කොළඹ හතේ නිවසක පදිංචිව සිටි 25 හැවිරිදි කායවර්ධන උපදේශකවරියක් නාන කාමයේ දිය නාමින් සිටියදී ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස හතරවැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ (22 වැනිදා) නියෝග කළේය.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි, කොළඹ 7, ටොරින්ටන් ඇවනියු ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලක් මත කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් මරදමුණේ පදිංචිකරුවකු වන සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරු පැමිණිලිකාරිය පදිංචිව සිටි කොළඹ හතේ නිවසට යාබද නිවසේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත්, ඔහු විසින් සිය ජංගම දුරකථනය මගින් පැමිණිලිකාරිය නාන කාමරයේ දිය නාමින් සිටියදී එහි තිබූ කවුළුවක් අතරින් වීඩියෝ ගත කිරීමක් සිදුකර ඇති බවත් දන්වා සිටියේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙසද කුරඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාලක සිල්වා කරුණු ඉදිරිපත් කරමින් තම සේවදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාරගේ උපදෙස් මත මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.




