දැවටෙන සුරම්‍යා සුරකිමු

Author

Categories

Share

තම දරු පවුල පෝෂණය කිරීමට ස්වාමිපුරුෂයාට මෙන්ම බිරිඳකගේ උරමතටද වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරේ. එසේ තිබියදීත් වත්මන් කාන්තාව රැකියාවක නිරත වෙමින් ඒ තුළින් තම පෞරුෂයද ඉහළ නංවා ගනිමින් සමබරව ජීවිතය ඉදිරියට ගෙන යාම අගය කළ යුතුය. එවන් වූ ශක්තිමත් කාන්තාව කිසිම බාධාවකදී නොසැලී සිටීම ඔවුන් තුළින් දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කලාකාමී කාන්තාව කිසි විටෙකත් එවැනි බාධකයකදී, කරදරයකදී මනසින් වැටෙන්නේ නැත. මන්ද ඇයගේ මනස පිරී ඇත්තේ කලාකාමී සුන්දර සිතුවිලි හේතුවෙනි. එවන් සුන්දර, සුවිශේෂී කලාකාරිනියක් පිළිබඳ මෙසේ සරසවිය තුළින් අකුරු අමුණනන්නට හැකිවීම භාග්‍යයකි.

ඇය සුරම්‍යා මාපිටිය යි. කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.ගීත රචිකාවියකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. පිටපත් රචිකාවියකි. ගුවන් විදුලි ශිල්පිනියක සහ රංගන ශිල්පිනියකි. ඇය ජාතික රූපවාහිනියේ වැඩසටහන් අංශය භාරව සිටි අධ්‍යක්ෂවරියයි. කලා හැකියාවන් ගොන්නක් දෝත දරා දිගු ගමනක් පැමිණි ඇයව බොහෝ පිරිසකට මතකයේ රැඳුණේ ඇයගේ සුරතින් ලියැවුණු අපූරු ගී පද වැල් නිසාය. සුරම්‍යා මාපිටිය විසින් ලියැවුණු මුල්ම ගීතය වූයේ ” නුඹ යන්නට යන්නට යනවා නම් , මට ඉන්න කියන්න බැහැනේ ඉතින්” යන අපූරු ගීතයයි. ඉන්පසුව ඇය ලියූ ගීත රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ නිරෝෂා විරාජිණී විසින් ගායනා කරන අළුපාට හැන්ඳෑවේ ගීතය නිසාවෙනි. ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ ගයන පෙම් කවක් ලියන්නට ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක හිමිකාරිය වන්නට සුරම්‍යාට හැකිවිය.

එදා ඇයගේ අතින් ලියවුණු ගීතවලට ආදරය කළ පිරිස අද ඇය වටා රොක්වී සිටිති. අප ජීවත්වන කෙටි කාලය තුළ ඊළඟ තප්පරයේදී අපට කුමක් සිදුවේ දැයි කිව නොහැකිය. ජීවිතය එතරම්ම අස්ථිරය. සතුටු සිනා මැද ගලායන අපගේ ජීවිතයට නොසිතූ මොහොතක පැමිණෙන කරදර බාධක ලෙඩරෝග නිසා අප මනසිකව සහ කායිකව අසරණ වන අවස්ථා එමටය. එහෙත් ඒ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකිනම් ඒ අපගේ ලබන ජයග්‍රහණයයි. විශේෂයෙන් ගැහැනිය ඕනෑම දෙයක් දරා ගනිමින් ජීවත් වන්නියකි. සුම්‍යාද එවැන්නියකි. අද වන විට ඇය අසනීප ගතියෙන් පසු වුවද ඇය මනසින් ශක්තිමත් කාන්තාවකි. ඇය අද දින සරසවිය සමඟ ඇයගේ ගමන් මඟ ආරම්භයේ සිට කතා කළත් ඇය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ අද සවස් යාමයේ ඇය වෙනුවෙන් ” කවි සමඟ ආදරේ ” ප්‍රසංගය සමඟ එක් වන්නටය. ඇය ඒ වෙනුවෙන් , කලාවට සවියක් වන සරසවිය සමඟ කතා කිරීමට ඉතාමත් ලෙන්ගතු කමින් එක්වූවාය. ආදරය, කරුණාව , ආරක්ෂාව , ලෙන්ඟතුකම ඇයට අවැසිම මොහොතක සුරම්‍යා මාපිටිය නම් සොඳුරු

