ශුද්ධ නගරයේ බාලිකාපචාර කතා වස්තුව: ප්‍රභූ දුෂකයන් සහ නිර්ප්‍රභූ වින්දිතයන් අතර සටනක්

Author

Categories

Share

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට චෝදනා ලැබ සිටින අනුරාධපුරය අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක

“පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතනාභිධාන නාහිමියන්” ලබන 22 දා අධිකරණය හමුවට පමුණුවන්නැයි අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට පසුගිය 15 වනදා යළිත් නියෝග කරනු ලැබීම පිලිබඳ වාර්තා මේ වන විට තරමක් පිළුණු වුවකි.    

නීතියත් අහක බැලු දිලුම් ගේ ගණිකා සාක්කිය

 එහෙත් එයින් ඇරඹෙන ඇතැම් කතා හෙට දවසටද වලංගු ය. පෙර දිනක සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු පුවතකින් යළිත් අපට ඉඟි සපයන්නේ දූෂකයා බලවත් වන තරමටම සමාජයේ බහුතරයකගේ රැකවරණය ඔහුට හිමිවන බවකි. එම පුවත වන්නේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම, දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකාර පාර්ලීමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක ද වන දිලුම් අමුණුගම විසින් වින්දිත දැරිය අරබයා කර ඇති ප්‍රකාශයකි.

” අටමස්ථානාධිපති හාමුදුරුවෝ ව අපිට ආරංචි විදිහට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන ඉන්නවා,” යනුවෙන් ඔහු පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

දිලුම් අමුණුගමට අනුව අදාල වින්දිත දැරිය ගණිකාවකි. එය කෙතරම් අශිෂ්ඨ මෙන්ම නිර්ලජ්ජිත ප්‍රකාශයක්ද යන වග පැවසිය යුතු නැත. මන්ද, ධවල සළු පොරවා ගත් මෙවන් දේශපාලකයන්ගේ සදාචාරය පිළිබඳව කතා කිරීම ම පලක් නැති කරුණක් වන බැවිනි. එහෙත් එම ප්‍රකාශයේ අනීතික බව සහ විශේෂයෙන්ම ළමයෙකු සම්බන්ධයේ ප්‍රසිද්ධියේ දක්වන අශ්ලීලි මෙන්ම වෛරි සහගත වදන්වල බරපතල කම බැහැර කළ නොහැකි එකකි.  

ඔහුට එරෙහිව ක්ෂණයකින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ හැකියාව උවමනා තරමටත් වැඩියෙන් එහි අකුරක් ගානේ ගැබ්ව තිබේ. එම අශිෂ්ට මඩ ප්‍රහාරයට සමාජ හා සමාජ මාධ්‍ය ක්‍රියාධාරීන්ගෙන් දැඩි දෝෂ දර්ශනයට ලක්වීමත් සමගම අමුණුගම පසුදා පසුබැස්සේ එය ‘සීයට සීයක් අවබෝධයෙන් තොරව’ ආරංචියක් ලද පමණින් කළ ප්‍රකාශයකියි කියමිනි.

ළමුන් සම්බන්ධයෙන් බලාත්මක නීතී රීති මෙන්ම, දරුවන්ගේ ආරක්ෂාව සහ ගරුත්වය පිළිබඳව බලධාරින් විසින් පවසන දෑ සැබෑවක් නම් දිලුම් අමුණුගම නැමැත්තා මේ වන විටත් සිටිය යුතු වන්නේ දෑතට විලංඟු වැටි මිස නිදහස් මිනිසකු ලෙස නම් නොවේ. අනෙක් පසින් මෙය දරුවකු බරපතල ලෙස අපහරණයට ලක් කිරීමක් පිළිබඳව අධිකරණය හමුවේ විමසුමට ලක්වෙමින් තිබෙනා නඩු නිමිත්තක් එයාකාරයෙන්ම අපහරණයට සහ අවඥාවට ලක් කිරීමකි. බාල වයස්කාර දැරියකට අවමාන කිරීම හා තහවුරු නොකළ තොරතුරු ජනමාධ්‍යයේ පලකරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රමුඛ ‘පොහොසත් රටේ’ බලධාරීන් කවර නම් ක්‍රියාමාර්ගයක් ගත්තේ දැයි මේ ලියන මොහොත වන විටත් දැන ගන්නට නැත.

 මෙවැනි සිදුවීම් සහ ප්‍රකාශ මගින් අපට නැවත වතාවක් ඉඟි කරනුයේ ප්‍රභූ සහ නිර්ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් නීතිය බලාත්මක වීම බෙදා වෙන් කොට ඉදිව ඇති දැවැන්ත පවුරේ ස්වභාවය යි. සැබැවින්ම එයින් සිවිල් සහ ආගමික මෙන්ම දේශපාලන බලයද හිමි පැලැන්තිය සහ අසමානතා සහිත නිර්ප්‍රභූ ජනයා අතර ඇති නීතීය ක්‍රියාත්මක වීමේ දැවැන්ත පරතරය යළිත් ඔප්පු කොට පෙන්වයි.  

