ලෝක කුසලාන තරග නොපෙන්වීමේ තීරණය වික්ටෝරියානු අගමැතිනිය අවලංගු කරයි

0
11

2026 ලෝක කුසලාන පාපන්දු තරග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ෆෙඩරේෂන් චතුරස්‍රයේ (Federation Square) සිට නැරඹීම

සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා නොදීමේ ජනප්‍රිය නොවූ තීරණයක් වික්ටෝරියානු අගමැතිනියගේ මැදිහත් වීමෙන් අවලංගු කර තිබෙනවා.

වික්ටෝරියා රජයේ ප්‍රධානියා වන ජෙසින්ටා ඇලන් (Jacinta Allan) මෙනෙවිය මෙසේ අවලංගු කර තිබෙන්නේ ‌ලෝක කුසලාන තරග ප්‍රසිද්ධියේ නැරඹීමට හැකි දැවැන්ත රූපවාහිනී තිර යෙදූ ක්‍රීඩා ලෝලීන්ගේ උත්සවයන්ට සත්කාරකත්වය නොදැක්වීමට මෙල්බර්න් කලා පරිශ්‍රය (Melbourne Arts Precinct) විසින් ගෙන තිබූ තීරණය. කලා, සංස්කෘතික හා මහජන ඉසව් පැවැත්වෙන ස්ථානයක් වන ෆෙඩරේෂන් චතුරස්‍රයේ කළමනාකරණ හා මෙහෙයුම් කටයුතු මෙල්බර්න් කලා පරිශ්‍ර සංස්ථාව විසින් සිදු කරනු ලැබූව ද, එහි අයිතිය තිබෙන්නේ වික්ටෝරියානු රජයට.

මීට කලින් මේ චතුරස්‍රයේ පැවති උත්සවවලදී ඊට සහභාගි වූවන් සමාජ විරෝධී හා අනතුරුදායක ලෙස හැසිරීම හේතුවෙන් රූපවාහිනී තිරයෙන් තරග නොපෙන්වන බවට මෙල්බර්න් කලා පරිශ්‍රය අඟහරුවාදා නිවේදනය කළේ පාපන්දු ලෝලීන් හා ඔස්ට්‍රේලියානු පාපන්දු පාලකයින් අධෛර්යය කරමින්.

දැල්වෙන පන්දම් විසිකිරීමෙන් ජනතාවට තුවාල සිදුවීම මේ සංස්ථාවේ දැඩි සැලකිල්ලට යොමුවූ කාරණයක් වී තිබෙන අතර අවසන් වතාවට ඔස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායමේ තරගයක් මේ ස්ථානයේදී ප්‍රසිද්ධියේ පෙන්වූ අවස්ථාවේ ගිනි පන්දම් සියයකට වැඩි ප්‍රමාණයක් හැර දමා ගොස් තිබූ බව ඔවුන් පවසනවා.
එහෙත් තමා එම තීරණය සමග එකඟ නොවන බව වික්ටෝරියානු අගමැතිනිය බදාදා ප්‍රකාශ කළා.

“මෝඩයින් කිහිප දෙනෙකුගේ නරක හැසිරීමේ අවදානම සෑම මහජන රැස්වීමක ම තියෙනවා. නමුත් ඒ ගැන බලාගන්න පොලිසිය හා ආරක්ෂක නිලධාරීන් ඉන්නවා” යනුවෙන් ජෙසින්ටා ඇලන් පෙන්වා දී තිබෙනවා.

එවැනි හැසිරීමක් කොහෙත්ම ඉවසා සිටින්නේ නැති බව කියන ඇය, ලෝක කුසලාන පාපන්දු තරග ප්‍රදර්ශනය කිරීම සඳහා ෆෙඩරේෂන් චතුරස්‍රයට අවශ්‍ය දේ ලබා ගැනීමට වික්ටෝරියා රජයේ සහයෝගය ලැබෙන බවට සහතික වනවා.

“ලෝක කුසලාන තරගාවලියෙන් අපව එකතු කළ යුතු මිසක් අපව වෙන්කර තබා නොගත යුතුයි!” අගමැතිනිය කියනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here