සිතැත්තිය සරසවිය සමඟ ඇගේ වචන හුවමාරු කරගත්තේ දැඩි ශක්තිමත් බවකින් යුතුවය.

මුලින්ම මම ස්තූති කරනවා මම අසනීප තත්වයෙන් සිටින මේ මොහොතේ මට ආශීර්වාද කරන, ආදරය ලබාදෙන හැමෝටම. මම එය අගය කරනවා . ඒ ආදරය මට ලැබෙන්නේ මා කළ කලා නිර්මාණ වෙනුවෙන් මා දැක්වූ දායකත්වය නිසා කියලයි මම හිතන්නේ.

පාසල් කාලයේ මම ලොකුවට කලාවට සම්බන්ධ වූ කෙනෙක් නෙවෙයි. මම මුලින්ම ඉගෙන ගත්තේ පිළියන්දල අක 1 කණිෂ්ඨ විදුහලෙන්, පසුව පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ගියා. අපොස සාමාන්‍ය පෙළ කරද්දී පාසල් වේදිකාවට සම්බන්ධ වුණා. සාහිත්‍ය තරඟ වලින් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ හිමිකරගත්තා. ගද්‍ය රචනා, පද්‍ය රචනා වලට මම දක්ෂතාවය දැක්වූවා. ගද්‍ය සහ පද්‍ය රචනා තරඟ වලින් ජයග්‍රහණය ලබා ගනිමින් සම්මාන සහතිකපත් ලබා ගත්තා. 1979 දී අන්තර් ජාතික ළමා දිනය වෙනුවෙන් තිබූ නාට්‍ය තරඟාවලියෙන් හොඳම සහය නිළිය ට හිමි සම්මානය මට ලැබුණා. ඒ ජයග්‍රහණයෙන් පසු මගේ හිත වේදිකාවට ඇඳී ගියා.

පුංචි කාලේ සිට මම ශශ්‍රී ලංකා විදුලියට සම්බන්ධ වෙලා සිටියා. ළමා ශිල්පිනියක් විදිහට. ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයට සම්බන්ධ වෙලා සිටියා. ඒ ඔස්සේ සහන නිවේදිකාවක් දක්වා දිගු ගමනක් එන්න හැකියාව ලැබුණා. ඉන්පසුව ප්‍රසිද්ධ වේදිකාවටත් සිනමාවටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. වේදිකාවට තිබූ කැමැත්ත නිසාම මන්දාරම් වැහි , කළු වත හැඳී කත, දස පනත , චෝරනාථ , දෙව්ලොව යනකන් සහ නාග සලං වැනි වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඔය අතරේ තමයි මට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ මා හිතවත් ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර නිසා. ඔහු සහය අධ්‍යක්ෂණය කළ මැණික් මාළිගා චිත්‍රපටයට මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්පසුව අධ්‍යක්ෂ යසපාලිත නානයක්කාරගේ ජය සිකුරුයි සහ ෂෙල්ටන් පයාලයන්ගේ ගොළු මුහුදේ කුණාටුව චිත්‍රපටවල රඟපෑවා.