වින්දිතයා නිර්ප්‍රභූ වී අපරාධකරු සිවිල් හෝ ආගමික බලයක් සහිත ප්‍රභූ පන්තියේ අයකු වන විට  නීතියත්, සමාජයත් ඒ සම්බන්ධයෙන් දරනා මතය බොහෝ විට අපරාධකරු කෙරෙහි අනුකම්පා සහගත නොඑසේ නම් ඔහු  නිවැරදිකාර යැයි පවසන ආකාරයේ එකකි. එහිදි වින්දිතයා අවමානයට ලක් කිරීමට හෝ ඔහුට එරෙහිව කිසිදු වරදක් චූදිත වෙතින් සිදුව නැති බව පෙන්වීමට එම පැලැන්තිය විසින් ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඇතැම් විටෙක නීතියේද රැකවරණය සහිතවය.  නමුත් වින්දිතයා ප්‍රභූ වී සැකකරු හෝ අපරාධකරු නිර්ප්‍රභූ හෝ සමාජයේ පහල මට්ටමේ අයෙක් වන විට  ප්‍රභූ පැලැන්තිය හැසිරෙන්නේ එම සැකකරු නීතියෙන් වරදකරු කරන්නටත් පෙර අපරාධකරුවකු ලෙස හංවඩු ගසමින් ගල්ගසා මරා දැමිය යුතු යැයි මතයක් සමාජය ඉදිරියේ උලුප්පා පෙන්වමිනි.

පසුගිය සමයෙහි වාර්තා වුණු බොහෝ අපරාධ, විශේෂයෙන්ම ලිංගික හිංසන සිදුවීම්වලදි මේ තත්වය අප මනා සේ දැක ඇත්තෙමු. මේ 15 වියැති දැරියට එරෙහි ලිංගික අපචාර නඩුව ඇසෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම එහි ආසන්නතම නිදසුන අපට සොයා ගත හැකිය. ඒ අනුරාධපුරය රෝහලේ වෛද්‍යවරියකව ලිංගික හිංසනයට ලක් කිරීම පිලිබඳ චෝදනාවයි.  ඇයද වින්දිත තැනැත්තියක් බව අවිවාදිත කරුණකි. නමුත් ගැටලුව ඇත්තේ ඇගේ වින්දිතභාවයෙහි නොව ප්‍රභුවරියකට අදාළ එම සිදුවීම අරබයා වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය සේවා ප්‍රජාව, නීතිඥවරුන් හා ආරක්ෂක අංශ පමණක් නොව විෂය භාර ඇමැතිවරුන් සහ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් රටේ බහුතර ජනී ජනයාත් හැසිරුනු සහ ක්‍රියාකළ ආකාරය යි.

සැකකරු අල්ලා ගැනීම සඳහා සන්නද්ධ විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ප්‍රමුඛව පොලිස් බල මුළු පහක් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර පීරමින් සිටින්නේ යැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහත් උජාරුවෙන් යුතුව පාර්ලිමේන්තුවේදි කියා පෑවේය. සැකකරු අල්ලා ගෙන එන තුරුම සමස්ත වෛද්‍ය ප්‍රජාවම වැඩ වැරූහ. සෞඛ්‍ය  සේවකයෝ වීදි බටහ. එම සැකකරු වෙනුවෙන් අදටත් එකදු නීතිඥවරයකු හෝ පෙනී නොසිටින්නේ ය. ඒ කවර හෝ තරාතිරමක සැකකරුවකු වුව ඔහුගේ නිර්දෝශීභාවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥවරයකු සතු වගකීම සහ අයිතිය ද පමණක් නොව ඔනෑම සැකකරුවකු අධිකරණයක් මගින් වරදකරුවකු බවට පත් කරන තුරු නිර්දෝශී අයෙක් ය යන නීතියේ බිඳ නොහෙලෙන සිද්ධාන්තයද  අමු අමුවේම උල්ලංඝනය කරමිනි.

එහෙත් මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව සම්බන්ධයෙන් එසේ කිසිවකු ක්‍රියා කළේ නැත. දැරියගේ සිදුවීමේදි බලවත් සියළු පාර්ශවයන් එකාවන්ව එක පෙළට සිට ගත්තේ දුෂණ චෝදනා ලත් භික්ෂුව ආරක්ෂා කිරීම වෙනුවෙනි. එම භික්ෂුව අහිංසකයකු බව කියා පෑමට ඉඟි හෝ පෑම වෙනුවෙනි. නිහඬතාවය යනු විටෙක මාරාන්තික අනුග්‍රහයක් බව යළිත් පසක් කරමින් ඇතැම්මු පසෙකට වී බලා සිටින්නෝ ය. එම දැරිවිය ලිංගික අපහරණයට ලක්  කළ සැකකාර භික්ෂුව අල්ලන්නට මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝගය මත කඩිනමින් ක්‍රියාත්මක වුණු පොලිස් බල මුළු නැත. වැඩ වරන්නට වෛද්‍යවරුන් ද නැත. සාසනය හෝ බෞද්ධ දර්ශනයේ පදනම රැක ගැනීම කෙසේ වෙතත්, අවම වශයෙන් ව්‍යාජ රංගනයක් වෙනුවෙන්  හෝ  සැකකාර භික්ෂුව නීතිය හමුවට පමුණුවිය යුතු යැයි පවසන්නට ඉදිරිපත් වුණු එකදු නාමධාරී හෝ නායක හෝ භික්ෂුවක් සොයා ගන්නට නැත. අටමස්ථාන ගිහි භාරකාර මණ්ඩල සහ ඒවා වෙනුවෙන් නොමසුරුව දන් පරිත්‍යාග කරන ධනවත් උපාසක උපාසිකාවන් ද නිහඬය. ඇතැම් විට හේමරත්න භික්ෂුව නිදොස් කොට නිදහස් කර ගැනීමේ තිරෙන් පිටුපස රංගනයේ යෙදෙමින්  ඔවුන් කාර්යබහුල වී සිටින්නට ද පුලුවන.


