ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ සියලු දෙනා සමාන විය යුතුය යන මූලධර්මය සහ මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය හා දෘෂ්ටිවාදාත්මක පසුබිම පිළිබඳව මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මාධ්‍යවේදී නාරද බක්මීවැව ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම සංවාදයේදී, ‘සමබිම’ පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක සිය අදහස් ඉදිරිපත් කළහ.
ද්විත්ව නීති පද්ධතිය සහ ආගමික මූලස්ථාන
මෙහිදී අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දුන්නේ මෙරට පවතින්නේ හුදෙක් ජනරජයේ නීතිය පමණක් නොවන බවයි. අනුරාධපුර අටමස්ථානය වැනි ආගමික මූලස්ථානයන්හි නායකත්වයන් පත් කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් විහාර දේවාලගම් පනත වැනි ඓතිහාසික හා බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන විශේෂ නීතිමය සම්ප්‍රදායන් බලපවත්වන බව ඔහු සඳහන් කළේය.
“ලංකාවේ ජනරජයේ නීතියට අමතරව තවත් නීතිමය ව්‍යුහයන් පවතිනවා. බුද්ධාගම රාජ්‍ය මට්ටමින් ස්ථාපිත කිරීමේදී බ්‍රිතාන්‍ය නීතිය විශාල බලපෑමක් කර තිබෙනවා. බොහෝ නීතිඥයන් පවා මේ ද්විත්ව නීතිමය තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම ගැටලුවක්,” යැයි දීප්ති පවසා සිටියේය.
ළමා ආරක්ෂාව සහ නීතිඥ වෘත්තියට එල්ල වන බලපෑම්
ළමා අපයෝජන සිද්ධීන්වලදී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට, විශේෂයෙන් නීතිඥ සජීවනී අබේකෝන් වැනි අයට සමාජ මාධ්‍ය හරහා එල්ල වන අපහාසාත්මක ප්‍රහාර පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු විය. දක්ෂ නීතිඥයන් මේ සම්බන්ධයෙන් නිර්භයව ඉදිරියට පැමිණිය යුතු බවත්, සාලිය පීරිස් වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ළමා අයිතිවාසිකම් සුරැකීමේ සටනට නායකත්වය දිය යුතු බවත් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කළේය.
මේ ප්‍රශ්නය දිහා සමාජ විද්‍යාත්මක හා ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් බැලිය යුතුයි. ඒක තමයි මොඩර්න් කියන්නේ. ඒක තමයි ලංකාවේ ගැහැණු ඉගෙන ගන්න ඕනේ. සමහර නීතිඥවරු කියනවා පිටපලාත්වල දුෂ්කර පළාත්වල ළමයි දූෂණය වෙනවා කියල අනුරාධපුරය, පොළොන්නරුව කියන්නේ මේ ජනරජයේ කොටසක් නෙමෙයිද ?
යනුවෙන් දීප්ති වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
දේශපාලන පක්ෂවල නිහඬතාව සහ සමාජ මාධ්‍ය බලපෑම
දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පෙන්වා දුන්නේ මෙවැනි බරපතළ ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන ධාරාවන් දක්වන නිහඬතාවය කණගාටුදායක බවයි. විශේෂයෙන් ජාතික ජන බලවේගය (NPP) සහ සමගි ජන බලවේගය (SJB) වැනි පක්ෂවල නායකයන් සහ එම පක්ෂ නියෝජනය කරන කාන්තාවන් ස්ත්‍රීවාදී සහ නවීන දෘෂ්ටිකෝණයකින් මෙම ප්‍රශ්න දෙස බැලීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළේය.
“සමාජ මාධ්‍ය හරහා මේ සිදුවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු නොවන්නට, සාධාරණයක් ඉටු වීමට ඇති ඉඩකඩ සීමිත වන්නට තිබුණා. නීති පද්ධතිය සාක්ෂි මත පදනම් වුවද, ඇතැම් අවස්ථාවල බලපෑම් සහගත පුද්ගලයන්ට පක්ෂව එය හැසිරවීමට ඇති ඉඩකඩ පිළිබඳව සමාජය අවදිව සිටිය යුතුයි,” යැයි කරුණාතිලක පැවසීය.
මෙම සාකච්ඡාව අවසානයේ අවධාරණය කෙරුණේ, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීන ලෝකයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බවත්, ළමයින් සහ කාන්තාවන් සම්බන්ධ අයිතිවාසිකම් දේශපාලන වාසි තකා යටපත් නොකළ යුතු බවත්ය. පවතින දෘෂ්ටිවාදාත්මක ගැටුම් මධ්‍යයේ වුවද, නීතියේ ආධිපත්‍යය සුරැකීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව මෙම සංවාදයේදී නිගමනය විය.




