වඳභාවයෙන් පෙළෙන බවට මීට පෙර නිගමනය කළ පිරිමින් පුද්ගලයින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි නව තාක්ෂණයක් නිපදවා තිබේ.
කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් නිපදවන ලද මෙම ‘ස්ටාර්’ (Star – Sperm Track and Recovery) පද්ධතිය හරහා දැනටමත් සාර්ථක දරු උපතක් අපේක්ෂාවෙන් පසුවන යුවළක් පිළිබඳ පුවතක් වාර්තා වේ.
මෙම තාක්ෂණයේ පිහිට ලැබූ නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් වසර දෙකහමාරක් පුරා දරුවෙකු අපේක්ෂාවෙන් සිටියහ.
සැමුවෙල් ‘ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය’ නමැති ජානමය තත්ත්වයෙන් පෙළුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු කිසිවක් නොමැති බව වෛද්‍යවරුන් පවසා තිබුණි. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක පසුවන පිරිමියෙකුට ජෛව විද්‍යාත්මක දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 20%ක් තරම් ඉතා අඩු අගය පවතින බව සඳහන් වේ.
‘ස්ටාර්’ (Star) පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේද?
මෙම තාක්ෂණය නිර්මාණය කිරීමට මූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ නව තරු සෙවීම සඳහා තාරකා විද්‍යාඥයන් භාවිතා කරන AI ක්‍රමවේදය බව සඳහන් වේ.
මිනිස් කෙස් ගසකටත් වඩා සිහින් නාල සහිත වීදුරු තහඩුවක් හරහා සාම්පල ලබා ගනී.
අධිවේගී රූපගත කිරීම: තත්පරයට රූප 300ක් බැගින් මෙම සාම්පලය පරික්ෂා කෙරේ.
ශුක්‍ර තරලයේ ඇති අනෙකුත් අපද්‍රව්‍ය අතර සැඟවී ඇති, පියවි ඇසට හසුනොවන අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල AI මගින් ක්ෂණිකව හඳුනා ගනී.
ශුක්‍රාණු සෛලයක් හඳුනාගත් සැණින්, මිලි තත්පර කිහිපයක් ඇතුළත රොබෝ පද්ධතියක් මගින් එම සෛලය ඉතා ආරක්ෂිතව වෙන් කර ගනී.
ඒ අනුව, සැමුවෙල්ගේ වෘෂණ කෝෂ පටක සාම්පලයකින් ශුක්‍රාණු සෛල 8ක් සොයා ගැනීමට මෙම ‘ස්ටාර්’ පද්ධතිය සමත් ව ඇත.
ඉන් එක් සෛලයක් සාර්ථකව කළලයක් බවට පත් වූ අතර, ඔහුගේ බිරිඳ පෙනෙලොප් මේ වන විට ගැබ්ගෙන සිටියි. ඔවුන්ගේ දරුවා ලබන ජූලි මාසයේදී උපත ලැබීමට නියමිත අතර, මෙය ‘ස්ටාර්’ තාක්ෂණය හරහා උපදින ලොව පළමු පිරිමි දරුවා වනු ඇත.
අමෙම සොයාගැනීම වඳභාවයට ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්‍රයේ විශාල පිම්මක් බව වෛද්‍යවරු පවසති. ලොව පුරා පිරිමින්ගෙන් 1%ක් පමණ ‘Azoospermia’ තත්ත්වයෙන් පෙළෙන අතර, ඔවුන්ට මෙමගින් විශාල සහනයක් සැලසෙනු ඇත.
කෙසේ වෙතත්, මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින්, වාණිජමය වශයෙන් භාවිතයට පෙර තවත් සායනික පරීක්ෂණ අවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙයි.
මෙමගින් දරුවන් නොමැතිව පීඩා විඳින ලොව පුරා මිලියන සංඛ්‍යාත යුවළවලට නව බලාපොරොත්තුවක් එක් කර තිබේ.