ප්‍රභූ රක්ෂක නීතිඥ සේවය

 අනුරාධපුරය රෝහලේ වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ම මෙම ළමා අපයෝජන සිදුවීමේ සැකකාර පල්ලේගම හේමරතන භික්ෂුව වෙනුවෙන් පෙනී සිටියි. ඔහුගේ නීතිඥ මඩුල්ලට අමතරව ගෙවුන සෑම නඩු වාරයකම අනුරාධපුරය අධිකරණයේ අති බහුතරයක් නීතිඥවරුන් සහ වරියන් පිරිසක් ස්වේච්ඡාවෙන්ම සැකකාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටියේ එම දැරිවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ හඬක් නගන්නට එකදු නීතිඥවරයකු හෝ වරියක ඉදිරිපත් නොවුණු වටපිටාවක ය. ඔවුන්ට අනුරාධපුරය වෛද්‍යවරිය කෙරෙහි ඇති වුණු සහකම්පනය මෙම 15 වියැති දුප්පත් දැරිය කෙරෙහි මතු නොවන්නේ මන්දැයි අපට නම් ගැටළුවක් නොවන්නේ ය.  

යම් නීතිඥවරුන් පිරිසක් එම දැරිවිය වෙනුවෙන් එළැඹෙන නඩු වාරයේදි අධිකරණය හමුවේ කරුණු දක්වන්නට සුදානමින් සිටින් වග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී තිබුණි. නමුත් එහි සත්‍ය අසත්‍යතාව ඊළඟ නඩු දිනය වන තුරුම තහවුරු කරගන්නට නොහැකිය. අනෙක් පසින් එසේ ඉදිරිපත් වුණද සැකකාර භික්ෂුව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතිඥ බලමුළුව දෙස බලන විටත්, මේ තාක් විමර්ශන සිදුවෙමින් තිබෙන ආකාරය දෙස බලන විටත්, සනාථ නොවන ඇතැම් ප්‍රවෘත්තිවල ස්වභාවය දෙස අවධානයෙන් බලන විටත් පෙන්නුම් කෙරෙන්නේ දැරිය වෙනුවෙන් ස්වාධීන නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්  වුණද ඒ සියල්ල දෙස සුපරික්ෂාවෙන් බලා සිටීමේ සමාජ  අවශ්‍යතාව දැඩිව පැන නගින බවකි. මන්ද මෙවැනි සිදුවීම් අවසානයේ කෙළවර වන්නේ බාහිර සම්බන්ධතා මත බලපුලුවන්කාර සැකකරුවන් නිදහස් වීමට ඇති ඉඩ ප්‍රස්තා වැඩි කරමිනි. එමෙන්ම අධිකරණ ක්‍රියාවලියෙන් පරිභාහිරව සිදුවන නොනිල සමථකරණයන් මගින් වින්දිත පාර්ශවය නිහඬ කරවීමට හෝ එකඟ කරවා ගැනීමට හෝ ඇතැම් පාර්ශවයන් කටයුතු කරන බවද නොරහසකි. ඉතිහාසය පුරාම එවැනි ආකාරයේ නින්දා සහගත සිදුවීම් අනන්තවත් අපි අසා දැක ඇත්තෙමු.

ළමා බලධාරින්ගේ රංගන

 වඩාත් පුදුම සහගත තත්වය නම් පසුගිය 08 වන දා මෝසමක් මගින් නඩුව කැඳවා මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ඉන් පසුව දැරිවිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටිමය. නමුත් ඔවුන් ඒ වෙනුවට පසුගිය 15 වන දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ දැරියට ‘යුක්තිය ඉටු කිරීම සඳහාත්, ඇගේ යහපත සැලසීම සඳහාත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සුදුසු කාර්ය පටිපාටිය අනුගමනය කරමින් සිටින බවට ජනතාවට දැනුම් දෙන’ බවකි. එමෙන්ම අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට සහ දැරියගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු නියාමනය කිරීමට අධිකාරිය පියවර ගනිමින් සිටින බවත් එහි සඳහන් ය.

“මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇතිකර ගැනීමට හේතුවක් නොමැති බවත්, යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇතිවුව හොත් එමඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති විය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කර සිටිමු,” යැයි  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානීකා මලල්ගොඩ ගේ අත්සන සහිතව නිකුත් කොට ඇති උක්ත නිවේදනයෙහි පේනතෙක් මානයක නැති ‘මහජන කැළඹීමක්’ ගැන අනියත බියක් මවා තිබේ.

 ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එවන් නිවේදනයක් කඩිමුඩියේම නිකුත් කරන්නට සිදුවූයේ ඇයි? එයට පිළිතුරුද එම නිවේදනයේම ගැබ්ව තිබේ. තමන්ගේ අතපසුවීම් හෝ නොතකා හැරීම් පිළිබඳව සමාජයෙන් එල්ල විය හැකි දෝෂාරෝපණයන්ගෙන් ගැලවීමට ඔවුන්ට අවශ්‍යව ඇති බව ඉන් ගම්‍ය වේ. අනෙක් කරුණ නම් මෙවන් ළමා හිංසනයක් සම්බන්ධයෙන් මහජන අවධානය ඇතිවීම සහ ඒ නිසාම යම් මහජන කැළඹීමක් ඇති වුව හොත් එය යුක්තිය ඉටුවීමට බාධාවක් යැයි අධිකාරය පවසන්නේ කුමන පදනමකින් ද? අපරාධ වළකාලන්නට පුරවැසියන් යම් මැදිහත් වීමක් කරන්නේ නම් එයට එරෙහි වන්නට රාජ්‍ය ආයතනයකට වුව ඇති අයිතිය කුමක් ද?  එමෙන්ම අධිකාරියේ බලධාරින් එසේ පවසන්නේ කවර නම් නීතිමය ප්‍රතිපාදනයන් සහ හේතු සාධක මතද?  