මේ අතරේ තමයි මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මගේ රංගන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතුණා. ජාතික රූපවාහිනියෙන් නීතියක් පනවා තිබුණා එහි සේවය කරන අතරතුර කිසිම කලා කටයුත්තකට සම්බන්ධ විය නොහැකි බව. මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ 1983 දී. පුහුණුවන නිෂ්පාදන සහකාරවරියක් විදිහට. ඒ තනතුර සඳහා දහස් ගණනක් අයදුම්පත් ලැබී තියෙනවා. සම්මුඛ පරීක්ෂණ වට තුනක් තිබුණා. ඒ අතරින් තමයි මාව තේරුණේ. මම ජාතික රූපවාහිනියට හරිම ආදරෙන් කැපවීමෙන් වැඩකළා. පියවරෙන් පියවර මම ඉදිරියට ආවා. අන්තිම තනතුරේ සිට ඉහළම තනතුරක් දක්වා ආ ගමන ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් . මුලින්ම පුහුණුවන නිෂ්පාදන සහකාර, සහකාර නිෂ්පාදිකා, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා, සහකාර අධ්‍යක්ෂිකා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය කියන මේ සෑම තනතුරකම ඉඳලා තමයි ජාතික රූපවාහිනියේ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂවරිය බවට පත්වූයේ. මට මේ තැනට එන්න අවුරුදු හතළිහක් ගතවුණා.

පුංචි කාලේ කවි ගීත ලියපු මම පසුකාලයේ ගීත රචිකාවක් බවට පත්වුණා. ඒ කාලේ මම ලියපු කවි හරිම ලස්සනයි කියා බොහෝ දෙනා කිව්වා. මගේ කවි කියපු අය කිව්වේ මගේ කවිවල ගීතමය රසයක් අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් මට හිතුණා මා අතින් ලියවුණු ගීත එකතු කරලා හැමෝටම රස විඳීන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න. ඒ සිතිවිල්ල මල්ඵල ගන්වන්න පුළුවන් වුණා 2005 දී. මගේ ගීත එකතු කරලා මම සංයුක්ත තැටියක් නිකුත් කළා . අළුපාට හැන්දෑව නමින්. ඒ වගේම තමයි ගීත රචනා එකතුවෙන් පොතක් එළිදැක්වූවා. ඒ වගේම ඉතා විචිත්‍රවත් අන්දමින් ප්‍රසංගයක් කළා . සංයුක්ත තැටියක් එළිදැක්වීම, ගීත රචනා ඇතුළත් පොතක් එළිදැක්වීම ඊට සමගාමීව ප්‍රසංගයක් පැවැත්වීම මේ කාරණා තුනම එකම දිනයකදී සිදුවුණේ ලංකාවේ ප්‍රථම වතාවට. ඒ අවස්ථාව සඳහා මගේ ගීතවලට ඇලුම් කරන විශාල පිරිසක් ආවා. ඒ නිසා මගේ ගී රචනා ඉතා ඉක්මනින් ජනතාව අතරට ගියා.

මම ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ගියාට පසුව මගේ ඉගෙනීම් කටයුතුවල නැවතත් මා නිරත වුණා. මගේ රාජකාරි කටයුතු කලා කටයුතු නිසා මගේ ඉගෙනීම් කටයුතු අතපසු වෙලා තිබුණා. ඒ නිසා විශ්‍රාම සුවයෙන් සිටින අතරේ මගේ අතපසු වූ ඉගෙනීම් කටයුතුවලට සම්බන්ධ පර්යේෂණ කටයුතු සම්පූර්ණ කර ගත්තා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් හැදෑරුවා. ඔය අතරේ ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍යවලට ගීත ලිව්වා. ටෙලි නාට්‍යයකට දායක වුණා. විශේෂයෙන්ම මට අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාලවල දේශන පවත්වන්න. ඒ අවස්ථාවන් මම භාර ගත්තේ බොහෝම සතුටින්.

