නවාතැන් ගෙන දින පහලොවක් තුළ අනිවාර්යෙන්ම මෝක්ෂයට යා හැකි වාරණාසියේ මරණයේ හෝටලය; මුක්ති භවන් | ඒ.ජී. රේණුකා දමයන්ති

    0
    16

    විද්‍යා තාක්ෂණික වශයෙන් දියුණු නූතන සමාජය තුළ මරණය යනු බොහෝ විට තාක්ෂණික උපකරණ, ඖෂධ සහ රසායනික ගන්ධය සේම සුදු පැහැති ඇඳ ඇතිරිලිවලින් වට වූ, රෝහල් යහනක් මත සිදු වන, යම් පුද්ගලයකු හට අත්විඳීමට සිදු වන හුදෙකලා මෙන්ම ශෝකජනක වෛද්‍යමය සිදුවීමකි.

    බටහිර වෛද්‍ය විද්‍යාව මරණය දකින්නේ ජීවිතය බේරා ගැනීමට දැරූ උත්සාහයක අසාර්ථක ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත්, ඉන්දියාවේ වාරණාසි හෙවත් පූජනීය කාෂි නුවර පිහිටි “කාෂි ලාභ් මුක්ති භවන්” (Kashi Labh Mukti Bhavan) හෙවත් “කාෂි නුවර සුබසාධන විමුක්තියේ නිවහන” මෙම භෞතිකවාදී සම්මතයන් සම්පූර්ණයෙන්ම බිඳ දමන මරණාසන්න වූවන්ගේ සැනසිලිදායක නවාතැනකි. නොඑසේ නම් මෙය ලොව අන් කිසිදු තැනක දැකිය නොහැකි, “මියයෑම සඳහාම වෙන් වූ නිවාසයක් හෝ හෝටලයක්” ලෙස හැඳින්විය හැකිය. එනිසාම මෙය වාරණාසියේ මරණයේ හෝටලය (Death Hotel of Varanasi) ලෙස ද ප්‍රකට වී තිබේ. ඒ අනුව මෙම ස්ථානය, මරණය යනු බිය විය යුතු අවසානයක් නොව සැනසිලිදායක මනසකින් යුතුව සංසාර දුකෙන් එතෙර වන පරම මෝක්ෂය කරා යන පූජනීය දොරටුවක් බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති.

    මණිකර්ණිකා තොටුපල

    හින්දු දර්ශනය හා වාරණාසියේ අධ්‍යාත්මික භූමිකාව දෙස බලන කල, කාෂි නගරය යනු ශිව දෙවියන්ගේ ආධිපත්‍යයට අයත්, කාලය සහ අවකාශය ඉක්මවා ගිය පූජනීය භූමියකි. “කාශ්‍යාම් මරණාන් මුක්තිඃ” (කාෂියේ මියයෑමෙන් සසරින් නිදහස් වේ) යන වසර දහස් ගණනක් පැරණි සාම්ප්‍රදායික විශ්වාසය අදටත් භාරතීය හින්දු ආගමික පරමාදර්ශයකි. එනිසාම ඒ මත පිහිටා, දිව්‍යමය ගංගා මාතාවගේ තීරයේ පිහිටි මුක්ති භවන්හිදී අවසන් හුස්ම හෙළා ආදාහනය වීමට දැඩි හින්දු භක්තිකයෝ ප්‍රාර්ථනා කරති. එමඟින් ආත්මය ලක්ෂ 84ක් වූ දීර්ඝ පුනරුත්පත්ති චක්‍රයේ බැඳීම්වලින් සදහටම මුදා හැර පරමාත්මය සමඟ ඒකාබද්ධ කෙරෙන බව ඔවුන්ගේ නොසැලෙන ඇදහිල්ලයි. මෙය බුදු දහමේ පරම නිෂ්ඨාව වන නිවනට සමාන හින්දු විශ්වාසයකි.

