මිනිත්තු කිහිපයක පරතරයකින් උපන් නිවුන් සහෝදරියන්ට පියවරුන් දෙදෙනෙක්

0
17

එකම කුස තුළ එකට හැදී වැඩී, මිනිත්තු කිහිපයක පරතරයකින් උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකුට ජීව විද්‍යාත්මක පියවරුන් දෙදෙනෙකු සිටින බව තහවුරු වූ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

ලැවීනියා (Lavinia) සහ මිෂෙල් (Michelle) නම් වූ මෙම 49 හැවිරිදි නිවුන් සහෝදරියන්ගේ කතාව ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති මෙවැනි දුර්ලභ ගණයේ සිදුවීම් 20න් එකකි.

වසර ගණනාවක් පුරා තමන් නිවුන් සහෝදරියන් යැයි විශ්වාස කළද, ඔවුන් දෙදෙනාගේ පෙනුමේ ඇති වෙනස්කම් සහ තමන්ගේ පියා කවුද යන්න පිළිබඳව මිෂෙල්ට සැකයක් පැවතුණි.

මේ හේතුවෙන් ඇය 2022 වසරේදී DNA පරීක්ෂණයක් සිදුකර තිබේ.

එහි ප්‍රතිඵලවලින් හෙළි වූයේ ඔවුන් දෙදෙනාගේ මව පවසමින් සිටි ‘ජේම්ස්’ නමැති පුද්ගලයා ඔවුන්ගේ සැබෑ පියා නොවන බවය.

පසුව ලැවීනියා ද DNA පරීක්ෂණයක් කළ අතර, එහිදී ලැබුණු විස්මිත ප්‍රතිඵලයෙන් තහවුරු වූයේ මොවුන් දෙදෙනා “අර්ධ-සහෝදරියන්” (Half-sisters) බවය. 

එනම් ඔවුන්ට සිටින්නේ පියවරුන් දෙදෙනෙකි.

විද්‍යාත්මකව මෙය හැඳින්වෙන්නේ Heteropaternal Superfecundation නමිනි. මෙය ඉතා කලාතුරකින් සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව සඳහන් වේ. 

කාන්තාවකගේ එක් ආර්තව චක්‍රයකදී ඩිම්බ දෙකක් මුදා හැරෙන අවස්ථාවක, කෙටි කාල පරාසයක් තුළ පිරිමින් දෙදෙනෙකුගේ ශුක්‍රාණු මගින් එම ඩිම්බ දෙක වෙන වෙනම සංසේචනය වූ විට මෙවැනි දරුවන් බිහි විය හැකිය.

එක්සත් රාජධානියෙන් වාර්තා වූ මෙවැනි පළමු නිල සිදුවීම මෙය බව වාර්තා වේ.

මිෂෙල් සහ ලැවීනියා සිය ළමා කාලය ගත කළේ ඉතා අසීරුවෙනි. ඔවුන්ගේ මව විසින් ඔවුන්ව විවිධ රැකවරණ මධ්‍යස්ථානවල සහ හිතවතුන්ගේ නිවාසවල දමා ගොස් තිබුණි. මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ට සිටි එකම ශක්තිය එකිනෙකා පමණි.

DNA පරීක්ෂණයෙන් පසු මිෂෙල් සිය සැබෑ පියා වූ ‘ඇලෙක්ස්’ සොයාගත් අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව හෙළි වී තිබේ.

ලැවීනියා සිය සැබෑ පියා වූ ‘ආතර්’ සොයාගත් අතර දැන් ඔවුන් දෙදෙනා ඉතා සමීපව ඇසුරු කරන බව සඳහන් වේ.

මෙම හෙළිදරව්ව මුලදී ලැවීනියාට දැඩි කම්පනයක් ගෙන දුන් නමුත්, දැන් ඇය පවසන්නේ තමන් පියවරුන් දෙදෙනෙකුගේ වුවද තවමත් “නිවුන් සහෝදරියන්” බවය.

“අපි දෙන්නා හාස්කමක් වගෙයි. අපේ අතර තියෙන සමීපකම කිසිම දේකින් බිඳින්න බැහැ,” යැයි ලැවීනියා පවසන අතර මිෂෙල් ද එය අනුමත කරමින් කියා සිටින්නේ DNA පරීක්ෂණයෙන් තහවුරු වූ සත්‍යය කුමක් වුවත් තමන් සදාකාලිකවම නිවුන් සහෝදරියන් බවය.

adaderana
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here