේ ලෝකයට ගෙනියන්න එයාට හැකියාව තියෙනවා කියලා අපි හිතනවා. ලංකාවට එන හැම අවස්ථාවකම අපි දුවව ලංකාවේ ඓතිහාසික ස්ථානවලට එක්ක ගිහින් අපේ උරුමයන් ගැන කියල දෙනවා. අපේ සංස්කෘතියට දුවත් ගොඩක් කැමැතියි. ඒ වගේම සමාජසේවා කටයුතුවලටත් ගොඩක් කැමතියි. 2024 ලෝක කුසලාන වෙළෙඳ දැන්වීමට පෙනී ඉඳලා ලැබුණු මුදල් පිළිකා රෝහලට පරිත්‍යාග කළා. ඒ වගේම ලබපු ජයග්‍රහණවල මුදල් ලංකාවේ දුෂ්කර පාසලකට අවශ්‍ය සංගීත භාණ්ඩ අරන් දුන්නා. දුව ලංකාවට ගොඩක් ආදරෙයි.“

වයස අවුරුදු පහේ සිටම Australian Children’s Choir හි සාමාජිකාවක් වන සිත්රූ ශාස්ත්‍රීය සංගීතය මෙන්ම ඔපෙරා ගායනයේද දස්කම් දක්වන්නීය. ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලංකාවේද කටහඬ පිළිබඳ පුහුණුව ලබා ඇති සිත්රූ පාසල් බටහිර තූර්ය වාදක මණ්ඩලයේ සාමාජිකාවක්ද වන අතර පියානෝ, ගිටාර්, වයලීන්, තම්මැට්ටම්, උඩරට බෙරය ආදී භාණ්ඩ වාදනයේද දක්ෂය. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන ඇය ශ්‍රී ලංකාවට ආඩම්බරය ගෙන දෙන දිරිය දියණියකි.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here