2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.
බ්‍රිස්ටල්හි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 98කට දැවී ගිය අතර, එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී පන්දු 23ක් ඉතිරිව තිබියදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හඹා ගියේය.
තරගයේදී චමරි අතපත්තුට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණි.
තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ වසර 18ක් පුරා ජාතික කණ්ඩායම නියෝජනය කළද ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයකට රැගෙන යාමට නොහැකි වීම පිළිබඳ දැඩි කනගාටුවක් ඇති බවයි.
“මම පෞද්ගලිකව බොහෝ දේ ලබාගෙන තිබුණත්, නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ මට දැනෙනවා” යනුවෙන් චමරි පැවසුවාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ තරගයේදී වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුව තිබූ බවත්, ඒ පිළිබඳව තමන්ට පසුතැවීමක් ඇති බවත්ය.
36 හැවිරිදි චමරි අතපත්තු මේ දක්වා පැවැති සියලුම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වී ඇති අතර, ඉදිරියේදී ක්‍රීඩා කිරීම පිළිබඳ තීරණය තම ශාරීරික යෝග්‍යතාව සහ දක්ෂතා මත තීරණය වන බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට තවදුරටත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉදිරියට යාම සඳහා අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන අවසන් තරග දෙක ජය ගැනීම වැදගත් වේ.