අද මම ඉන්නේ අසනීප තත්වයෙන්. මට ආදරය කරන පිරිසක් මා වටා ඉන්න බව දැනුණේ මම අසනීප වුණාට පසුවයි. මම දැක්කා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන දේවල්. ඒ හැම දේකම තිබුණේ මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල මට ආශීර්වාද කරපු වදන්. එක සැරෙන් සනීප වෙන ලෙඩක් නෙවෙයි මට හැදිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මට සැත්කමක් කරන්න සිදුවෙලා තියෙනවා. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි ” කවි සමඟ ආදරේ ” ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඒක මට ආදරය කරන කලාකරුවන් , රසිකයන්, සහ මගේ හිතවතුන්ගේ අදහසක්. මමත් හිතුවේ එවැනි ප්‍රසංගයක් පැවැත්වීම හොඳයි කියලා. කෙනෙකුගෙන් නිකන් දෙයක් ගන්නවාට වඩා මගේ දෙයක් ඒ වෙනුවෙන් ඔවුන්ට දෙන්න මම කැමතියි. මට ඔවුන් වෙනුවෙන් දෙන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි මා කළ නිර්මාණ . මගෙ නිර්මාණ වලින් තමයි” කවි සමඟ ආදරේ ප්‍රසංගය සැලසුම් කරල තියෙන්නේ. ඒ ප්‍රසංගය සඳහා මා අලුතින් කළ ගීත රචනාත් ඇතුළත් කළා. ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ ගායක ගායිකාවන් රැසක් අද ප්‍රසංගයට සහභාගී වෙනවා. ගීත විසිහතරකට අධික ප්‍රමාණයක් මේ ප්‍රසංගයේදී ගැයෙනවා. එදිනට තවත් විශේෂ කටයුත්තක් සිදුවෙනවා. මගේ ආදරණීය මිතුරිය, සුබසෙත පුවත්පතේ වත්මන් කතුවරිය අරුණි මුතුමලී විසින් රචිත “සුරම්‍ය වත සුරම්‍ය මාපිටිය ජීවන ගී මඟ” කෘතියත් එදාට එළිදැක්වෙනවා. ඇගේ ළෙන්ගතුකමට මම කවදත් ආදරෙයි. “කවි සමඟ ආදරේ” ප්‍රසංගය අද සවස 6.30ට ඕර්ධ්ඛ්ඩ් හිදි පැවැත්වෙනවා. මේ සඳහා මට ශක්තිය සපයන බොහෝ පිරිසක් ඉන්නවා. කැස්බෑව සෞන්දර්ය ශක්තිය, කැස්බෑව ප්‍රදේශයේ කලා කරුවන්ගේ එකමුතුව වන කැසිබියන්ස්, ජාතික රූපවාහිනීයේ වත්මන් සභාපතිතුමා ඇතුළු කාර්ය මඬුල්ල සහ හිටපු ප්‍රධානීන් සහ සේවකයන් මට දෙන සහයෝගය අතිමහත්. ඒ වගේම කලාකරුවන්, මාධ්‍ය හිතවතුන්ටත් බෙහෙවින් ස්තුතියි. මෙම ප්‍රසංගයේ සංගීත නිර්මාණය විශාරද නන්දසේන කටුවාවල සහ දර්ශන රුවන් දිසානායක විසින් සිදුකෙරෙනවා. මට අවශ්‍ය මගේ ගීත නිර්මාණ ඉදිරි පරපුරටත් තිළිණ කරන්න. ඉතින් එන්න අද සවසට කවියක් අසන්න. ගීතයක් රස විඳීන්න.

සිය ගණනක් ගී පද වැල් අමුණමින් , රසික සිත් නැළවූ සුරම්‍යාවනි,

සරසවිය කර්තෘ මඬුල්ල ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ ආදරණීය වදන් පෙළක් ඔබ හමුවේ තැබීමෙනි.

අළු පාට හැන්දෑවේ

ඔබ තනිවී නැත

රන්පාට සමනල්ලු ඔබ වටා පියාඹනු ඇත.

පින්න මල් පොකුරු පරවී නැත

මල් සමය තවම නිම වී ඇත

ඉතින් සුරම්‍යාවනි

ඔබ තනි වී නැත.

නයනාංජලි දෙහිපිටිය

sarasaviya

Author

Share