    මෙම සුවිශේෂී ආගමික සහ දාර්ශනික අවශ්‍යතාව පහසුවෙන් ඉටු කර දීම වෙනුවෙන් 1908 වසරේදී මුක්ති භවන්හි මූලික අඩිතාලම වැටුණු අතර, පසුව 1958 වසරේදී ප්‍රකට ඩැල්මියා (Dalmia) පවුලේ දායකත්වයෙන් එය ලාභ නොලබන පුණ්‍යායතනයක් ලෙස වඩාත් සංවිධානාත්මකව ස්ථාපිත වී තිබේ. විසිවන සියවසේ ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනැංවූ ඩැල්මියා පවුල වෙනුවෙන් මෙය අරඹන ලද්දේ විෂ්ණු හරි ඩැල්මියා සතු පුණ්‍යායතන අරමුදලකිනි. එතැන් සිට අද වන තුරු වයෝවෘද්ධ මෙන්ම රෝගී පුද්ගලයන් 14,000කට අධික පිරිසක් මෙහි රැඳී සිටිමින්, තමන් අපේක්ෂා කළ සදාකාලික මෝක්ෂය ප්‍රාර්ථනා කරමින් සැනසිලිදායක ලෙස අවසන් හුස්ම හෙළා ඇත. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසනුයේ මරණය සන්තුට්ඨිදායක අත්දැකීමක් කර ගැනීම පිණිස ලොව ඇති එකම ස්ථානය මෙය බව ය.

    මෙය ද එක්තරා අන්දමක සංචාරක හෝටලයකි. එහෙත් සාමාන්‍ය වාණිජ හෝටලයක දැක ගත හැකි පහසුකම් කිසිවක් මෙහි දක්නට නැත. මෙහි ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ, දැඩි වත්පිළිවෙත් සහ අතිශය සරල පරිසරයකි. මෙහි මූලිකම අරමුණ ව්‍යාපාරික ලාභය නොව, මරණාසන්න පුද්ගලයන්ට සැනසිලිදායක අධ්‍යාත්මික වටපිටාවක් සැපයීම බැවින්, මෙයට ඇතුළත් කරගනු ලබන්නේ වෛද්‍යවරුන් විසින් ජීවිත බලාපොරොත්තු අත්හළ, මරණයට නියත සුදුසුකම් ලත්, අවසන් දින කිහිපය ගෙවන අසාධ්‍ය රෝගීන් හා වයෝවෘද්ධයන් පමණි. එමෙන්ම එවැන්නකු හට වුව මෙහි නවාතැන් ගත හැකි උපරිම කාල සීමාව සාමාන්‍යයෙන් දින 15ක් පමණි.

    යම් හෙයකින් එම කාලය තුළ මරණය සිදු නොවී රෝගියා සුව අතට හැරේ නම්, වෙනත් එවැනි මරණාසන්න රෝගියකුට එහි ඉඩ සැලසීම සඳහා එම රෝගියා ඉන් ඉවත් කර ගැනීමට භාරකරුවන්ට සිදු වේ. නමුත් එම දින 15 අවසානයේ මියයෑමට ආසන්නතම ලක්ෂණ පළ කරන රෝගීන්ට ඒ සඳහා තව දින කිහිපයක කල් දීමක් සිදු කරනු ලැබේ. නමුත් සුව පහසු යහන්, වායු සමීකරණ වැනි කිසිදු නූතන සුඛෝපභෝගී පහසුකමකින් තොර, කුඩා කෝවිලක් පමණක් අන්තර්ගත සරල කාමර 10-12කින් සමන්විත මුක්ති භවන් නිවහන සඳහා කිසිදු කාමර ගාස්තුවක් අය නොකිරීම සුවිශේෂත්වයකි. විදුලිය සහ නඩත්තු කටයුතු වෙනුවෙන් පමණක් දිනකට ඉන්දියානු රුපියල් 20-50ත් අතර සුළු මුදලක් අය කරන අතර, මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 180කට නොවැඩි වීම ද විශේෂත්වයකි. එමෙන්ම වත්කමක් නොමැති අසරණ පුද්ගලයන්ට ඒ නවාතැන් පහසුකම් සියල්ලම සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයීම ද සුවිශේෂී ලක්ෂණයකි.