 මෙම දැරිවිය අපයෝජනය වුණු සිදුවීම අරබයා සිදු කෙරෙන පොලිස් විමර්ශනවල තත්වය පිළිබඳව පළමු ‌කොට සැක සංකා මතු කරන ලද්දේ ද වෙනත් කිසිවකු නොව ජාතික ළමා ආරක්ෂක අධිකාරියම බව ඔවුන්ට අමතක නැතැයි සිතමි. පසුගිය 08 දා මෝසමක් මගින් නඩුව කැඳවා ජා.ළ.ආ. අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකෝන් අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා පෑවේ සැකකාර හිමිනම තවමත් අත්අඩංගුවට නොගෙන සිටින්නේ මන්දැයි අධිකාරිය කිහිප විටක්ම ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසා සිටි බවකි. එමෙන්ම අධිකාරිය විසින් පොලිසියෙන් විමසන කරුණු සඳහා ඔවුන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම ද මෙසේ මෝසමක් මගින් නඩුව කැඳවා  දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරුණු පවසන්නට සිදුවු බවත් අධිකාරියේ නීති අංශයේ නිලධාරිනිය පවසා තිබුණි.

හතරබීරි කතා කියන ළමා ඇමැතිනිය

 එහෙත් මුල් අවස්ථාවන්වල එවැනි මතයක් දැරු අධිකාරිය ඉන් පසුව අධිකරණයට පවා නොපැමිණ මාධ්‍ය නිවේදන පමණක් නිකුත් කරනා තත්වයට පත් වුයේ මන්ද යැයි ඔවුන්ම පමණක් දන්නා රහසකි. එහෙත් ඒ රහස් බළලා මල්ලෙන් එළියට පනින්නේ ද විෂය භාර ඇමැතිනී සරෝජා පොල් රාජ්ගේ තවත් වගකීම් විරහිත ප්‍රසිද්ධ ප්‍රකාශයකිනි.

“මේ වෙලාවේ මෙවැනි සිදුවීම් දඩමිම්මා කරගෙන දේශපාලන වාසි ගන්න උත්සහ කරනවා. කිසි වේලාවක ඒවට ප්‍රතිචාර දක්වන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.” ඇගේ මුළු ප්‍රකාශයම දේශපාලනයෙන් සහ වගකීම් විරහිත බවකින් පුරවමින් ඇයම පවසයි.
 

එපමණක්ද නොව අපයෝජනයට ලක් වු දැරියගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා කිසිදු නීතිඥ සහයක් නොලැබීම පිළිබඳව තැකීමකින් තොරව සහ එය අනවශ්‍ය දෙයක් ලෙස දිගින් දිගටම හුවා දක්වමින් ඇය පවසන්නේද අරුම පුදුම කතාවකි.

 ” මේ දරුවා වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කරමින්, ගොනු කරමින් යන්නේම රජය හැටියට පොලීසිය. නීතිඥයෙක් දැරිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා නෑ කියන එකට මට කියන්න තියෙන්නේ මේ නඩුවේ ස්වභාවය අනුව ඒක අදාල නොවන බව”. 

මේ ළමා ඇමැතිනිය අවම වශයෙන් පළමු කොට මෙවැනි බරපතල අපරාධ නඩුවක යථා ස්වභාවයවත්  අවබෝධ කොට ගෙන සිටිය යුතුය. ඇගේ පළමු ප්‍රකාශයම මුසාවකි. නොඑසේ නම් නොදන්නා කම ප්‍රදර්ශනය කිරීමකි. පොලිසිය රජයේ වූ පළියට අධිකරණය ඉදිරියේ නඩු මෙහෙයවන්නට පොලිසියට කිසිදු බලයක් නැත. අපරාධ නඩු මෙහෙය වන්නේ නීතිපතිවරයා මිස පොලිසිය හෝ වෙන යම් පාර්ශවයක් හෝ  නොවේ. එමෙන්ම අධිකරණ හමුවේ විභාග වන අපරාධ නඩුවක් නීතිපතිවරයා විසින් මෙහෙයවනු ලැබුවද සෘජුවම  එයින් වින්දිතයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වන බවක් අදහස්  නොවන්නේ ය. නීතිපතිවරයාගේ කාර්යය වන්නේ පොලිසිය විසින් ඉදිරිපත් කරන සාක්ෂි මත පදනම්ව අපරාධයක් යනු සමාජයට එරෙහි පොදු එරෙහිවීමක් ලෙස සලකා නෛතික තර්ක අධිකරණය හමුවේ තැබීමයි. නමුත් වින්දිතයාගේ අයිතිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම වෙනමම කාර්යයකි. එහි ප්‍රධානතම කාර්යය වින්දිතයා මානසිකව ආරක්ෂා කිරීමය. එය නීතිපති කරන්න්නේ නැත.


