කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් “කාන්තා ගැටලුවක්” පමණක් නොව, එය මුළු මහත් පවුල් සංස්ථාවකම අත්තිවාරම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අදට (28) යෙදී ඇති ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය (Menstrual Hygiene Day) වෙනුවෙන් සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී.
නිවෙස් තුළ වැඩිම රැකවරණ බරක් උසුලන කාන්තාවන්ට, අනෙක් අය වෙනුවෙන් තම තමන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම නොසලකා හැරීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
තම පණිවිඩය මඟින් සමාජයේ පවතින සම්ප්‍රදායික මතවාද දැඩි විවේචනයට ලක් කරන සජිත් ප්‍රේමදාස මෙසේද ප්‍රශ්න කර සිටියි.
“අපගේ මව්වරුන් සහ දියණියන් නිහඬව වේදනාව විඳදරාගැනීමට අපේක්ෂා කරන අතර, විවෘතව කතා කරන හෝ සහයෝගය පතන අය විනිශ්චය කරනු ලැබේ නම්, අපි කුමන ආකාරයේ සමාජයක් ගොඩනඟමුද?”
තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන කාන්තාවන්ට සමාජයීය වශයෙන් ගරු කළ යුතු බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සහ සහයෝගය දක්වන පිරිමින්ට සමච්චල් නොකර ප්‍රශංසා කළ යුතු බවත් ඔහු පවසයි.
විශේෂයෙන්ම වර්තමානය වැනි දියුණු යුගයක “ආර්තව දරිද්‍රතාවය” (Period Poverty) පවතින්නට ඉඩ නොතැබිය යුතු බවත්, එය ලෝක ඔසප් සනීපාරක්ෂක දිනයේදී අප වටහාගත යුතු වේදනාකාරී සත්‍යය බවත් විපක්ෂ නායකවරයා සිය පණිවිඩය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය යනු කුමක්ද?
සෑම වසරකම මැයි 28 වනදා ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය ලෙස ජාත්‍යන්තරව සමරනු ලබයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඔසප් වීම (Menstruation) සම්බන්ධයෙන් සමාජයේ පවතින අනවශ්‍ය ලැජ්ජාව, බිය සහ මිථ්‍යා මත දුරු කර, නිසි සනීපාරක්ෂාව පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමයි.
මෙම දිනය ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘WASH United’ ආයතනය විසින් 2014 වසරේදී පළමු වරට ප්‍රකාශයට පත් කරන ලදී.
මැයි 28 තෝරා ගැනීමට හේතුව
මෙම විශේෂ දිනය සඳහා මැයි 28 (28/5) තෝරා ගැනීම පිටුපස සුවිශේෂී ජීව විද්‍යාත්මක සංකේතවත් කිරීමක් ඇත.
* 28: සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28කට වරක් සිදු වීම.
* 5 (මැයි මාසය): සාමාන්‍යයෙන් ඔසප් වීමක් දින 5ක් පුරා පැවතීම.
ප්‍රධාන අරමුණු සහ වැදගත්කම
* ආර්තව දරිද්‍රතාවය (Period Poverty) තුරන් කිරීම:
ආර්ථික අපහසුතා හෝ අධික බදු බර නිසා සනීපාරක්ෂක තුවා (Sanitary Pads) මිලදී ගැනීමට නොහැකි කාන්තාවන්ට සහ පාසල් දැරියන්ට සහනදායී ලෙස හෝ නොමිලේ ඒවා ලබා දීමට රජයන් සහ සංවිධාන උනන්දු කරවීම.
* පිරිසිදු ජලය සහ වැසිකිළි පහසුකම්:
පාසල් සහ සේවා ස්ථානවල කාන්තාවන්ට පිරිසිදුව සහ සුරක්ෂිතව සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිහරණය කිරීමට සහ බැහැර කිරීමට අවශ්‍ය ජල සහ වැසිකිළි පහසුකම් (WASH facilities) නැංවීම.
* සමාජයීය මතවාද වෙනස් කිරීම:
ඔසප් වීම යනු සැඟවිය යුතු හෝ කොන් කළ යුතු “අපවිත්‍ර” දෙයක් නොව, මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව පිරිමින් ඇතුළු සමස්ත සමාජයටම වටහා දීම.