    මුක්ති භවන්හි පවතින තවත් සුවිශේෂත්වයක් වනුයේ සාමාන්‍ය මරණාසන්න පරිසරයක දැකිය හැකි වැලපීම් හෝ අඳෝනාවලින් යුක්ත නොවීම ය. එය භක්තියෙන් සහ ආගමික ශාන්තියෙන් පිරි ජීවමාන ආධ්‍යාත්මික ස්ථානයකි. පූජකවරුන් සහ මරණාසන්න පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් දිනකට තෙවරක් එකතු වී භජන් ගායනා, ස්තෝත්‍ර සහ මන්ත්‍ර සජ්ඣායනා පවත්වමින්, මරණයේ සාමකාමී සහ ශාන්ත භාවය සිහිපත් කෙරෙන “රාම් නාම් සත්‍ය හේ” (රාම දෙවියන්ගේ නාමයම සත්‍යයයි) යන පූජනීය නාදය නිරන්තරයෙන් එහි රැව් පිළිරැව් දෙනු ඇසෙයි. ජීවිතයේ අවසන් තත්පර කිහිපය ගෙවන මොහොතේදී, ආත්මය පාරිශුද්ධ කර සිතේ ඇති මරණ බිය දුරු කරනු වස් ආතුරයාගේ මුඛයට පූජනීය ගංගා ජලය සහ තුල්සි (මදුරුතලා) පත්‍රයක් තැබීම මෙහිදී සාම්ප්‍රදායිකව සිදු කෙරේ. එමෙන්ම කුලය, පන්තිය, ආගමික උප-කොටස් හෝ සමාජ තරාතිරම කිසිසේත් මුක්ති භවන්හිදී නොසලකන අතර, මෝක්ෂය පතන ඕනෑම අයෙකුට මුක්ති භවන්හි සම අයිතිවාසිකම් හිමි වේ. රෝගියාට උපස්ථාන කිරීම සඳහා පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුට වුවද එකම කාමරයේ රැඳී සිටීමට මෙහිදී අවසර ලැබෙන්නේ රෝගියාට පවුලේ සෙනෙහස මැද අවසන් ගමන යාමට ඉඩ සලසමිනි. එහෙත් එය කෙසේවත් ශෝකී මරණයක් නොවනුයේ එමඟින් ඔහුට හෝ ඇයට පරම ආත්ම විමුක්තිය හිමි වන බව සියලු දෙනා තරයේ විශ්වාස කරන බැවිනි.

    යමෙකු මුක්ති භවන් පරිශ්‍රය තුළදී මියගිය සැනින්, එහි පළපුරුදු කාර්ය මණ්ඩලය පවුලේ අය හා එක්ව පැය කිහිපයක් තුළ ඉතා කඩිනමින් ක්‍රියාත්මක වී දේහය ගෞරවාන්විතව වාරණාසියේ සුප්‍රකට මණිකර්ණිකා ඝාට් (Manikarnika Ghat) තොටුපළ වෙත රැගෙන යනු ලබයි. වසරේ දින 365 පුරාම, දිවා රාත්‍රී නොකඩවා දේහයන් දහස් ගණනක් දැවෙන චිතකවලින් සමන්විත මෙම මණිකර්ණිකා තොටුපළේදී, පැය කිහිපයක් ඇතුළත සියලු ආදාහන වත්පිළිවෙත් නිම කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් මුක්ති භවන් කාර්ය මණ්ඩලය විසින් නොමිලේම සපයනු ලැබේ. හින්දු විශ්වාසයන්ට අනුව මරණය සහ ආදාහනය අතර කාලය අවම වන තරමට භෞතික ශරීරයට බැඳී ඇති ආත්මයට කිසිදු බාධාවකින් තොරව තම මෝක්ෂ ගමන කඩිනම් කිරීමට අවස්ථාව ලැබෙන බව පැවසේ. ඒ මරණය සිදු වී ඉතා කෙටි කාලයකින් මණිකර්ණිකා ඝාට් තොටුපළේ ආදාහනය වීමේ භාග්‍ය ඉතා දුර්ලභ වූවක් බැවිනි. එමෙන්ම තම පවුලේ සමීපතම ඥාතියාට මෙලෙස මෝක්ෂයේ දොරටු විවර කර දෙන පවුලේ ඥාතීහු සැනසුම් සහගත සිතින් ආපසු ගම් බිම් බලා යාම ද මෙහි ඇති විශේෂත්වයකි. එසේම එය ඔවුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධියට ද ඉවහල් වන බවට හින්දූන් අතර විශ්වාසයක් පවතී.