උසාවියේ නීතිඥ චර්යාව 

විශේෂයෙන්ම මෙවන් ළමා අපයෝජන සිදුවීමකදි ශ්‍රි ලංකාවේ විවෘත අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරෙන තර්ක විතර්ක, හරස් ප්‍රශ්න විමසීම්, සාක්ෂි කැඳවීම් වල ස්වභාවය ඇතැම් විට කාන්තා හා ළමා ඇමැතිනිය නොදන්නවා විය හැකිය. ලිංගික හිංසන නඩු කටයුතු වලදි  විත්තිකාර පාර්ශවයන් නියෝජනය කරන බොහෝ නීතිඥවරුන් හැසිරෙන්නේ හදවතක් නැති මිනිසුන් ලෙසය. වින්දිතයා වැඩිහිටියෙක් ද, කුඩා දරුවෙක්ද යන වග ඔවුන්ට අවැසි නැත. ඔවුන්ගේ එකම අරමුණ සිය සේවා දායකයා නිර්දෝෂී යැයි කියා පෑම පමණි. එවැනි බොහෝ ප්‍රශ්න කිරීම්, සාක්ෂි සහ හරස් ප්‍රශ්න විමසීම් අතිශයින්ම පීඩාකාරිය. නොහික්මුණුය. අවලාදවලින් පිරුණු ඒවාය. තවත් විටෙක වින්දිත තැනැත්තාට හෝ තැනැත්තියට එකම කතාව සිය දහස් වාරයක් විවෘත අධිකරණය හමුවේ කියා පෑමට සිදු වන්නේ ය. එහි ගොදුර කුඩා දරුවකු හෝ දැරිවියක වන විට තත්වය කොතෙක් නම් පීඩාකාරි සහ අපුල දනවන එකක් විය හැකිද? එවන් අවස්ථාවල දැරියගේ  අයිතිවාසිකම් වෙනුවෙන් යම් නීතිඥ සහායක් ලැබෙනුයේ නම් එය කෙතරම් වටිනා සහ වගකීම් සහිත කාර්යයක් වනු ඇද්ද? මේ කිසිවක් ගැන වගක් නැතිව සිටින  ළමා ඇමැතිනි සරෝජා පෝල් රාජ් තමන් යටතේ ඇති ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥවරියකගෙන්  හෝ මේ පිළිබඳව  අසා දැන ගැනීමට තරම්  නිරහංකාර වන්නේ නම් එය දරු  පරපුරටම යහපතකි.

 අනෙක් පසින් ඇය පවසාකාරයට වින්දිත දරු දැරියන්ගේ අයිතිවාසිකම් සුරකින්නට නීතිඥවරුන් නොමැතිව පොලිසියට ද ඒ කාර්යයම කළ හැකි නම් අධිකාරිය විසින් මෙහෙවන ළමා හිංසන නඩු සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබා දෙන්නැයි ඔවුන් පසු ගිය කාලයේදි රටේ නීතී ප්‍රජාවෙන් විවෘතව ඉල්ලා සිටියේ කුමක් නිසාද?

 ළමා ඇමැතිනි පවසනාකාරයට පොලිසිය ඉතාම විශිෂ්ඨ ආකාරයට පැමිණිල්ලට අවැසි සාක්ෂි ගොනු කර ඇත. දැරියගේ ප්‍රකාශයේ සිට සියළුම විද්‍යාත්මක සාක්ෂි ද ඒ අතරේ වන බව ඇය ඉඟි කරයි. ඒ නිසාම තවත් කිසිදු මැදිහත්වීමකින් තොරව යුක්තිය ජය ගන්නට හැකි බවට ඇය මහත් විශ්වාසයෙන් සහ උද්යෝගයෙන් පවසයි.

 ” මේ වන විට අදාළ සියළුම සාක්ෂි සටහන් කර ගැනීම , දරුවාගේ කට උත්තර ලබා ගැනීම්, ස්ථානීය පරික්ෂාව ආදී සියල්ල මේ වන විට සිද්ධ වෙලා තියෙන්නේ. ආරම්භයේදීම දරුවා දුන් කට උත්තරයේ සිට අනෙකුත් සියළු වාර්තා සාක්ෂි තවදුරටත් අනාවරණය කර ගනිමින් මේ නඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව තියෙනවා,” යැයි පවසන ළමා ඇමැතිනිය පොලීසියේ විමර්ශන ක්‍රියාවලිය කෙරෙහි මහත් වු විශ්වාසයක් පළ කරන්නීය. එමෙන්ම මේ සියල්ල යහපත් ආකාරයට සිදුවන්නේ සිය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු කී නිසා යැයි ද ඉන් අනතුරුව ඇයම පවසයි. එය ඇගේ තර්කයක් ඈ විසින්ම බිඳ හෙළිමකි. පොලිසියට ඇය චරිත සහතික ලබා දුන්නද අධිකාරිය පසුගිය 08 දා පොලිසියේ සළු අධිකරණ හමුවේ උණා දැමු බව ඇයට අමතක නම් එය මතකයට ගැනීම ඇගේ කටයුත්තකි.

 මේ සියල්ලටම පෙර ඇය පවසා තිබුණේ  දැරියට එරෙහි ලිංඟික හිංසනය සම්බන්ධයෙන් වාර්තාවක් අදාල අංශ වෙතින් තමන් ඉල්ලා ඇති බවකි.

නීතියට වංඟු දැමු පොලිස් විමර්ශනයක්

අදාල අපරාධය සම්බන්ධයෙන් සිදුවෙමින් තිබෙන නෛතික ක්‍රියාවලියේ අඩුලුහුඬුතා හෝ දුර්වලතා මෙන්ම නොතකා හැරීම්ද බොහෝමයක් ඇති බව මුසාවක් නොවන්නේ ය. සිද්ධිය වාර්තා වී ගත වුණු පලමු  පැය කිහිපය තුළ පොලීසිය සහ විමර්ශන කණ්ඩායම් පවතින නීතී රෙගුලාසිවලට අනුව කටයුතු කළේ නම් මේ ලියන මොහොත වන විට තත්වය මෙය වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

 මෙම වින්දිත දැරිය තරුණයකු සමඟ නිට්ටඹුව  ප්‍රදේශයේ ලැඟුම් හලක සිටියදී සොයා ගනු ලැබී යයි පොලීසිය කියන්නේ මුල් අපයෝජනයට අටමස්ථානාධිපති ගේ සම්බන්ධයක් ඇතැයි අධිකරණය හමුවටත් යන්නටත් දින කිහිපයකට පෙරය. ඒ දැරියගේ ප්‍රකාශය මත පුලුල් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ගම්පහ කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත නියෝග  නිකුත් කරන්නේ ඉන් අනතුරුවය. පසුව අත්තනගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ ගම්පහ පොලිස් කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රමුඛ කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් දින තුනක් එහි නතරව අදාල භික්ෂුවගෙන් ප්‍රකාශද සටහන් කර ගෙන තිබුණේ දැරියගේ ප්‍රකාශ මත ස්ථානීය පරික්ෂණයක් ද සිදුකරමින් ය.
 

මෙම පොලිස් කණ්ඩායම පුරා දින තුනක් අනුරාධපුරයේ රැඳි සිටිමින් සාක්ෂි රැස් කරමින්, ප්‍රකාශ ලබා ගනිමින් සිටිය බව කියා පෑවද ඉන් අනතුරුව හෝ සිදුවු කිසිදු යහපතක් නැත. සිදුවු එකම දෙය පොලිස් කණ්ඩායම අනුරාධපුරයෙන් පිටවු සැනින් කිසිදු බාධාවකින් තොරවම සැකකාර භික්ෂුව ද කොළඹ පැමිණ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාරවලට නතර වීමය. සැකකරු සමග දින තුනක් ගත කරමින් සාකච්ඡා පැවැත්වීමෙන් තොරව පොලීසිය විසින් පළමු කොටම සිදු කළ යුතුව තිබුණේ  අපයෝජනයට ලක් වු දැරියගේ ප්‍රකාශය මත සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගැනීම ය. නීතියෙන් නියම කොට තිබෙන්නේ එවැන්නකි. පරිවේෂණිය හෝ විද්‍යාත්මක හෝ වෙනත් කවර හෝ සාක්ෂියක් ගොනු කර ගත් යුත්තේ ඉන් අනතුරුවය. මන්ද මෙය බරපතල ළමා අපයෝජනයකි. එවැනි අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගන්නට පොලිසියට වෙන යම් කිසිදු සාක්ෂියක් හෝ ප්‍රකාශයක් අවැසි නැත. එකම ප්‍රකාශය අපයෝජනයට ලක් වු දරුවාගේ ප්‍රකාශය යි.


 නීතිය නොදන්නා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥයා  

 ඒ වන විටත් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකයා විමර්ශනවල දිශානතිය ගැන ඉඟි කරමින් මාධ්‍ය අමතා ප්‍රකාශයක් නිකුත් කොට තිබුණි.

“ආවාට ගියාට ගන්න බෑ. සාක්ෂි ඕනේ. මෙතනදි පරස්පර සාක්ෂි එනවා නම් ඒවා හරිද වැරදි ද, ඇත්ත ද නැත්ත ද කියලා බලන්න ඕනේ. ඔක්කෝම සලකලා බලලා තමා නීතිපති උපදෙස් අරගෙන අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා ප්‍රවේශයක් ගන්න ඕනේ. අවාට ගියාට කරන්න බෑ. මොකද සාක්ෂිත් එකතු කරන්න ඕනේ.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ ෆ්‍රෙඩ්රික් උදය කුමාර් වුට්ලර් පවසන මේ ක්‍රියාවලිය ළමා අපයෝජනයකට අදාල නොවන බව ඔහු නොදන්නේ ද? අනෙක අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගන්නට නීතිපතිවරයාගේ අභිමතය හෝ අවසරය අවශ්‍ය බව සඳහන් වන්නේ කවර නම් නීති වගන්තියක ද? මෙයට පෙර සිදුවු ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන මේ ක්‍රියාවලිය මතින් ද? අප දන්නා පරිදි එවැනි ඇතැම් අපරාධ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති පාසල් දරුවන් පවා පොලිසිය විසින් පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේම කුදලාගෙන ගොස් මාධ්‍යවලටත් ඒ තොරතුරු ලබා දෙන ලදී. එසේ නම් මේ දැරිවිය සම්බන්ධ සිදුවීමට පමණක් පොලිසිය මෙතරම් කාලයක් ගත්තේ ඇයි? නීති පොතේවත් නැති තර්ක ඉදිරිපත් කරන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසාම නොව සැකකරු සතු ආගමික සහ සිවිල් බලයේ මහන්තත්ත කම නිසාමය. දැරිය පලමුවෙන් අතවරයට ලක්කළ බවට චෝදනා ලබන්නේ අටමස්ථානාධිපති නොවි වෙනත් අයෙක් නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරිපත් කරන මේ මුසාවාදි තර්ක ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නේ ද?  

නීතියෙහි දැක්වෙන්නේ කුමක්ද?

 සරලවම ගත් විට ළමා අපයෝජන හෝ ලිංගික හිංසන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන සාක්ෂි සම්පිණ්ඩන හෝ නීතිපති අවසරය හෝ අවශ්‍ය නොවන්නේ ය. විමර්ශකයන් වට වන්දනාවේ යා යුතු ද නැත. පලමු අවස්ථාවේදි එකම සාක්ෂිය  වින්දිත දැරියගේ ප්‍රකාශය යි. අනෙක අධිකරණ වෛද්‍ය නිර්දේශය යි. එම අවස්ථා දෙකම මෙම සිද්ධියට ප්‍රමාණවත් පරිදි තිබුණි.  

 මේ සියළු පුද්ගලයන් විසින් දැන ගත යුතු වන්නේ අන් සියල්ලටම වඩා ළමා හිංසන සහ අපයෝජන සම්බන්ධයෙන් බලාත්මක නීති රෙගුලාසිවලින් විමර්ශකයන්ට සුවිශේෂි බලයක් සපයා ඇති බවකි. එය හිමිවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 22 දරන අපරාධ නඩු විභාග සංශෝධිත  පනත යටතේ ය. එයට අනුව මෙවන් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබන කවර හෝ තැනැත්තකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකිය. සංඥය වරදක් වන මෙවන් අපරාධයක සැකකරුවකු අත්අඩංගුවට ගන්නට මුල් විමර්ශනයේ පොලිසියට සෑහිමකට පත් විය හැකි කරුණු පමණක්ම වලංගු වන්නේ ය. ඒ සෑහිමකට පත් විය හැකි කරුණු අන් කිසිවක් නොව වින්දිත දැරියගේ ප්‍රකාශය යි. සමස්ත විමර්ශනයේම පදනම සහ න්‍යෂ්ටිය එයයි. එමෙන්ම මෙම සංශෝධිත පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට ඇප ලබා නොදිමේ ප්‍රතිපාදනයන් ද අන්තර්ගත  මුත් එය ප්‍රායෝගිකව භාවිතයේ යෙදෙන්නේ දැයි සැක සහිතය.