    මුක්ති භවන් ගොඩනැඟිල්ල

    මෙම සංසිද්ධිය සමාජ-සංස්කෘතික සහ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කිරීමේදී, මුක්ති භවන් යනු නූතන පාරිභෝජනවාදී ලෝකයට ඉතා ප්‍රබල පාඩමක් කියා දෙන ආයතනයකි. මරණය දක්වා වන මිල අධික රෝහල් බිල්පත් සහ වාණිජමය අවමංගල්‍ය සේවාවන් ඔස්සේ අවමංගල්‍යයන් පවා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කර ඇති යුගයක, අවම පිරිවැයකින් මිනිසෙකුට උපරිම ගෞරවය, ආදරය සහ සැනසීම ලබා දීමට මෙම පුණ්‍යායතනය විශිෂ්ට ආදර්ශයක් සපයන බව නොරහසකි. විද්‍යාත්මක හෝ භෞතිකවාදී ක්‍රමවේදයන් පදනම්ව ‘මෝක්ෂය’ යන්න සනාථ කළ නොහැකි බව ඇත්තකි. නමුත් අපේක්ෂිත දින 15ක කාල සීමාව තුළ බොහෝ දෙනෙකු සාමකාමීව මියයෑම පිටුපස ඇති මනෝවිද්‍යාත්මක සාධකය අතිශය වැදගත් වේ. මෙය එක්තරා දුරකට පාරලෞකික සුගතිය සම්බන්ධයෙන් මිනිස් මනසේ පවතින දැඩි අධ්‍යාත්මික විශ්වාසය සහ සැනසීම නිසා ශරීරයේ ජෛවමය ක්‍රියාකාරිත්වය ස්වභාවිකවම නතර වීමට ඉඩ හරින උත්කෘෂ්ට ආධ්‍යාත්මික බලපෑමක් ලෙස ද හැඳින්විය හැකිය. ඒ අනුව සැබැවින්ම ඔවුන් එහිදී සැනසිලිදායක මරණයක් අත්විඳින බව නම් පැහැදිලි ය.

    මෙම ස්ථානය පදනම් කොට 2017 වසරේ තිරගත වූ “මුක්ති භවන්” (Hotel Salvation) නම් චිත්‍රපටයක් ද තිරගත වී තිබේ. මෙය ජීවිතයේ අවසානය, පවුල් බැඳීම් සහ ආත්මීය නිදහස (මෝක්ෂය) පිළිබඳ ඉතා සංවේදී මෙන්ම උපහාසාත්මක කෝණයකින් කතා කරන, කලා ලෝකයේ දැඩි අවධානයට හා ඇගයීමට ලක් වූ අගනා සිනමා කෘතියකි. තරුණ ඉන්දීය සිනමාකරුවකු වන ශුභශිෂ් භුටියානිගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කථා සාරාංශය ගෙතෙන්නේ තමන්ට මරණය ළඟා වන බව පෙනෙන අද්භූත සිහිනයක් දකින 77 හැවිරිදි දයානන්ද් කුමාර් (ලලිත් බෙහ්ල්) වටා ය. ඉන්පසු ඔහු තමන්ගේ අවසන් දින කිහිපය ශුද්ධ වූ වාරණාසි (කාෂි) නුවර ගත කර මෝක්ෂය ලබා ගැනීමට තීරණය කරයි. ඔහුගේ කාර්යබහුල, මැදිවියේ පුත් රජීව්ට (ආදිල් හුසේන්) තම රැකියාව සහ පවුලේ වගකීම් මැද මෙය විශාල බරකි. නමුත් තම පියාගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සඳහා ඔහුට ද පියා සමඟ වාරණාසිහි මුක්ති භවන් බලා යාමට සිදු වේ.