එකී තත්වය තවත් තීව්‍ර සහ බලවත් වන සංශෝධනයක් වන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධනය යි. එය අතිශයින්ම වැදගත් නෛතික ප්‍රතිපාදනයකි.  එහි  43 (අ) වගන්තියේ මෙසේ දක්වා තිබේ.

 ” (1) 36 වන සහ 37 වන වගන්තිවල විධිවිධාන ළමා අපචාර සම්බන්ධයෙන් සැකකරුනු ලැබු හෝ චෝදනා  කරනු ලැබු තැනැත්තන් සම්බන්ධයෙන් අදාළ නොවිය යුතුය” .

 එම 36 සහ 37 වන වගන්ති යුගල අන් කිසිවක් නොව මෙය යි.

 “සිරබාරයට ගන්නා තැනැත්තන් අත්‍යාවශ්‍ය ප්‍රමාදයෙන් තොරව මහේස්ත්‍රාත් හමුවට පමුණුවා ඇප විධානවලට යටත් කළ යුතුය සහ වරෙන්තුවක් නොමැතිව ගන්නා අය යුක්ති සහගත කාලයකට වඩා අත්අඩංගුවේ තබා නොගත යුතුය”

 ඉහත සංශෝධනයට අනුව මේ වගන්ති දෙකම ළමා අපචාර විමර්ශන සහ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් වලංගු නොවන  බව මින් ඉතා පැහැදිලිය. එහි සරල අර්ථය ළමා අපයෝජන සම්බන්ධයෙන් සැක හෝ චෝදනා ලැබ අත්අඩංගුවට ගන්නා කවර හෝ තැනැත්තෙකු 36 සහ 37 වගන්තිවල නෛතික ප්‍රතිපාදනයන්ට යටත් නොවනා බවකි. එසේ නම් මේ මේ සියළු නීති රෙගුලාසි විමර්ශන ක්‍රමවේදයන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව අරබයා පමණක් වලංගු නොවන්නේ කුමක් නිසාද? ඒ සැකකාර භික්ෂුවගේ ප්‍රභුත්වය හෝ වෙන යම් බලයක් නිසා හෝ නොවන්නේ ද?  

 පල්ලේගම හේමරත්න භික්ෂුව ව අදාල අපරාධයේ සැකකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරව කොළඹ  අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම භික්ෂුව ඒ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ නවලෝක රෝහල වෙත ගොස් වහාම සැකකරු ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට හෝ මාරු කරන ලෙස බන්ධනාගාර නිලධාරින් හට කරන ලද නියෝගයද දින ගණනාවක් යන තුරුම ක්‍රියාත්මක නොවුණේ අධිකරණ නියෝගයක් අභිබවා යන්නට හැකි බලයක් සහිත හස්තයක මැදිහත්වීම නිසා විය යුතුය. එමෙන්ම සැකකාර භික්ෂුව තවමත් විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කරවන්නට විමර්ශන නිලධාරින් අසමත්ව සිටි. විටෙක අනුරාධපුරය බන්ධනාගාර අධිකාරිවරයා මගින්, වැලිකඩ බන්ධගාර අධිකාරිවරයා විසින් අනුරාධපුරය මහේස්ත්‍රාත්වරයා හට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ සැකකාර භික්ෂුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට තරම් සෞඛ්‍ය සම්පන්නව නොසිටින බවකි. එහෙත් ඒ වෛද්‍ය වාර්තා කවර නම් රෝහලක, කවර නම් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අනුමත කරන ලැබුවේ දැයි දැනගන්නට  නැත.

 මෙකී තත්වයන් මත අද දින (22)  නඩුව කැඳවු විට කුමක් සිදුවේ දැයි කියන්නට නොදනිමි. එහෙත් සැකකාර භික්ෂුවට එරෙහිව සුවිශේෂි යමක් සිදුවෙතැයි ද සිතිය නොහැකි ය. එසේ සිතන්නට හැකි ගමන් මගක් මේ දක්වාම බලධාරින් විසින් රට හමුවේ තබා නැත. පැමිණිල්ල මෙහෙයවන ගම්පහ සහ නිට්ටඹුව පොලිස් කොට්ඨාශවල ළමා හා කාන්තා කාර්යාංශ දෙකෙහි නිලධාරි නිලධාරිනියන් අවංකව මෙම විමර්ශන සිදුකරමින් සිටින්නේ නම් සැකකාර භික්ෂුවට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොතබා විලංගු ලෑමට කටයුතු සිදු කළ යුතුමය.

සමාජ වගකීමක්

 විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සාහිත්‍යවේදීන්, කලාකරුවන් සහ සිවිල් නියෝජිතයන්ගෙන් අතලොස්සක් වන් පිරිසක් මේ වින්දිත දැරියට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කොට ඇති බවද දැන ගන්නට ඇත. එය යහපත් තත්වයකි. මන්දයත් මේ වනාහි තවත් එක් හුදකලා සිදුවීමක් නොවන්නට ඉඩ දිය යුතු නොවේ. මෙයට පෙරත් මෙවැනිම ලා බාල දැරිවියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමය වෙනුවෙන් අලෙවී කිරීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරුනු පොලිස් විමර්ශන ලත් තැනම ලොප් වූ බව අපි දන්නෙමු. එම අපරාධය සම්බන්ධයෙන් නම් ඇඳුණු ප්‍රභූන් අතර ව්‍යාපාරිකයන්, හමුදා නිලධාරින්, දේශපාලඥයන් මෙන්ම සුප්‍රසිද්ධ භික්ෂුන් ද සිටි බව ප්‍රසිද්ධ  රහසකි.

 අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව විසින් මෙම දැරියට ලිංගික අපරාධය සිදු කොට ඇති බව පැවසෙන්නේ මෙයින් තෙවසරකට පෙර ය. ඒ අනුව ඒ විට දැරියගේ වයස අවම වශයෙන් වසර 12 ක් විය යුතුය. මේ වනාහි එක් අපරාධයකි. මේ අපරාධය අනුරාධපුරය අධිකරණය හමුවට ගොස් තිබියදීම, අනුරාධපුරය මහාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවකින් කියැවුණේ පැවිදි දිවියට ඇතුලත්ව පසු දිනම පංසලේ භාරකාර හිමිනම වෙතින් බරපතල ලිංගික හිංසනයකට ලක්වු කුඩා සාමනේර හිමිනමකගේ කතාවයි.

 අධිකරණ නියෝග, මාධ්‍ය නිවේදන හෝ විෂය භාර දේශපාලන බලධාරින්ගේ ආරූඪ කර ගත් දුක් මුසු කතා විලාසයන්වලින් පමණක් යුක්තිය ඉටු කර වන්නට හෝ මෙවන් සාහසික අපරාධවලට තිත තබන්නට හෝ නොහැකිය.  එමෙන්ම පොලිස් පරික්ෂණ හෝ විමර්ශනයන් සිදුවූ පමණින් ම, ඉන්  ඉහල තන්ත්‍රයේ සහයෝගය හෝ නිසි මැදිහත්වීමකින් හෝ  තොරව යුක්තිය ඉටු කරවන්නට ද නොහැකි ය. එනිසා නිසි යුක්තියක් ඉටු වන්නට නම් ඒ සඳහා බලය ලත්, වගවීමක් සහිත සියළු පාර්ශවයන්වල ඒකමතික සහ කොන්දේසි විරහිත පූර්ණ දායකත්වය මෙන්ම නිසි ක්‍රියාකාරිත්වය ද හිමිවිය යුතුය. එක් පාර්ශවයක් මැදිහත්වන විට අනෙක් පාර්ශවය කකුලෙන් අදින්නේ නම් හෝ නොඑසේ නම් තමන්ගේ කාර්යයක් ලෙස නොතකන්නේ නම් හෝ එයටත් වඩා කූඨ ලෙස කටයුතු කරන්නේ නම් හෝ මෙවන් අපරාධවලට යුක්තිය ඉටුවීම බලධාරින්ගේ හිතළු පිරුණු වහසි බස්වලට පමණක් සීමා වන්නේ ය.

අඳුරින් පිරි හෙට දවස සහ ආගමික සංස්ථාවන්වල කාමුකත්වය

ජාතික ළමා රක්ෂක අධිකාරියේ සහ පොලිසියේ සංඛ්‍යා ලේඛනවලටම අනුව ගත් විට ශ්‍රි ලංකාවේ දරුවන්ට එරෙහි අපරාධ, ලිංගික හිංසන ක්‍රියාවන් සංඛ්‍යාත්මකවත් අත් මහත්ය. එයද වාර්තාවන සංඛ්‍යාව අනුවය. ආගමික සංස්ථාවන් අතින් කෙලෙසෙන, ලිංගික හිංසනයට ලක්වන දරුවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් වූ සංඛ්‍යා ලේඛන හෝ දත්ත ගබඩාවක් අප රටේ  නැති හෙයින් සැබෑ අපරාධ සංඛ්‍යාව මීට වැඩි විය යුතුය. එසේ ඇත්තේ නම් මෙරටේ ආගමික පුජක බල ව්‍යහුයේ දරුවන්ට එරෙහි  කාමුකත්වය මනාව තේරුම් ගන්නට පුරවැසියනට හැකි වනු ඇත.

එපමණක් ද නොව මෙවන් කෲර ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් සහ විධිමත් අධිකරණ යාන්ත්‍රණ පද්ධතියක් ස්ථාපිත වීම ද අත්‍යාවශ්‍ය කරුණකි. කල් ගතවන විමර්ශන, දිගින් දිගටම ඇදෙන නඩු දින, එකම සාක්ෂිය නැවත නැවත පවසන්නට සිදුවීම සහ වසර ගණන් දුරකට නඩු දිග් ගැසීම වහාම නතර කර වන්නට තරම් බලවත් නීති ප්‍රතිංස්කරණ ඇති කළ යුතුය. ශ්‍රි ලංකාවේ බොහෝ ළමා අපචාර නඩු අවසන් වන්නේ බාල වයස්කාර දැරිවියක් ලිංගික හිංසනයට ලක්ව ඇය විවාපත්ව දරුවන්ද ලැබ ජීවිතේ දැනුම් තේරුම් ලබනා තත්වයට පත් වු පසුවය. එයද බොහෝ විට අභියාචනයන්ට යටත් වන්නේ ය. එනිසාම අනුරාධපුරය දැරියට එරෙහි හිංසනය යළිත් වතාවක්   ශ්‍රි ලංකාවේ යුක්තිය  පසිඳලීමේ ක්‍රියාවලියේ අඳුර සහ බෙඳීම පෙන්වනා කැඩපතක් නොවන්නට වග බලා ගැනීම සියළු පාර්ශවයන් සතු වගකීමකි.

(සටහන | කේ .විජේසිංහ)
මාධ්‍යවේදී

Author

Share