    මුක්ති භවන් සිනමා පටය

    වාරණාසියට පැමිණෙන ඔවුන් දෙදෙනා එහි පිහිටි මුක්ති භවන් නවාතැනේ නතර වන අතර, එහි රැඳී සිටිය හැක්කේ දින 15ක් වැනි සීමිත කාලයක් පමණක් වීම පිළිබඳව ද චිත්‍රපටයේ පැවසෙයි. ඉන් පැවසෙන අන්දමට යම් හෙයකින් ඒ කාලය තුළ මරණය සිදු නොවන්නේ නම්, ඔවුන්ට නැවත ආපසු යාමට සිදු වේ. කෙසේ වෙතත්, එහිදී දයානන්ද්ට වසර 18ක් තිස්සේ මරණය අපේක්ෂාවෙන් උපායශීලීව එහි වෙසෙන විමලා (නව්නින්ද්‍ර බෙහ්ල්) නම් කාන්තාව හමුවන අතර, ඇයගේ ඇසුර නිසා ඔහු ආත්මීය වශයෙන් නව ජීවනයකට පිවිසෙයි. මේ හේතුවෙන් දයානන්ද්ගේ කායික මානසික සෞඛ්‍යය ද පුදුමාකාර ලෙස යහපත් අතට හැරෙන්නට පටන් ගනී. නියමිත දින 15 සීමාව ගෙවී යද්දී, රජීව් තම රැකියාවේ පීඩනය සහ පියා කෙරෙහි ඇති ආදරය අතර දෝලනය වුවද, කාලයත් සමඟ කලක් දුරස් වී තිබූ පියා සහ පුතා අතර සබඳතාවය නැවත අලුත් වී එකිනෙකා වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔව්හු සමත් වෙති.

    මෙම විශිෂ්ට සිනමා කෘතිය හරහා සමාජයට ප්‍රබල පණිවිඩ කිහිපයක්ම ලබා දෙනු පෙනෙයි. විශේෂයෙන්ම මරණය යනු බිය විය යුතු හෝ ශෝක විය යුතු දෙයක් නොව, එය ජීවිතයේ ස්වාභාවික අවසානයක් සහ ආත්මීය නිදහස් වීමක් (මෝක්ෂයක්) බව මෙයින් ඉතා කාව්‍යාත්මකව පෙන්වා දෙයි. එමෙන්ම, නූතන කාර්යබහුල ලෝකය තුළ මිනිසුන් අතර ගිලිහී යන පවුලේ සබඳතාවල ඇති සැබෑ වටිනාකම සහ එහි අතිශය සංවේදී ස්වභාවය ද මෙම නිර්මාණය තුළින් මැනවින් මතු කර පෙන්වයි.

    මෙම සියලු කරුණුවලින් සනාථ වන අන්දමට කාෂි ලාභ් මුක්ති භවන් නවාතැන යනු හුදෙක් ගඩොලින් හා වැලිවලින් තැනූ ගොඩනැගිල්ලක් හෝ සාමාන්‍ය නවාතැන්පොළක් නොවේ; එය දියුණු මානව ශිෂ්ටාචාරය, සංස්කෘතිය, ආගමික දර්ශනය සහ මනුෂ්‍යත්වයේ අවසන් නවාතැන නිරූපණය කරන ජීවමාන සංකල්පයකි. එය මිනිස් ආත්මයක් ලැබීමේ පරමාර්ථය වන නිත්‍ය සැනසීම සාක්ෂාත් කර ගැනීමට මිනිසා තුළ පවතින පරම උත්සාහය සංකේතවත් කරයි. මරණය දෙස බියෙන් බලා, එය පලවා හැරීමට උත්සාහ කරන නූතන සමාජයකට, මරණය යනු ජීවිතයේම ස්වභාවික සමාප්තිය බවත්, එය සන්සුන්ව, ගෞරවාන්විතව මෙන්ම ආදරණීය ස්වරූපයකින් වැළඳගත යුතු සංක්‍රාන්තියක් බවත් කියා දෙන මුක්ති භවන්, සැනසිලිදායක මරණයක් හිමි කර ගන්නා අන්දම කියා දෙන අසිරිමත් අධ්‍යාත්මික තක්සලාවක් බඳුය.

    (සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
    නිදහස් මාධ්‍යවේදිනී
    [email protected]

    (උපුටා ගැනීම – vinivida.lk)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here